Monthly Archives: May 2014

ශ්‍රී ලංකාව ලෝඩ්ස් පිටිය ජයගනියි

සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණුු 7ක තියුණු ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 301ක ඉලක්කයට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 293ක් පමණි.

මෙම තරගයේ ජයත් සමගින් දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-2ක් ලෙස සම තත්ත්වයෙන් පසුවෙයි. දෙරට අතර පැවැත්වීමට නියමිත පස්වැනි හා අවසන් එක්දින තරගය එළඹෙන තෙවැනිදා පැවැත්වීමට නියමිතය.

සටන්කාමී ඉනිම හේතුවෙන් තරගයේ විරයා ලෙස ජෝස් බට්ලර් සම්මාන ලැබිය.

ශ්‍රී ලංකා ඉනිමෙි විස්තර සඳහා http://goo.gl/3qYBX3

එංගලන්තය 293/8 (පන්දුවාර 50)

ජෝස් බට්ලර් 121 (පන්දු 74, 4X11, 6X4)

රවී බොපාරා 51 (පන්දු 47, 4X1)

ජෝ රූට් 43 (පන්දු 68, 4X1)

ගැරී බැලන්ස් 42 (පන්දු 69, 4X2)

ලසිත් මාලිංග 51/3 (පන්දුවාර 10)

අජන්ත මෙන්ඩිස් 60/2 (පන්දුවාර 10)

සචිත්‍ර සේනානායක 1/49 (පන්දුවාර 10)

ඇන්ජලෝ මැතිව්ස් 1/30 (පන්දුවාර 7)

එංගලන්ත කඩුලු වැටීම

1/3 කුක් (පන්දුවාර 1.1), 2/10 බෙල් (3.2) 3/94 බැලන්ස් (23.2), 4/107 රූට් (27.2),  5/111 මෝගන් (8.2) 6/244 බොපාර (44.4), 7/290 ජෝර්ඩාන් (49,2) 8/292 බට්ලර් (49.4)

 

සේද මාවත පිළිබඳ අසියා සහයෝගීතා සමුළුව සාර්ථකයි

සේද මාවත ඔස්සේ  නව ආසියා ආර්ථික රටාවක්  ගොඩනැගීම අරමුණු කර ගනිමින් පැවති චීනයේ ගැන්සු ප්‍රාන්තයේ පැවති සේද මාවත පිළිබඳ අසියා සහයෝගීතා සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි.

මෙම සමුළුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි විය.

මෙවර සමුළුවේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ සේද මාවත ඔස්සේ නව ආසියා ආර්ථික රටාවක්  ගොඩනැගීම කෙරෙහිය. මේ සඳහා සාමජික රටවල් 33ක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සහ රාජ්‍ය නායකයන්ද සහභාගි වූහ.

යටිතල පහසුකම්, බල ශක්ති ප්‍රභවයන්, පරිසරය ආරක්ෂා කිරීම, වෙළෙඳ සහ සංස්කෘතික සංචාරක සහයෝගිතාවයන් ගොඩනැගිම යනාදී මාතෘකා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබේ. මෙම සමාජික රටවල් 33 අතරට චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවද අයත්වේ.

මැයි 27 සිට මැයි 29 දක්වා ගැන්සු ප්‍රන්තයේ ලැන්සු නුවර පැවති සමුළුව අවසන් වී අමාත්‍යවරයා හෙට (01දා) දිවයිනට පැමිණීමට නියමිතය.

 

උතුරු පළාත් වෙළෙඳ හා සංචාරක ප‍්‍රදර්ශනය පැවැත්වේ

උතුරු පළාත් වෙළෙඳ හා සංචාරක ප‍්‍රදර්ශනය පසුගියදා බත්තරමුල්ල දියත උයනේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

USAID  සහාය ඇතිව ගුඩ් මාර්කට් සංවිධානය සමග නියුක්ලියස් පදනම මෙම උතුරු පළාත් වෙළෙඳ හා සංචාරක ප‍්‍රදර්ශනය සංවිධානය තිබුණි.

එම ප්‍රදර්ශනය අද (31දා) කොළඹ තුරඟ තරඟ පිටියේදීද පැවැත්විණි.

උතුරු පළාතේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ වවුනියාව යන දිස්ත‍්‍රික්ක 5ට අයත් කුඩා ව්‍යවසායකයින් 230 කට වැඩි ප‍්‍රමාණයක් මෙම ප‍්‍රදර්ශනය සඳහා තම නිෂ්පාදන ඉදිරි පත් කර තිබුණි.

