Monthly Archives: March 2014

ජපානයේ තල්මසුන් දඩයමට එරෙහිව අධිකරණ තීන්දුවක්

ජපානය විසින් ඇන්ටාක්ටිකාවේ සිදුකරන තල්මසුන් දඩයම කිසිදු ආකාරයක විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් වෙනුවෙන් සිදුනොකරන්නක් බව යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය තීන්දු කර තිබේ.

ජපානය සෑම වසරකම තල්මසුන් 1,000ක් පමණ දඩයම් කරන අතර, මෙම තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා සිදුකරන්නක් ලෙස ඔවුන් හඳුන්වයි.

කෙසේ වෙතත් ජපානයේ මේ තල්මසුන් දඩයම් කිරීමේ වැඩසටහනට එරෙහිව 2010 මැයි මාසයේදී ඔස්ට්‍රේලියාව විසින් යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය වෙත නඩුවක් ගොනුකළ අතර, මෙම තල්මස් දඩයම වාණිජ පරමාර්ථයෙන් සිදුවන්නක් බව පෙන්වා දුන්නේය.

අධිකරණ තීන්දුවකට තමන් හිස නමන බව ජපානය මීට පෙර කියා තිබුණු නිසා, ජාත්‍යන්තර අධිකරණයේ මෙම තීන්දුව නෛතික වශයෙන් ජපානයේ බැඳ තබන්නක් බව කියැවෙයි.

ඒ අනුව, යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ සභාපති, විනිසුරු පීටර් ටොම්කා අද (31දා) ලබාදුන් තීන්දුවත් සමග ජපනුන්ගේ තල්මස් දඩයම තාවකාලිකව නවතිනු ඇත.

පාකිස්තානයේ හිටපු හමුදා පාලකයාට රාජද්‍රෝහී චෝදනා

පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ් වෙත එරට අධිකරණයක් විසින් රාජද්‍රෝහී චෝදනා ගොනුකර ඇති බව වාර්තා වෙයි.

පාකිස්තානය තුළ එවැනි චෝදනාවකට ලක්වූ ප්‍රථම හමුදා නායකයා මුෂාරෆ් බවද වාර්තා වෙයි.

නිතිවිරෝධී ලෙස එරට ව්‍යවස්ථාව අත්හිටුවීම හා  හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

කෙසේ වෙතත් මුෂාරෆ් පවසන්නේ තමන් නීතියට පටහැනිව කටයුතු නොකළ බවය. මෙම චෝදනා දේශපාලනික හස්තයන් තුළින් ක්‍රියාත්මක වන චෝදනාවන් බවද හෙතෙම පවසයි.

කෙසේ වෙතත්, මෙම චෝදනාව ඔප්පු වුවහොත් ඔහුට මරණ දඬුවමට මුහුණදීමට සිදුවනු ඇත.

පර්වේස් මුෂාරෆ් 2001 සිට 2008 දක්වා කාලය පාකිස්ථානයේ ජනාධිපති ධුරය හෙබවූ අතර, ඔහු එරට දීර්ඝ කාලයක් ජනාධිපති ධුරය හෙබවූ නායකයන් අතර සිටියෙකු බවද පැවසිය යුතුය.

මාර්තු උද්ධමනය සියයට හතරයි දශම දෙකෙහිම රැඳේ

2014 මාර්තු මාසයේදී උද්ධමනය 4.2% ක් ලෙස මීට පෙර මාසයේ පැවති තත්ත්වයෙහිම රැඳුනු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 පෙබරවාරි මාසයේ 4.2% ක් ලෙස පැවති අතර, එය තවදුරටත් පවත්වා ගනිමින් මාර්තු මාසයේදී ද 4.2% හිම රැඳී ඇත.

මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය පෙබරවාරි මාසයේ වාර්තා කළ 6.0% සිට මාර්තු මාසයේදී 5.7% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

 

ජපුර සරසවි සිසුහු 14 ක් පොලිස් අත්අඩංගුවට

ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නියාමකවරයෙකුට පහර දී, මුර කුටියට අලාභ හානි කිරීමේ චෝදනා යටතේ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනෙකු අද (31දා) අත්අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය පෙබරවාරි මස 24 වැනිදා විශ්වවිද්‍යාලයේ සිසුන් හා ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වූ අතර, එයට සම්බන්ධ බවට සැකපිට මෙම සිසුන් 14 දෙනා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සියලු දෙනා ශාස්ත්‍ර පීඨයේ 02 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුහු වෙති.

 

ජවිපෙ ඡන්ද පත්‍රිකාවක් පාසලක

දකුණු පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ලකුණු කළ ඡන්ද පත්‍රිකාවක් ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ මහා විද්‍යාලයේ තිබී සොයාගෙන ඇත.

අද (31දා) උදෑසන පාසල් ආ සිසුවෙකු මෙම ඡන්ද පත්‍රිකාව අහුලා එය ගුරුවරයෙකු මගින් විදුහල්පති හිමියන්ට භාර දී තිබිණි. ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා පවසන්නේ මේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

මෙම ඡන්ද පත්‍රිකාව ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය සලකුණු කර තිබිණි.

 

කලාකරුවෝ 07 ක් ඇතුළේ 06 ක් එළියේ

මෙවර බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තරග කළ කලාකරුවන් අතරින් කලාකරුවන් 07 දෙනෙකු පළාත් සභාවට තේරීපත්ව ඇති අතර, තවත් කලාකරුවන් හය දෙනෙකුට පරාජය භාරගැනීමට සිදුව තිබේ.

නලීන් ප්‍රදීප් (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය), ගීතා කුමාරසිංහ (සන්ධානය), රොජර් සෙනෙවිරත්න (සන්ධානය), රවින්ද්‍ර යසස් (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය), උදාර රත්නායක (එක්සත් ජාතික පක්ෂය), අරුණ දීපාල් (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) සහ රොඩ්නි ෆ්‍රේසර් (එක්සත් ජාතික පක්ෂය) බස්නාහිර හා දකුණු පළාත් සභාව වෙනුවෙන් මන්ත්‍රී ධුර හිමි කරගෙන තිබේ.

ජගත් බෙනරගම (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය), අනර්කලී ආකර්ෂා (සන්ධානය), මධුමාධව අරවින්ද (සන්ධානය) සුගත් අප්පුහාමි (එක්සත් ජාතික පක්ෂය), නදීෂා හේමමාලි (එක්සත් ජාතික පක්ෂය) සහ ඩයනා ගමගේ (එක්සත් ජාතික පක්ෂය) මෙවර පළාත් සභා මැතිවරණයේදී පරාජය වූ කලාකරුවෝ වෙති.

සීදූවේ බැංකුවක් මංකොල්ල කයි

සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (31දා) මංකොල්ලකා තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. මුහුණු ආවරණය කරගත් හිස්වැසුම් පැලඳ පැමිණි පුද්ගලයන් 04 දෙනෙකු විසින් එහි කළමනාකරුට පිහියකින් ඇන, බැංකුවේ තිබූ රුපියල් 1,350,000 ක මුදලක් මෙසේ මංකොල්ල කා තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

පිහි ඇනුමෙන් තුවාල  ලත් කළමනාකරු දැනට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

 

MH370 සෙවීමට කාල නියමයක් කියන්න බෑ -ඔස්ට්‍රේලියා අගමැති කියයි

පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සොයා මෙහෙයුම් සිදුකරන සෝදිසි කණ්ඩායම් ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් දක්වා නොමැති බව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් පවසයි.

MH370 යානයේ සෝදිසි මෙහෙයුම්වල සම්බන්ධීකරණයන් සිදුවන ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට මාධ්‍ය ඇමතූ අගමැතිවරයා, යානය සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් කඩිනම් කරන ලද බවද පවසා සිටියේය.

ඒ අනුව, ගුවන් යානා 10ක් සහ නෞකා 10ක් පර්ත් නුවරට නිරිතදිගින් වූ මුහුදු කලාපයේ යානයේ සුන්බුන් සොයා අද දිනයේදීද මෙහෙයුම් අරඹන ලදී.

පසුගිය මාර්තු 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා පුද්ගලයන් 239 දෙනෙකු සමග ගුවන්ගත වූ MH370 යානය, ගුවන්ගත වී පැයකින් පමණ පාලක මැදිරිය සමග වූ සම්බන්ධතාවයෙන් ගිලිහී ගියේය.

එදා සිට අද දක්වාම රටවල් රැසක් ගුවන් යානය සොයා සිය මෙහෙයුම් සිදුකරන අතර, තවමත් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටසක්වත් පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වීම විමතිය දනවන්නක් වී තිබේ.

කෙසේ වෙතත් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බව මීට පෙර මැලේසියානු අගමැති නජීබ් රසාක් අවධාරණය කළ අතර, ඔස්ට්‍රේලියානු අගමැතිවරයාද එම කියමන මෙම මාධ්‍ය හමුවේදී තහවුරු කළේය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය නොකරනු ඇති බව ඇමෙරිකාව කියයි

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සමග පැය හතරකට වඩා වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ යුක්රේනය වෙත රුසියානු හමුදා ආක්‍රමණයක් සිදු නොවනු ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේ ක්‍රිමියාව රුසියාවේ කොටසක් බවට පත්කර ගැනීම නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බව තමන් රුසියානු විදේශ අමාත්‍යවරයාට දන්වා සිටි බවයි.

එහිදී යුක්රේනයේ අනාගතය පිළිබඳ කිසිදු තීරණයක් කියෙව් පාලනයේ මැදිහත්වීමකින් තොරව සිදු නොවන බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා සිටි බව කෙරී පවසයි.

යුක්රේන අර්බුදය සම්බන්ධ සාකච්ඡා සඳහා ඊයේ දිනයේදී ප්‍රංශයේ පැරීස් නුවරට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් අතර සාකච්ඡා පිළිබඳව ලොවම විමසිල්ලෙන් බලා සිටියේය.

පසුගිය සිකුරාදා දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් විසින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා වෙත දුරකථනයෙන් කතා කිරීමෙන් පසුව මෙම හමුවට මාර්ගය විවර වූ බව පැවසෙයි.

මේ වනවිටත් රුසියාව ක්‍රිමියාව ආක්‍රමණය කර ඇති අතර, තවත් දහස් ගණන් රුසියානු හමුදා යුක්රේන දේශසීමාවේ කඳවුරු බඳිමින් සිටින බවට වාර්තා පළ විය.

තුර්කි පළාත් පාලන ආයතන මැතිවරණයේ ජය අගමැතිගේ පක්ෂයම ලබයි

තුර්කියේ පළාත් පාලන මැතිවරණවලින් තම පක්ෂයට ජයග්‍රහණය හිමිව අති බව ප්‍රකාශයට පත්කළ එරට වත්මන් අගමැති රීසෙප් ටයීප් එර්ඩෝගන්, විරුද්ධ පක්ෂවලට මෙහි වන්දිය ගෙවීමට සිදුවූ බව අවධාරණය කළේය.

කෙසේ වෙතත් වත්මන් අගමැතිවරයාගේ රජය එරට බලවත් දෝෂ දර්ශනයට ලක්වූ පාලනයක් බව පැවසෙන අතර, එය අධිකාරීවාදය, වංචා හා දූෂණය ඉහවහා ගිය රජයක් බව කියැවෙයි.

පදුගිය ජූනි මාසයේදී තුර්කියේ පැවති දැවැන්ත විරෝධතා රැලිවලින් පසුව පැවති ප්‍රථම පළාත් පාලන ආයතන මැතිවරණය අගමැතිවරයාගේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට තිබූ වායුපීඩන මානයක් මෙන් විය.

ඔහු නියෝජනය කරන නීතිය හා සංවර්ධනය පක්ෂයේ (AKP) ප්‍රචාරක ව්‍යාපාරයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අගමැතිවරයා තම පක්ෂය වෙනුවෙන් 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදීමට පුරෝගාමී වී තිබේ.