Monthly Archives: March 2014

Good night Malaysian three seven zero

පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය හා ගුවන්ගමන් පාලක මැදිරිය අතර අවසන් වරට සිදුවූ සන්නිවේදනය 'සියල්ල හොඳින්, සුබ රාත්‍රියක්' නොවන බවත්, එය 'සුබ රාත්‍රියක් මැලේසියානු තුන්සිය හැත්තෑව' බවත් තහවුරු වී ඇතැයි මැලේසියානු බලධාරීහු දැන් පවසති.

මීට පෙර මැලේසියානු බලධාරීන් විසින් කියා සිටියේ MH370 යානයෙන් අවසන් වරට ලැබුණු පණිවුඩය 'සියල්ල හොඳින්, සුබ රාත්‍රියක්' (all right, good night) බවයි. ඒ අනුව, මේ වනවිට අබිරහස් ලෙස අතුරුදන් වූ මැලේසියානු යානයේ අවසන් පණිවුඩය පිළිබඳවද බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති වී තිබේ.

කෙසේ වෙතත්, 'සුබ රාත්‍රියක් මැලේසියානු තුන්සිය හැත්තෑව' (Good night Malaysian three seven zero) පිළිබඳව කරුණු අනාවරණය කළ එරට ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම අවසන් පණිවුඩය ලබාදෙන ලද්දේ යානයේ කපිතාන්වරයාද, නැත්නම් එහි සහායක නියමුවාද යන්න පිළිබඳ තහවුරු කරගැනීම සඳහා විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවය.

පසුගිය මාර්තු 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා ගමන් කරමින් සිටියදී MH370 යානයේ අවසන් සම්බන්ධතාව පැවතියේ මැලේසියානු වේලාවෙන් අළුයම 1.19 වන තුරු පමණි.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් විටින් විට විවිධ තොරතුරු ගෙනහැර පෑම හේතුවෙන් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් මෙන්ම මෙම සිදුවීම දෙස බලා සිටින ලෝකයම බලවත් විමතියකට පත්ව ඇති බව නොරහසකි.

මේ අතර, ඊයේ උදෑසන ඔස්ට්‍රේලියානු අගමැති ටෝන් ඇබොට් පවසා සිටියේ, පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සොයා මෙහෙයුම් සිදුකරන සෝදිසි කණ්ඩායම් ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් දක්වා නොමැති බවය.

MH370 යානයේ සෝදිසි මෙහෙයුම්වල සම්බන්ධීකරණයන් සිදුවන ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට මාධ්‍ය ඇමතූ අගමැතිවරයා, යානය සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් කඩිනම් කරන ලද බවද පවසා සිටියේය.

 

යුක්රේනය අසල රුසියානු හමුදා ඉවත්කර ගන්නා හැඩක්

යුක්රේන දේශසීමාවේ සිටින රුසියානු හමුදාවන්ගෙන් කොටසක් නැවත ගෙන්වා ගැනීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් විධානයක් ලබාදී ඇති බව ජර්මානු රජය පවසයි.

දුරකථනය ඔස්සේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් ඇමතූ රුසියානු ජනාධිපතිවරයා මෙම නව තත්ත්වය පැහැදිලි කර ඇති බව ජර්මනිය පවසයි.

පසුගිය සති කිහිපය තුළ රුසියානු හමුදාවන් දහස් ගණනින් යුක්රේන දේශසීමාවේ කඳවුරු බැඳ සිටි බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්වෙඩෙව් සහ එරට රජයේ ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊයේ ක්‍රිමියාව වෙත පැමිණි අතර, රුසියාව විසින් ක්‍රිමියාව තව රටට ඈඳා ගැනීමෙන් පසු ඒ වෙත පැමිණි රුසියාවේ ඉහළම රාජ්‍ය නිලධාරියා බවට දිමිත්‍රි පත්විය.

කෙසේ වෙතත් රුසියානු අගමැතිවරයාගේ සහ නියෝජිත පිරිසේ ක්‍රිමියා සංචාරය යුක්රේනය විසින් දැඩිව විවේචනය කළේය.

මේ අතර, රුසියානු විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර පැය හතරකට වඩා වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව ජෝන් කේරී පවසා සිටියේද රුසියාව යුක්රේනය ආක්‍රමණය නොකරනු ඇති බවය.

දේශසීමාවල යුද අභ්‍යාසයන් අතරතුර උතුරු – දකුණු කොරියා උණුසුම් වෙයි

දකුණු කොරියාව විසින් උතුරු දකුණු කොරියානු මුහුදු දේශසීමාවට ආසන්ව සිදුකරන යුද අභ්‍යාස අතරවාරයේදී උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර ෂෙල් වෙඩි හුවමාරුවක් සිදුවූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන උතුරු කොරියාව පවසා සිටින්නේ තමන් විසින් මුහුදු දේශසීමාව ආසන්නයේ ස්ථාන හතක යුද අභ්‍යාසයක් සිදුකළ බව පමණි.

නමුත්, දකුණු කොරියාව කියා සිටින්නේ තම මුහුදු කලාපයට උතුරු කොරියානු ෂෙල් පතිත වීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් තමන්ද ප්‍රහාරයක් එල්ල කළ බවය.

කොරියානු යුද්ධයෙන් පසුව උතුරු හා දකුණු කොරියානු රාජ්‍යයන් වෙන් වීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙන් කළ මෙම දේශසීමාව දෙරටම කුපිත ගැන්වෙන කලාපයක් වෙයි. එමෙන්ම, උතුරු කොරියාව කිසිසේත්ම එකී දේශසීමා වෙන් කිරීම මේ දක්වා පිළිගන්නේද නැත.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, ෂෙල් ප්‍රහාරයන් සාගරයට පතිත වී ඇති බව වාර්තා වෙයි.

ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් ගමන් 3800ක් අවලංගුයි

ජර්මානු ලුෆ්තන්සා ගුවන් සේවයේ වේතනයන් හා අනෙකුත් පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලා එහි ගුවන් නියමුවන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන් ගුවන් ගමන් වාර 3,800ක් මෙම සතිය තුළ අවලංගු කරන බව එම සමාගම පවසයි.

ලබන බදාදා සිට සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිත මෙම වැඩවර්ජනය ලුෆ්තන්සා ගුවන් සේවය හරහා ගමන කිරීමට සිටි මගීන් 425,000කට සෘජුවම බලපාන බව ඔවුන් පවසයි.

කෙසේ වෙතත් මෙසේ ගුවන් ගමන් වාර අවලංගු කිරීම සම්බන්ධයෙන් සියලුම මගීන් වෙත කෙටි පණිවුඩ හා ඊමේල් මාර්ගයෙන් දැනුම් දුන් බවද එම සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය ලුෆ්තන්සා ගුවන් සේවයටද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව පැවසෙයි.

මේ තුළින් එම සමාගමේ ආදායම් කෙරෙහි යූරෝ මිලියන ගණනක පාඩුවක් සිදුවනු ඇති බවද පැවසෙයි.

මුල ඉඳලා කොළොන්නාව හදනවා- හිරුණිකා

කොළොන්නාව ගොඩනැගීම සිය වගකීම බවත්, තමන් මුල සිට කොළොන්නාව හදන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබමින් මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය.

"මට කොළොන්නාවෙ මිනිස්සු 85% ක්ම ඡන්දය දුන්නෙ ඔවුන්ට ඔවුන්ගේ ගම හදන්න මාව ඕනෑ නිසයි. ඒ නිසා ඔවුන්ගේ සාධාරණය වෙනුවෙන් මම වැඩ කරනවා. මම කොළොන්නාව මුල ඉඳලා හදනවා කියලා කියන්නෙ, දුරාචාර අතින් කොළඹ දිස්ත්‍රික්කයේ එය අංක එක නිසයි. මට පළාත් සභාව තුළ ඇමති ධුර ගන්න ආසාවක්, පොරයක් නෑ. මන්ත්‍රීවරියක ලෙස හරි මට කරන්න ලොකු වගකීමක් තියෙනවා" යැයි හිරුණිකා මෙනවිය අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

 

ඡායාරූපය – ඉසුරු පෙරේරා

ශ්‍රී ලංකන් කෙයාර්ස් වෙත ආසියානු සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රී ලංකන් කෙයාර්ස් (SriLankan Cares)  ආසියාවේ විශේෂිත ආයතනික සමාජ වගකීම් අංශයේ සෞඛ්‍ය අභිවෘද්ධිය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීය.

එම උත්සවය  නවදිල්ලියේ ජේ.ඩබ්ලිව් මැරියට් හෝටලයේ දී පසුගියදා පැවැත්විණි.

ආසියාවේ වගකිව යුතු ව්‍යවසායකයින් (Enterprise Asia) යනු කලාපයේ ව්‍යවසායකත්ව සංවර්ධනය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයකි. ආසියාවේ ව්‍යාපාරික හා තිරසාර  සංවර්ධනය, පරිසර හිතකාමී හරිත නායකත්වය, වගකිවයුතු පුද්ගල ආයෝජන,ආයතනික පාලනය, සෞඛ්‍ය අභිවෘද්ධිය ,සමාජ සවිබල ගැන්වීම, ආයතනික සමාජ වගකීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකන් කෙයාර්ස් 2003 වසරේ ආරම්භ කිරීමත් සමඟ ළමුන්ගේ සුභසාධනය, ළමා සෞඛ්‍ය හා අධ්‍යාපනය පිළිබඳව පුළුල් අවධානයක් යොමුකර ඇති අතර පසුගිය දශකය මුළුල්ලේම සමාජ සේවා වගකීම් ගණනාවක් දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් සිදු කරන ලද බව ඔවුන් පවසයි.