උතුරු පළාතට විශේෂිත  ආහාර පාන හා අනෙකුත් පළාත්බද නිෂ්පාදන වන අත්කම් භාණ්ඩ, රෙදිපිළි, නැවුම් පලතුරු, ඇසුරුම් කරන ලද කැවිලි, ඉටිපන්දම්, තල් ආශ‍්‍රිත නිෂ්පාදන, මේස ඇතිරිලි ආදි භාණ්ඩ මෙම ප‍්‍රදර්ශනයට ඇතුළත්ව තිබේ.

කොළඹ නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාවට උතුරු පළාතේ නිෂ්පාදකයන් සමග ව්‍යාපාර  සබඳතා ඇති කර ගැනීමටද මෙය ප‍්‍රදර්ශනය අවස්ථාවක් වනු ඇති බව කියැවෙයි.

 

ගිනි කඳු පිපිරීමෙන් ගුවන් ගමන් සියල්ල අඩාලයි

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පිපිරීමෙන් නැගුණු දැවැන්ත දුම් වලාකුළක් හේතුවෙන් උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරයට පැමිණෙන හා ඉන් පිටත් වන සියලු ගුවන් ගමන් සේවා අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

සැන්ගියෑන්ග් ආපී ගිනිකන්ද පසුගිය සිකුරාදා විදාරණය වීම ඇරඹුණු අතර, ඒ සමගම ගිනි කන්දෙන් දැවැන්ත දුම් වළාව ඉන්දුනීසියාවට දකුණු දෙසින් ඇති ඔස්ට්‍රේලියාව දෙසට ඇදෙමින් තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව, වර්ජින් ඕස්ට්‍රේලියා, කුවන්ටාස් සහ ජෙට්ස්ටාර් යන ගුවන් සේවා සමාගම් ඩාර්වින් නගරය වෙත ගමන් කරන හා ඉන් පිටත්වන සියලුම ගුවන්ගමන් අවලංගු කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ දුම් වළාව තවදුරටත් වර්ධනය වන නිසා ඉදිරි දිනවලදී අනෙකුත් ගුවන් තොටුපළවලද ගුවන් ගමන් අඩාල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මේ තත්ත්වය තුළ ගුවන් මගීන් දහස් ගණනින් අපහසුතාවට පත්ව ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම අද (31දා) වනවිට පර්ත් සහ බාලි යන ගුවන්තොටු පොළවලද ඇතැම් ගුවන් ගමන් නවතා දැමූ බව කියැවෙයි.

ගිනි කඳුවලින් පිටවන යමහල් අළු ගුවන් යානාවලට දැඩි තර්ජනයක් වන අතර, ඒවා යානයේ එන්ජිමට හානි පැමිණවිය හැකි බව කියැවෙයි.

 

ඇෆ්ගනිස්තානයේ තලේබාන් භාරයේ සිටි එකම අමෙරිකානු සෙබලා නිදහස්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් වසර පහකට වැඩි කාලයක් රඳවාගෙන සිටි ඇමෙරිකානු සොල්දාදුවා නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

තලේබාන් සැකකරුවන් පස් දෙනෙකු නිදහස් කිරීමේ කොන්දේසියට යටත්ව මේ ආකාරයෙන් ඇමෙරිකානු සෙබලාවට නිදහස ලබාදී ඇති බව කියැවෙයි.

28 හැවිරිදි බෝව් බර්ග්ඩාල් නමැති මෙම අමෙරිකානු සෙබලා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇමෙරිකානු හමුදාව වෙත භාරදුන් බව පවසයි.

ඒ අනුව, කියුබාවේ පිහිටි ඇමෙරිකානු ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ සිටි තලේබාන් සැකකරුවන් 5 දෙනෙකු නිදහස් කර තිබේ.

එම පිරිස කටාර් රාජ්‍යයේදී මුදා හැර ඇති බව කියැවෙයි.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් විසින් රඳවාගෙන සිටි එකම ඇමෙරිකානු සෙබලා බර්ග්ඩාල් බවද ඇමෙරිකානු හමුදාව පවසයි.

තුර්කි උද්ඝෝෂණයේ ප්‍රථම සංවත්සර සැමරුමට කඳුළු ගෑස්

පසුගිය වසරේදී තුර්කියේ පැවති දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයේ පළමු සංවත්සරය සැමරීම වෙනුවෙන් ඉස්තාම්බුල් හා අන්කාරා නගරවලට රැස්වූ ජනතාව විසුරුවා හැරීමට එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් අද (31දා) එල්ල කළේය.

ඒ අනුව, අද දිනයේදී තුර්කියේ තක්සිම් චතුරස්‍රය වෙත 25,000ක පමණ පොලිස් බල ඇණියක් යොදා තිබුණි.

තුර්කි අගමැති තයීප් එර්ඩෝගන් මීට පෙර එරට තරුණයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සැමරුම වෙනුවෙන් සම්බන්ධ නොවන ලෙසය.

ඉස්තාම්බුල් නගරයේ ගෙසී උත්ද්‍යානය ප්‍රතිසංවර්ධනය කිරීමට විරෝධය පළ කරමින් පසුගිය වසරේදී මෙම උද්ඝෝෂණය ආරම්භ වූ අතර, එහිදී ඇති වූ ගැටුම්වලින් ජීවිත හානිද සිදුවිය.

එදාමෙදා තුර වයස 13ක දැරියක් එවරස්ට් ජයගනී

එදාමෙදා තුර ඉතිහාසයේ එවරස්ට් තරණය කළ ලොව ලාබාළතම දැරිය බවට පත්වීමට 13 හැවිරිදි මලාවත් පූර්ණා සමත් වූවාය.

ඉන්දීය ජාතික දැරියක වූ පූර්ණා සමාජ පන්ති ගැන බොහෝ සිතන සමාජයක පහළම කුලයකින් පැමිණ, අවසානයේදී ලොව ඉහළම ස්ථානය කරා වාර්තාවක්ද සමග ළඟාවූයේ පසුගිය 25 වැනිදාය.

දින 52ක කාලයක් ලොව උසම කඳු මුදුන වෙත අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පූර්ණා නොසැලී පය එසවූයේ තමා පෑගී සිටින අඩු කුලයේ දාලිත් සමාජයද ඉහළට ඔසවමිනි.

කම්කරු රැකියාවන්හි නියුතු දෙමවුපියන් පවා මවිත කරමින්, අඩු කුලයේ දාලිත් දරුවන්ට ලොව ජයගැනීමට පාර කීමේ කැඩපතක් බවට අද වනවිට පූර්ණා පත්ව ඇත.

"ඇත්තටම මා එවරස්ට් තරණය කළේ මම වගේම සමාජයේ තැලී පොඩිවී පෑගී සිටින නංගිලා මල්ලිලාට ඔවුන්ගේ දෙපයින් නැගී සිටිමින් ලොව ජයගැනීමේ උත්තේජනයක් ලබාදීමටයි." බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පූර්ණා පැවසීය.

"මම වගේ අඩු කුලයේ දරුවෙකුට ලැබෙන අවස්ථා බොහොම අඩුයි. ඒ නිසා මගේ දක්ෂතාවය ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් සොයමින් මා කාලය ගත කළා." 

ඇගේ දක්ෂතාවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයට පැමිණි පූර්ණාගේ දෙමවුපියන්ට ඒ සතුට දරාගත නොහැකි විය.

"අපේ දරුවා ලෝක වාර්තාවක් තැබුවා කිව්වාම දැනුණු සතුට කියා නිම කරන්න බෑ. ඇය දක්ෂ අධ්‍යාපනයට විතරක් නොවෙයි. ඇය ඕනෑම අභියෝගයක් භාරගන්න තරම් දක්ෂයි." ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත අදහස් දක්වමින් පූර්ණාගේ පියා කියා සිටියේය.

රජයේ සුබසාධන වැඩසටහනක් හරහා වරප්‍රසාද අහිමි දරුවන් 20 දෙනෙකු එවරස්ට් තරණයට තෝරා ගැනීමේදී පූර්ණාටද මෙම අවස්ථාව හිමි වී තිබේ. පාසල් සිසුන් 500ක් අතුරින් අවසානයේදී මේ 20 දෙනා තෝරාගෙන ඇති අතර, එහි සිටි ලාබාළ දැරිය පූර්ණාය.

ඔවුන්ට පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල කඳු තරණය පිළිබඳ පුහුණුවක් ලබාදී තිබේ.

"ඇත්තටම ආරම්භයේදී පොඩි චකිතයක් තිබුණා. නමුත් මට ලැබුණු පුහුණුව සමග ඒ චකිතය පහව ගියා. මම කිසිම අවස්ථාවක අධෛර්යයට පත්වුනේ නෑ." අඩි 29,000ක ඒ අභියෝගාත්මක තරණය ගැන ඇය සිහිපත් කළාය.

ඇය එවරස්ට් ප්‍රධාන කඳවුර වෙත පැමිණ දින තුනකින් හිම කඳු නායයෑම හේතුවෙන් නේපාල ෂෙර්පාවරු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය සිදුවීමද සැලවිය.

නමුත්, ඉන් නොසැලුණු පූර්ණාගේ කණ්ඩායම එවරස්ට් තරණය කළ අතර, පූර්ණාට පසු වයස අවුරුදු 16ක ආනන්ද් කුමාර් එවරස්ට් කඳු මුදුන වෙත පැමිණියේය.

