Monthly Archives: May 2014

සංගා ඓතිහාසික ශතකයක් ලබයි

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ශතකයක් වාර්තා කරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක් බව කියවෙයි. ඒ අනුව සංගක්කාරද ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ එක්දින තරගයකදි ශතකයක් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. 

එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ වාර්තා කළ සිවුවැනි ශතකය වෙයි. මීට ඉහතදී,

මාවන් අතපත්තු 132*

උපුල් තරංග 156

දිනේෂ් චන්දිමාල් 126

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක රැස් කළ ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.1 අවසානයේදි කඩුලු  2ට ලකුණු 204 රැස් කරගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ ශතකයක් රැස් කළ හැම තරගයකින්ම ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්වී තිබේ.

 

 

ඉන්දීය සාගර ටූනා කොමිසම් සැසිය අද ශ්‍රී ලංකාවේදී

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඉන්දියානු සාගර ටූනා කොමිසමේ 18 වැනි ජාත්‍යන්තර සැසිවාරය 2014 අද (ජූනි 01දා) සිට 05 දක්වා කොළඹදී පැවැත් වීමට නියමිතය.

මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර මෙම සැසිවාරය ප්‍රථම වරට 2011 දී පවත්වා තිබුණි.

ඉන්දියානු සාගර ටූනා කොමිසම අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 14 වැනි වගන්තිය යටතේ 1993 දී පිහිටුවන ලද්දකි.

මෙම සංවිධානය මගින් සිදු කෙරෙනුයේ ඉන්දියානු සාගරයේ පවතින ටූනා වර්ගයේ මත්ස්‍ය සම්පත කළමනාකරණය කරමින් ආරක්‍ෂා කිරීමය. මෙම සැසිවාරය සඳහා සාමාජික රටවල් 31ක විදේශීය නියෝජිතයින් 250ක් පමණ සහභාගි වීමට නියමිතය.

ඉන්දියානු සාගරය ආශ‍්‍රිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන  ඕස්ටේ‍්‍රලියාව, බෙලීස්, චීනය, කොමොරොස්, එරිත‍්‍රියා, යුරෝපීය ප‍්‍රජාව, ප‍්‍රංශය, ගුනීයාව, ඉන්දියාව, ඉන්දුනිසියාව, ඉරානය, ජපානය, කෙන්යාව, කොරියාව මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිසස්, මොසැම්බික්,  ඕමානය, පකිස්ථානය, පිලිපීනය, සීෂෙල්ස්, සියොරා ලියොන්, සුඩානය, ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් රාජධානිය, වනුඅටු සහ යේමනය ඉන්දියානු සාගර ටූනා කොමිසමේ සාමාජිකයින් වන අතර ෂෙනගල්, දකුණු අප‍්‍රිකාව, සහ උරුගුවේ රාජ්‍යයන්ට ද මෙහි ඡන්ද බලය හිමිව පවතී.

ඉන්දියානු සාගර ටුනා කොමිසමේ උපදේශක කමිටුවේ උප සභාපති ධුරයද දරණ ශ‍්‍රී ලංකාව මෙහි ආරම්භක සාමාජිකයෙකි.

ඉන්දීය තරුණියන් සමූහ දූෂණයට ලක්කර මරා දැමූ සැකකරුවෝ දැලේ

ඉන්දියාවේ නව යොවුන් වියේ දැරියන් දෙදෙනෙකු සමූහ දූෂණයකට ලක්කර ඔවුන් එල්ලා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති බව ඉන්දීය පොලීසිය කියයි.

එහිදී, දැරියන් සමූහ දූෂණයට පත්කරමින්, ඔවුන් ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු හා සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල භාරගැනීමට උනන්දු නොවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මේ අතර වෙයි.

දාලිත් නමින් හැඳින්වෙන ඉන්දියාවේ අඩු කුලයේ දැරියන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා පසුගිය සතියේ එරට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක ගසක එල්ලා සිටියදී හමුවී තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ උදාසීන ස්වභාවය ගැන ඉන්දියාව පුරා නැවත වරක් දැඩි වීරෝධතාවක් මතුව ආවේය.

කෙසේ වෙතත් ඉන්දීය නව රජය විසින් මෙම නඩු විභාගය කඩිනමින් විභාග කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමත් සමග එරට තුළ ස්ත්‍රී දූෂණයට එරෙහි බලවත් විරෝධයක් පැන නැගුණු අතර, ඒ වෙනුවෙන් වූ නීතිරීතිද වෙනස් විය.

