Monthly Archives: April 2014

අඩු පහසුකම්ලාභීන්ට කොළඹ නිවාස 10,000ක්

පැල්පත් හා මුඩුක්කුවාසින් ලෙස හඳුන්වනු ලැබු කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මුලිකත්වයෙන් ආරම්භකර ඇති කොළඹ අවට ඉදිවන නිවාස 20,000 ව්‍යාපෘතියෙහි තවත් අදියරක් ක්‍රියාත්මක කරමින් නව නිවාස 10,000ක යෝජනා ක්‍රම 7ක් සඳහා මුල්ගල් තැබීම නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබේ.

මේ වන විට දෙමටගොඩ නිවාස 500 යුත් මිහිඳු සෙන්පුර නිවාස ව්‍යාපෘතිය ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත්කරනු ලැබ ඇති අතර, හේනමුල්ල, අලුත් මාවත, පර්ගියුෂන් මාවත, සිරිල් සී. පෙරේරා මාවත, එදිරිසිංහ මාවත, මාලිගාවත්ත, දෙමටගොඩ, ඔරුගොඩවත්ත 31 වත්ත, 54 හා 66 වත්ත, කොලොන්නාව, සාලමුල්ල සහ අංගොඩ යන ප්‍රදේශයන්හි තවත් නිවාස ව්‍යාපෘති ඉදිවෙමින් පවතින බව පෙන්වා දෙයි.

අලුතින් ආරම්භ කරනලද ව්‍යාපෘති යටතේ මාදම්පිටිය, මට්ටක්කුලිය, හේනමුල්ල, අලුත් මාවත, ඇපල්වත්ත, කිඹුලා ඇල හා ආරාමය පෙදෙස යන ස්ථානයන්හි නිවාස ඒකක 10,000ක් ඉදිකිරීම සඳහා පසුගිය 28 වැනිදා සුභ මොහොතින් මුල්ගල් තබන ලදි.

මෙම නිවාසවල ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, සන්කෙන්, සී.එම්.එල්.එම්.ටී.ඩී. ඇක්සස් ඉංජිනියරින් සමාගම, මාගා ආයතනය, සියෙරා ආයතනය, සතුට බිල්ඩර්ස් යන දේශීය ඉදිකිරීම් ආයතන විසින් සිදු කරනු ලබයි.

කොළඹ නගරයේ වෙසෙන සියලුම මුඩුක්කු හා පැල්පත්වාසී නිවැසියන්ට ස්ථිරසාර තමන්ගේම නිවසක ජීවත්වීමේ උරුමය ලබාදෙමින් නිවසක් වෙනුවෙන් රජය රු.ලක්ෂ 40ක් පමණ වැය කරනු ලබන අතර මුළු ව්‍යාපෘතිය සඳහා රු.බිලියන 275ක් පමණ වැයවේ. මෙම එක් නිවාස ඒකකයක කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙය ඇතුළු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විත වේ. මෙමගින් පැල්පතක් වෙනු‍වට නිවසක් ලබාදීම පමණක්ම නොව නිවාසලාභීනට පහසුවෙන් ව්‍යායාම කළ හැකි ඇවිදින මංතීරු, ක්‍රීඩාංගණ, නිදහසේ කාලය ගත කිරීමට හැකි උද්‍යාන, ප්‍රජාශාලා වැනි ඔවුනට අවශ්‍ය සියලුම පොදු පහසුකම් ලබාදීම රජය විසින් සිදු කරනු ලබන බවද පැවසෙයි.

මෙම ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවන් සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වීරසේන අධිකාරී, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (මුදල්) ප්‍රියා ජයවර්ධන, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ඒ.සී. ප්‍රියශාන්ත ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද අදාළ ඉදිකිරිම් ආයතනයන්හි නිලධාරින් පිරිසක්ද සහභාගි වූහ.

 

බහරේන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයෙන්

බහරේන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය පසුගියදා බහරේන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන්, බහරේන් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ආචාර්ය හස්සන් ඒ. ෆැක්රෝ සහ බහරේන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ දෙවැනි උප සභාපති ජවාඩ් අල්හ්වාජ් යන මහත්වරු විසින් මෙහිදී දේශන පැවැත්වූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මෙන්ම බහරේන් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගි වූ අතර, බහරේන්හි ජාත්‍යන්තර ආයෝජන උද්‍යානය නැරඹීමටද අවස්ථාවක් කරගෙන තිබුණි.

කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර සහ බහරේන්හි ශ්‍රී ලංකා තානාපති අනුර රාජකරුනා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සෙවොල් යාත්‍රාවේ ස්ථායීබව ගැන කලින් අනතුරු අඟවලා

දකුණු කොරියාවේදී මුහුදු බත්වූ සෙවොල් යාත්‍රාවේ නිවාඩු ගොස් සිටි කපිතාන්වරයා විසින් එහි ස්ථායීබව සම්බන්ධයෙන් යාත්‍රාවේ හිමිකරු වෙත සිදුකරන ලද අනතුරු ඇඟවීම ඔහු නොසලකාහැර ඇති බවට නඩු පවරන්නන් විසින් චෝදනා ගොනුකර තිබේ.

යාත්‍රාව නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව එහි පමණ ඉක්මවා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම කපිතාන්වරයා මීට පෙර අනතුරු අඟවා ඇති බව ඔවුහු පවසති.

කෙසේ වෙතත් මේ වනවිටත් නෞකාව අයත් සමාගමේ නිලධාරීන් දෙදෙනෙකුද රැඳවුම් භාරයේ පසුවන බව කියැවෙයි.

නඩු පවරන්නන් විසින් පෙන්වා දෙන පරිදි යාත්‍රාවේ සාමාන්‍යයෙන් රැගෙන යා හැකි බර මෙන් තුන් ගුණයක බරක් එහි රැගෙන ගොස් තිබේ.

පසුගිය අප්‍රේල් 16 වැනිදා යාත්‍රාව මුහුදුබත් වනවිට එහි පුද්ගලයන් 476 දෙනෙකු සිටි අතර, ඉන් ජීවිත ගලවාගෙන තිබුනේ පුද්ගලයන් 174ක් පමණි. එමෙන්ම, මළ සිරුරු 200ක් පමණ කිමිදුම්කරුවන් විසින් යාත්‍රාව තුළ තිබී පසුව සොයා ගනු ලැබිණි.

යාත්‍රාවේ ගමන් කළ මගීන්ගෙන් වැඩි පිරිසක් එරට උසස් පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16ත් 17ත් අතර වයසේ පසුවූ නව යොවුන් වියේ සිසු සිසුවියන්ය. එමෙන්ම පාසලේ ගුරුභවතුන්ද එහි විය.

කෙසේ වෙතත් කිමිදුම්කරුවන් විසින් තවදුරටත් යාත්‍රාව තුළ සිරවී ඇති මළ සිරුරු සෙවීමේ මෙහෙයුමට සම්බන්ධව සිටින බවද වාර්තා වෙයි.

මරණීය දණ්ඩනය යළි ක්‍රියාවට නැංවීමට මාලදිවයින් රජය සැරසෙයි

වසර 61ක පමණ කාලයක් පැවති මරණීය දණ්ඩන තහනම ඉවත් කෙරෙමින්, මරණීය දණ්ඩනය යළි ක්‍රියාවට නැංවීමට කටයුතු යොදන බව මාලදිවයින් ජනරජය පවසයි.

කෙසේ වෙතත් මාලදිවයිනේ මෙම පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කණස්සල්ල පළ කර ඇති බව බී.බී.සී.ය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මගින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයකින් පැවසෙන්නේ, ඉදිරි කාලයෙහි මාල දිවයින් රජයට වයස අවුරුදු 7ක තරම් වන ළමුන් පවා මරණීය දණ්ඩනයට යටත් කොට, ඔවුන්ගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු එය ක්‍රියාත්මක කිරීමට මේ හරහා ඉඩ සැලසෙන බවයි.

එමෙන්ම මෙම නව සැලැස්ම යටතේ මාරාන්තික විසක් ශරීරයට එන්නත් කිරීමෙන් මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට යන බවද වාර්තා වෙයි.