එමෙන්ම, පූර්ණාගේ මේ ජයග්‍රහණය තවත් සුවිශේෂි වන්නේ ඔවුන් එවරස්ට් තරණයට වඩාත් අසීරු ටිබෙට් සීමාවෙන් කඳු මුදුන වෙත ළඟාවීම නිසාය.

බොහෝ දෙනෙකු වඩාත් පහසු නේපාල පැත්ත තෝරා ගත්තත්, පූර්ණා ප්‍රමුඛ පිරිස අභියෝගාත්මක පැත්තෙන්ම කන්ද වෙත පැමිණියහ.

මීට පෙර එවරස්ට් වෙත පැමිණි ළාබාලතම දරුවා වයස අවුරුදු 13 මාස 10ක් වන ඇමෙරිකානු ජාතික ජෝර්දාන් රොමේරෝය. ඒ 2010 වසරේදීය.

පූර්ණා රොමේරෝට වඩා මාසකින් ළාබාලය.





දේශය දොරට වඩියි

විජය පුවත්පත් සමාගමේ නවතම සති අන්ත පුවත්පත වන දේශය ඉරිදා පුවත්පත හෙට (01දා) දොරට වඩියි. දේශයේ හෙට දවස වෙනුවෙන් හදවතටත් බුද්ධියටත් එකවර අමතන පවුලේ සති අන්ත පුවත්පත ලෙස දේශය පාඨකයන් වෙත පිරිනැමෙයි. 

දේශය ඉරිදා පුවත්පත අද (31දා) වෙළද පොළට නිකුත්විය. ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් ආනන්ද ජයසිංහ මහතා දේශය පුවත්පතේ කතෘවරයා ලෙස කටයුතු කරයි. 

පිටි මිල ඉහළ ගියත් පාන් මිලේ වෙනසක් නෑ

වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝවක මිල රුපියලකින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම කටයුතු කරනු ලැබීය.

තිරිඟු පිටි මිල ඉහළ දැමුවත් පාන් ඇතුළු බේකරි නිශ්පාදන වල මිල ඉහළ නොදැමිමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ලෝඩ්ස් වාර්තා අලුත් කරයි

ලෝඩ්ස් පිටියේදී එක්දින කණ්ඩායමක් වාර්තා කළ පස්වැනි වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත් කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින සිවුවැනි එක්දින තරගයේදී ලකුණු 300ක් රැස් කරමිනි. එසේම ලෝඩ්ස් පිටියේදී එක්දින කණ්ඩායමක් ලකුණු 300 පසුකර ගියේ වසර 12කට පසුව වීමද විශේෂයකි. එසේම ලෝඩ්ස් පිටියේදී ලකුණු 300 සීමාව හඹාගොස් ඉන්දීය කණ්ඩායම අවස්ථා දෙකකදී ජයග්‍රහණය වාර්තා කර තිබේ.

කාසියෙ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. සංගක්කාර වාර්තා ගත ශතකයක් ලබමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

සංගාගේ ශතකය ගැන මෙතනින්http://goo.gl/Zlk3cu

ශ්‍රී ලංකා කණ්ඩායම 300/9 (පන්දුවාර 50)

තිලකරත්න ඩිල්ශාන් 71 (පන්දු 109, 4×5)

කුසල් ජනිත් පෙරේරා 19 (පන්දු 15, 4×5, 6×1)

කුමාර් සංගක්කාර  (පන්දු 109ල 4×5, 6×0)
මහේල ජයවර්ධන 7 (පන්දු 14, 4×1)
ඇන්ජලෝ මැතිව්ස් 30 (පන්දු 30, 4×4)
ළහිරු තිරිමාන්න 16 (පන්දු 14, 4×2)
අශාන් ප්‍රියන්ජන් 9 (පන්දු 7)
නුවන් කුලසේකර 0 (පන්දු 2)
සචිත්‍ර සේනානායක 12 (පන්දු 5, 4×1, 6×1)
අජන්ත මෙන්ඩිස් 4* (පන්දු 1, 4×1)

එංගලන්තය පන්දු යැවීම

ජේම්ස් ඇන්ඩර්සන් 60/2 (පන්දුවාර 10 )
හැරී ගර්නි 55/4 (පන්දුවාර 10)
ක්‍රිස් ජෝර්ඩන් 67/2 (පන්දුවාර 10)
ජේම්ස් ට්‍රැඩ්වෙල් 39/1 (පන්දුවාර 10)

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු වැටීම
1/26 කුසල් (පන්දුවාර 5.1) , 2/198 ඩිල්ශාන් (35.4),  3/217 ජයවර්ධන (39.3) 4/233 සංගක්කාර 42/1, 5/261 තිරිමාන්න (46.2) 6/279 මැතිව්ස් (48.1) 7/280 කුලසේකර (48.4), 8/292 ප්‍රියන්ජන් (49.3) 9/296 සේනානායක (49.5)