කෙසේ වෙතත් මේ ආකාරයේ ස්ත්‍රී දූෂණ තවමත් ඉන්දියාව තුළ අඩුවක් නොමැති බවට එරට ජනතාව චෝදනා නගයි.

මලාවි ජනාධිපතිවරණයෙන් පීටර් මුතාරිකා ජයග්‍රහණය ලබයි

මලාවි ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂයේ අපේක්ෂක පීටර් මුතාරිකා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙයි.

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වන පීටර් සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 36.4% ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති බව එරට මැතිවරණ කොමිසම නිවේදනය රකයි.

පසුගිය සතියේ පැවති මැතිවරණයේ නැවත ඡන්ද ගණන් කිරීමක් ඉල්ලමින් පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය එල්ල කර ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.

බලයෙන් ඉවත්ව යන ජොයිස් බන්ඩා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මැතිවරණය දූෂිත එකක් බවයි.

මුතාරිකා හිටපු මලාවි ජනාධිපති බින්ගු වා මුතාරිකාගේ සහෝදයා වන අතර, එරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අයෙකි.

මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විරෝධතා මතු වුවද, අවසානයේ අධිකරණය විසින් ප්‍රතිඵලය නිදොස් කළේය.

දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් ගැන ඇමෙරිකාව නොසතුටින්

දකුණු චීන මුහුද අස්ථාවර කිරීමට චීනය කටයුතු කරන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් චෝදනා නඟයි.

චීන ක්‍රියාකාරකම් එම මුහුදු කලාපයට දැඩි බලපෑමක් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියි.

සිංගප්පූරුවේ පැවති ඇමෙරිකානු හා අග්නිදිග ආසියානු රටවල සහභාගීත්වයෙන් පැවති සමුළුවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් දක්වා තිබේ.

එමෙන්ම, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තායිලන්ත හමුදා කුමන්ත්‍රණ නායකයාට එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හැකි කඩිනම් පියවර ගන්නා ලෙසයි.

චීනය, වියට්නාමය හා පිලිපීනය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති වාතාවරණයක මෙම සමුළුව පැවැත්වෙයි.

චන්දිමාල් වෙනුවට කුසල් එක්වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක කණ්ඩායම අතර පැවැත්වෙන සිවුවැනි හා තීරණාත්මක එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද (31දා) තරගයට වෙනස්කම් දෙකකින් යුතුව අවතීර්ණ විය. ඒ දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් පෙරේරාත්, රංගන හේරත් වෙනුවට අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට එක්කර ගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 45ක් රැස්කරගෙන සිටියේය. දැවී ගිය ක්‍රීඩකයා කුසල් පෙරේරා 19 (පන්දු 15).

ඇඟළුම් සේවකයෝ රෝහලේ

ඇඟළුම් සේවික සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් තවත් පෞද්ගලික බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් සේවික සේවිකාවෝ 17ක් තුවල ලබා දික්ඹය රෝහලට ඇතුළත් කර සිටිති.

හැටන් නොර්වුඩ් ප‍්‍රධාන මාර්ගයේ වනරාජා කෝවිල අසළදි හැටන් සිට නෝර්වුඞ් දෙසට ගමන් කල ඇගළුම් කාර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රැගෙන යන පුද්ගලික බස් රථයක් හා බගවන්තාලාව සිට හැටන් දෙසට ධාවනය වු මගීන් රැගෙන ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (31දා) පෙරවරුවේදී මෙම අනතුර සිදුව තිබේ.

 

තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 2.50 කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇත. රුපියල් 2100 ට තිබූ පිටි මිටියක (50 Kg) මිල රුපියල් 2225 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

පිටි මිල වැඩි වීමත් සමග බේකරි නිෂ්පාදනද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ පවසති.

කොළඹ ජලය කපයි

අද (31) රාත්‍රියේ සිට කොළඹ ප්‍රදේශ කිහිපකට රාත්‍රී 9.00 සිට හෙට (01) උදෑසන 6.00  දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. 
ගාලු පාරේ ඩික්මන් පාර හන්දිය සිට බම්බලපිටිය හන්දිය දක්වා සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග වල මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. 

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ආරක්ෂක කටයුතු පිළිබඳව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

අපරාධ පිළිබඳව තොරතුරු හුවමාරු කිරිම, ජීවිත හා දේපළ අපරාධ, දූෂනය, මත්කුඩු හා සම්බන්ධ අපරාධ, මුදල්මය අපරාධ යන අපරාධ වැළැක්වීමට අදාළව මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ.