Monthly Archives: April 2014

අධිවේගයේ ගිය බට්ටාගේ ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් ඩිමෝ බට්ටා රථයක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබේ. අධිවේගී මාර්ගයේ ඉමදූව කනංකේ ප්‍රදේශයේදී මෙම ලොරි රථය ගිනිගෙන තිබේ. ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

දරුවන්ට කිරිදෙමින් කළ විරෝධය

කාන්තාවන්ට ස්වභාවධර්මයෙන් පියයුරු ලබාදී ඇත්තේ දරුවන්ට කිරිදීමට යැයි පවසන එංගලන්ත මව්වරු පිරිසක් නොටින්හැම් ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක් වටලමින් දරුවන්ට කිරිදෙමින් විරෝධතාවයක යෙදී තිබෙනවා. ඒ එම වෙළෙඳ සංකීර්ණයේ පිහිටි Sport Direct  ඇඳුම් සාප්පුවේදී තුන්මස වියැති දරුවෙකුට මව්කිරි ලබාදුන් කෝමර් නැමැති 25 හැවිරිදි මවක සාප්පුවෙන් ඉවත් කිරීමට විරෝධය දැක්වීමටයි.

පසුගිය ජනවාරි මස තම සැමියා සමඟ ඇඳුම් මිලදී ගැනීමට ගොස් සිටියදී මෙලෙස සාප්පු සංකීර්ණය තුළ දරුවාට මව්කිරි දීම ආයතනික නීති රීති වලට පටහැනි බව පවසා තමාට සාප්පුවෙන් ඉවතට යන ලෙස වෙළෙඳ සැල් කාර්යය මණ්ඩලය බලපෑම් කළ බවට චෝදනා කරමින් කෝමර් සාප්පු සංකීරණයේ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කර ඇත. කෙසේ නමුත් මේ වනතුරු Sport Direct සාප්පු සංකීර්ණයේ නිලධාරීන් කෝමර්ගෙන් සමාව ගෙන නොතිබීම නිසා කුපිතවූ මව්වරු පිරිසක් අද (30දා) දින සාප්පු සංකීර්ණය ඉදිරිපිටත්, අභ්‍යන්තරයේත් තම දරුවන්ට මව්කිරි දෙමින් විරෝධය දක්වා තිබේ.

මෙම විරෝධයට එක්වෙමින් විරෝධතාව සංවිධානය කළ ලෙයා ගිබ්සන් පවසන්නේ කුසගින්නෙන් හඬන තම දරුවාට මව්කිරි පෙවීම අපරාධයක් සිදුකරනවා වැනි හැඟීමකින් සිදුකිරීමට වර්තමාන මව්වරුන්නට සිදුවී ඇති බවයි.

එසේම ඇය පවසන්නේ කාන්තාවකගේ පියයුරු පිහිටා ඇත්තේ දරුවන්ට කිරිදීමට බව විශ්වාස කරන පිරිමින් ප්‍රතිශතය ශීඝ්‍රයෙන් අඩුවී ඇති බවටත්, කාන්තාවකගේ පියයුරු පිරිමින් ආකර්ෂණය කරගැනීමට පිහිටි අවයවයක් ලෙස සිතා පිරිමින් කටයුතු කරන නිසා මෙවන් අවාසනාවන්ත තත්ත්වයකට කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවත්ය.

කෙසේ නමුත් එංගලන්තයේ ජනාකීර්ණ ස්ථාන රැසක දරුවන්ට ප්‍රසිද්ධියේ මව්කිරි ලබාදීම තහනම් කටයුත්තක් වෙයි. මේ නිසාම එංගලන්තයේ Baby Milk Action සංවිධානයේ සභාපතිනිය පවසන්නේ ප්‍රසිද්ධ ස්ථානවලදී දරුවන්ට මව්කිරි දීමේ අයිතිය නීතියෙන් තහවුරු කරන තෙක් කාන්තාවන් අඛණ්ඩව අරගල කළයුතු බවයි.

 

අප්‍රේල් උද්ධමනය ඉහළ යයි

2014 අප්‍රේල් මාසයේ උද්ධමනය 4.9% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 4.2% සිට සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 මාර්තු මාසයේ 4.2% ක් ලෙස පැවති අතර, එය අප්‍රේල් මාසයේදී 4.9% ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය මාර්තු මාසයේ වාර්තා කළ 5.7% සිට අප්‍රේල් මාසයේදී 5.6% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

දුම්රිය ගැටුමෙන් තුවාල ලැබූවන්ට වන්දි

පොතුහැර දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය ගැටුමෙන් තුවාල ලැබූ සියලු දෙනාට වන්දි මුදල් ලබාදෙන බවත්, මීට අමතරව දුම්රිය දෙක එකිනෙකට ගැටීම නිසා දුම්රිය මාර්ගයට සිදුවූ හානිය නිසා හෙට උදෑසන වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය ධාවන කටයුතු අවලංගු කර දැමූ බවත් දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා සඳහන් කළේය.

මේ නිසා කලින් ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත් සියලුම දෙනාට නැවත මුදල් ලබාදෙන බවත්, අනතුරින් රෝහල්ගත වී සිටින සියලුම දෙනාට වන්දි මුදල්වල අත්තිකාරම් මුදල් හැකි ඉක්මනින් ලබාදෙන බවත් ඔහු පවසා සිටියේය.

අදාළ දුම්රිය අනතුර නිසා දුම්රිය සේවා, අවලංගු කර දැමීම නිසා හෙට උදේ වනවිට එම මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 20 ක් අවලංගු වී යන බවද වාර්තාවේ.

 

හයිඩ් පිටිය දෙන්නෙක් ඉල්ලති

හෙට දිනයේදී මැයි දින රැලිය පැවැත්වීම සඳහා කොළඹ හයිඩ් පිටිය දෙපාර්ශ්වයක් විසින් ඉල්ලා තිබේ. ලංකා බැංකු සේවක සංගමය හා වෘත්තීය සමිති සම්මේලනය හයිඩ් පිටිය ඉල්ලූ එම පාර්ශ්ව දෙක වේ.

දෙපාර්ශ්වය විසින්ම හයිඩ් පිටිය ඉල්ලා සිටි හෙයින් ඇතිවූ ආරවුල් තත්ත්වය හේතුවෙන් එය විසඳීමට මෙකී කරුණ කොටුව අධිකරණය වෙත රැගෙන යාමට කොම්පඤ්ඤවීදිය පොලීසිය කටයුතු කළේය.

ඒ අනුව ඉදිපත්වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලංකා බැංකු සේවක සංගමයට හයිඩ් පිටිය ලබාදීමට නියෝග දී තිබේ.

 

 

ආගමික ගැටුමකට ශ්‍රී ලංකාවේ ඉඩක් නෑ- ජනපති

ශ්‍රී ලංකාවේ ආගමික නොසන්සුන්තාවක් නොමැති බවත්,එවන් වූ ආගමික ගැටුමකට ශ‍්‍රී ලංකාව තුළ හිස එසවීමට තමන් ඉඩ නොදෙන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රාජ්‍ය චාරිකාවක් සඳහා බහරේන් රාජධානිය වෙත ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (29දා) එරට වෙසෙන ශ්‍රී ලංකා ජනතාව අමතමින් ඉහත අදහස් ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදස් දැක්වූ ජනපතිවරයා කලක්  ගත වී වුවද බහරේනය සමග රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ඇරඹීමට හැකිවීම  සතුටක්බවද  පැවසීය.

 

ජාතක පොත ශ්‍රවණය කළ හැකි චෛත්‍යයක්

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ශ්‍රවණය කළ හැකි විකාශන යන්ත්‍රයක් (සංගෘහිත චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්) බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ අනුශාසනා පරිදි නිපදවා තිබේ.

'විශ්ව බලධර්ම සංගෘහිත චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ' ලෙස නම් කර ඇති මෙම යන්ත්‍ර 550 ක් පූජා කිරීමේ ජාතික උලෙළ මැයි මස 10 වැනි දින පස්වරු 5.05 ට දිවයින පුරා විහාරස්ථාන 550 කදී ආරම්භ වේ.

දුම්රිය දෙකක් ගැටී 70කට තුවාල

(UPDATE)පොතුහැරදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලත් පිරිස 70කට ආසන්න වී තිබේ.  එයින් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතල බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

————————————————————————————————————————–

පොතුහැරදී දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් 34 දෙනෙක් තුවාල ලබා තිබේ. තුවාල ලැබූවෝ කුරුණෑගල රෝහලට ඇතුළත් කර සිටිති. රැජිණ දුම්රිය හා පලෙයි බලා ගිය දුම්රියක් මෙසේ ගැටී තිබේ. 

 

පාකිස්තානයට සම්බන්ධ ශ්‍රී ලංකා ත්‍රස්තවාදියා අත්අඩංගුවට

ඉන්දියාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය හා තමිල්නාඩු පොලීසිය එක්ව කරන ලද ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ ශ්‍රී ලංකා මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලබයි.

සහීර් හුසේන් නැමැති මෙම ත්‍රස්තවාදී සැකකරු නුවර ප්‍රදේශයේ සිට ඉන්දියාවට ගොස් තිබෙන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම හරහා ත්‍රස්තවාදී ජාලයක ක්‍රියාකාරිත්වයක් අඩපණ කිරීමට හැකිවී තිබෙන බවත් තමිල්නාඩු පොලීසිය සඳහන් කරයි.

සැකකරු පාකිස්තානයේ සිට ක්‍රියාත්මක අයි. එස්. අයි. (ISI) නැමැති ත්‍රස්තවාදී සංවිධානයත් සමග සබඳතා පවත්වා ඇති බවත් ඔහු මේ වන විට චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයේ රඳවා සිටින බවත් එම මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

ඉන්දීය මහ මැතිවරණයේ 7වැනි අදියර අද ඇරඹෙයි

ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වීමේ සටනේ ආසන්නයටම පැමිණ ඇති බවට අනාවැකි පළ කෙරෙන නරේන්ද්‍ර මෝඩි අද (30දා) සිය ගම් පළාත වූ ගුජරාට් ප්‍රාන්තයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන්නේ අද ඇරඹෙන ඉන්දීය මහ මැතිවරණයේ හත්වැනි අදියරේදීය.

අහමේදාබාද් දිස්ත්‍රික්කයේ පිහිටි පාසලකදී ඔහු ඡන්දය ප්‍රකාශ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ ආසන 26ම තම මල්ලට පුරවා ගැනීම මෝඩිගේ බලාපොරොත්තුව බවද කියැවෙයි.

මේ අතර, ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවන් නගරබදව සිටින ජනයා ගම් පළාත්වලට යෑම හේතුවෙන් එරට බස් හා දුම්රිය ජනයාගෙන් පිරී පවතින බවද වාර්තා වෙයි.

එමෙන්ම, බෙදී වෙන්වීමට සැරසෙන අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයත් අවසන් වරට එක් ප්‍රාන්තයක් ලෙස මෙවර මැතිවරණය පැවැත්වෙයි.

සමස්තයක් ලෙස අද පැවැත්වෙන ඡන්ද විමසීම වෙනුවෙන් ප්‍රාන්ත හා එක්සත් පළාත් 9ක, මිලියන 139ක ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

ඔවුන් ආසන 89ක් වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 1,300ක් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයක් ලෙස පැවැත්වෙන මෙවර ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් මිලියන 814ක ඡන්දදායකයන් පිරිසක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටියි.

අදියර 9ක් යටතේ පැවැත්වෙන මැතිවරණය මැයි 12 වැනිදා අවසන් වන අතර, ඡන්ද ගණන් කිරීම මැයි 16 වැනිදා ඇරඹෙන බව එරටින් වාර්තා වෙයි.