එමෙන්ම, මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු වත්මන් බලය සීමා කිරීමටද මෙම නව නීතිය මගින් සංශෝධන ගෙන ඇති බව එරටින් වාර්තා වෙයි.

එරට රජයේ ආරංචි මාර්ගවලට අනුව මේ වනවිටත් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයන් 20ක් පමණ එරට බන්ධනාගාරගතව සිටී.

චීන දුම්රිය ස්ථානයක පිපිරීමක් – විශාල පිරිසක් තුවාල ලබයි

චීනයේ බටහිර ෂින්ජියෑන්ග් පළාතේ දුම්රිය ස්ථානයක සිදුවූ පිපිරීමකින් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට රජයේ මාධ්‍ය පවසා සිටියි.

උර්මිකි දකුණු දුම්රිය ස්ථානයේදී මෙම පිපිරීම සිදුව තිබෙන්නේ බදාදා (30දා) සවස් කාලයේදීය.

පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරක් නොලැබුණත්, මේ හේතුවෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට නිල නොලත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය මාස කිහිපය පුරා ෂින්ජියෑන්ග් පළාතෙන් ප්‍රචණ්ඩක්‍රියා වාර්තා විය.

චීන ජනාධිපති ෂි ජින්පින්ග් ද පසුගියදා මෙම කලාපයේ සංචාරයක නිරත වූ අතර, එහි ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම් ඇරඹීමට ප්‍රතිඥාවක්ද ලබාදුන්නේය.

 

ශ්‍රී ලංකන් යානයේ බෝම්බ බිය ඇති කළ සැකකරු හිරේට

ශ්‍රී ලංකන් ගුවන් යානයක බෝම්බ බියක් ඇති කළ පුද්ගලයෙකුට එරෙහිව වසර තුනක සිර දඩුවමක්  ලබාදීමට එංගලන්තයේ චෙස්ල්ම්ස්ෆෝර්ඩ් අධිකරණය  නියෝග කෙරිණි.

මෙසේ වසර තුනක සිර දඬුවමක් ලබා දී ඇත්තේ ඇලන් පැටේ නැමැත්තෙකුටයි.

‘හැලොව් ස්ටාර්’ පුවත් සේවය සඳහන් කළේ, සැකකරුගේ ලිපිනය පිළිබඳව නිශ්චිත සඳහනන් නොමැති බවයි. කෙසේ වෙතත් ඇලන් තමන්ට ඇති චෝදනා  පිළිගෙන තිබේ.

කටුනායක සිට එංගලන්තයේ හීත්‍රො ගුවන්තොටුපළ බලා පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා පියාසර කළ ගුවන් යානයේ සිටි සැකකරු බෝම්බ බියක් ඇතිකරමින් ගුවන් යානයේ නොසන්සුන්තාවක් ඇති කෙරිණි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානය ස්ටෑන්ස්ටෙඩ් ගුවන්තොටුපළෙට ගොඩ බැස්සවීමටත් කටයුතු කරන ලදී.  එසෙක්ස් පොලීසිය විසින් එහිදී ඇල්න් හා තවත් 57 හැවැරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු නිදහස් කරනු ලැබූ බව බී.බී.සී.  පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකන් ගුවන් යානය ස්ටෑන්ස්ටෙඩ් ගුවන්තොටුපොළේදී (ඡායාරූපය BBC ඇසුරෙනි.)

ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් – WHO අනතුරු අඟවයි

ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් එල්ල වීම ජනතාගේ සෞඛ්‍ය කෙරෙහි ගෝලීය වශයෙන් එල්ල වන බලවත් තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.

රටවල් 114ක දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම අනාවරණය සිදුකර ඇති අතර, මේ වනවිට ලෝකයේ බොහෝ කලාපවල මේ ප්‍රතිරෝධය පවතින බව එහි වැඩිදුරටත් පැවසෙයි.

එහි 'පසු-ප්‍රතිජීවක යුගයක්' ගැන විස්තර කරන අතර, එහිදී ඉතා සුළු ආසාදනයකින් පවා මිනිසුන් මරණයට පත්විය හැකි බවද පෙන්වා දී තිබේ.

එම වාර්තාව අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් ඇතිවිය හැකි බලපෑම අතිශය දරුණු විය හැකි බවයි.

නියුමෝනියාව, පාචනය ආදී වශයෙන් වූ සාමානයෙන් බහුල හා බරපතල රෝගාබාධයන් කෙරෙහි වගකිව යුතු විවිධ වර්ගවල බැක්ටීරියා හතක් සම්බන්ධයෙන් මෙම වාර්තාව අවධානය යොමු කොට තිබේ.

ඒ අනුව, ප්‍රධාන ප්‍රතිජීවක ඖෂධ වර්ග ද්විත්වයක්, ඇතැම් රටවල ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් වෙත තවදුටරත් සුවයක් අත්කර නොදෙන බව එම වාර්තාව අවධාරණය කරයි.

ඒ අනුව, නව ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමේ අවශ්‍යතාවක් පවතින්නේ යැයි පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ ඒ වෙනුවෙන් ලෝකයේ රාජ්‍යයන්ට හා බලධාරීන්ට වගකීමක් පැවරෙන බවයි.

 

නත්හා රතී රඟා දිල්ලි දිනයි

නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තන්හා රතී රඟා’ චිත්‍රපටය නව දිල්ලි චිත්‍රපට සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මාන උලෙළ අද (30දා) දිල්ලියේදී පැවැත්විණි.

 

MH370 බෙංගාල බොක්කෙත් නැතිලු

පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් රැඳි සාගර කලාපයක් නිශ්චය කරගැනීමට හැකි වූ බව ජියෝරිසෝනන්ස් නම් ඔස්ට්‍රේලියානු මුහුදු ගවේෂණ සමාගමක් කළ එළිදරව්ව ප්‍රතික්ෂේප කරන්නේ යැයි ඒකාබද්ධ සෝදිසි සම්බන්ධීකරණ ආයතනය පවසයි.

දැනට ගුවන් යානයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන දකුණුදිග ඉන්දියානු සාගරයේ සිට කිලෝමීටර් 5,000ක් උතුරින් බෙංගාල බොක්ක ආශ්‍රිත සාගර පතුලක මෙම නිශ්චය කිරීම සිදුකර ඇති බව එම සමාගම ඊයේ (29දා) කියා සිටියේය.

පසුගිය මාර්තු 10 වැනිදා සිට මේ දක්වා එකී මුහුදු කලාපයේ වර්ග කිලෝමීටර් 20,00,000ක ප්‍රදේශයක් ඔවුන් ගවේෂණය කර තිබූ බවත්, මේ සඳහා න්‍යෂ්ටික අවි සහ සබ්මැරීන සොයාගැනීමට යොදාගන්නා සංවේදක තාක්ෂණයක් භාවිත කළ බවත් එම සමාගම කියා තිබුණි.

ඒකාබද්ධ සෝදිසි සම්බන්ධීකරණ ආයතනය අවධාරණය කරන්නේ අදාළ සමාගම විසින් ඉදිරිපත් කරන තොරතුරු ගුවන් යානය ගමන් කළ බවට ලැබී ඇති චන්ද්‍රිකා දත්ත ඇසුරෙන් සකස් කළ මාර්ගය සමග කිසිසේත්ම නොගැළපෙන බවයි.

MH370 යානය පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ අතර, එදා සිට යානය සොයා ගුවන් හා නාවුක මෙහෙයුම් සිදුවිය.

මෑත ඉතිහාසයේ ලෝකයම විමතියට පත්කළ අභිරහසක් බවට පත්වූ MH370 යානයේ අතුරුදන් වීම සඳහා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම ලොව එදාමෙදා තුර සිදුකළ දැවැන්තම හා වැඩිම වියදමක් දැරූ සෝදිසි මෙහෙයුම බවට පත්ව ඇත.

ජනපති දිවයිනට

බහරේන්හි නිල සංචාරයක නිරත වී සිටි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (30දා) සවස කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.

මෙම නිල සංචාරයේදී ජනපතිවරයා බහරේන්හි ඉහළම සම්මානය වන අල් ඛලීෆා සම්මානයෙන්ද පිදුම් ලැබීය.