2013 වසරේදී ශ්‍රී ලංකන් කෙයාර්ස් විසින් ළමා සෞඛ්‍ය සංවර්ධන වසර ලෙස නම් කිරීමත් සමඟ රජයේ සෞඛ්‍ය අරමුණ සාර්ථක කර ගැනීම සඳහා විශාල සහයෝගයක් ලබාදුන් බවද පෙන්වා දෙයි. එහිදී ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ අතර ළමා සෞඛ්‍ය ,සහශ්‍ර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ළදරු මරණ අවම කිරීම ළමා හා මාතෘ සෞඛ්‍ය වර්ධනය සහ අනෙකුත් සමාජ අවශ්‍යතාවන් වන, විශේෂිත අවශ්‍යතාවන් ඇති දරුවන් සුවපත් කිරීම , හෘද රෝග වැළැක්වීම ආදී  ව්‍යාපෘති රැසක් සිදුකරන ලද බවද පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල, ශ්‍රී ලංකන් කෙයාර්ස් කළමනාකාර නිරෝෂන් රණවක සහ ප්‍රාදේශීය කළමනාකරු/ඉන්දියාව ලලිත් ද සිල්වා යන මහත්වරු මෙම සම්මානය ලබාගත්හ.

 

 

මොරගහකන්ද ගොවි පවුල්වලට ඉඩම් බලපත්‍ර

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පදිංචි කිරීමට යෝජිත ගොවි පවුල් සඳහා ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම බකමුණ මහසෙන් මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගිය 30 වැනිදා පැවැත්විණි.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවති මෙම උත්සවයේදී ගොවි පවුල් 2000ක් සඳහා ඉඩම් බලපත්‍ර පිරිනැමුණි.

මේ අවස්ථාවට සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරිආරච්චි, වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී රාජකරුණා, මොරගහකන්ද කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර හේරත් බණ්ඩා යන මහත්වරු එක්ව සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

රංගන ‍හේරත්ගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ නවසීලන්ත පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් චිතගොංහිදී අද (31දා) පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 59 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිර‍තවෙමින් නවසීලන්ත ජයග්‍රහණය අපහසු කළ හේරත් පන්දුවාර 3.3 කදී ලකුණු 03කට කඩුලු 05 ක් බිඳහෙළීමට සමත්විය. එය රංග‍න හේරත්ගේ විස්සයි20 හොඳම පන්දු යැවීම මෙන්ම ලොව පන්දුවාර විස්සයි 20 තෙවැනි හොඳම පන්දු යැවීම විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15.3ක් අවසානයේදී කඩුලු 9කට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 60ක් පමණි. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර 20-20 කණ්ඩායමක් දැවී ගිය තුන්වැනි අවම ලකුණු ප්‍රමාණය වෙයි.

පසුගිය එංගලන්ත තරගයේදී දිනේෂ් චන්මාල් ප්‍රමාද වී තරගය අවසන් කළ බැවින් අද තරගය ඔහුට අහිමි වූ අතර, ඒ වෙනුවට ලසින් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය. එමෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන, මාලිංගට සිය උපරිම දායකත්වය ලබාදෙන ආකාරය මෙම තරගයේදී දැකගත හැකිවිය. 

හෙට (01දා) පැවැත්වෙන පාකිස්තාන – බටහිර ඉන්දීය කොදෙව් තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන බ්‍රහස්පතින්දා (03දා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට නියමිය.

ශ්‍රී ලංකාව 119/10 (පන්දුවාර 19.2)

මහේල ජයවර්ධන 25 (පන්දු 32, 4×2)

ළහිරු තිරිමාන්න 20 (පන්දු 18, 4×3)

සචිත්‍ර සේනානායක 17 (පන්දු 11, 4×1, 6×1)

 

නවසීලන්තය පන්දු යැවීම

ට්‍රෙන්ට් බෝල්ට් 20/3 (පන්දුවාර 4)

මිචෙල් මැක්ලෙන්හැන් 24/2 (පන්දුවාර 4)

කඩුලු වැටීම

1/20 (කුසල්, පන්දුවාර 1.5), 2/29 (ඩිල්ශාන්, 3.3), 3/35 (සංගක්කාර, 5.6), 4/65 (තිරිමාන්න,11.1), 5/81 (මැතිව්ස්, 13.5), 6/85 (ජයවර්ධන, 14.6), 7/92 (කුලසේකර, 15.4), 8/116 (තිසර, 18.2), 9/119 (සේනානායක, 19.1), 119/10 (මාලිංග, 19.2)

 

නවසීලන්තය 60/9 (පන්දුවාර 15.3)

කේන් විලියම්සන් 42 (පන්දු 43, 4×6)

ශ්‍රී ලංකාව පන්දු යැවීම

රංගන හේරත් 3/5 (පන්දුවාර 3.3)

සචිත්‍ර සේනානායක 3/2 (පන්දුවාර 3)

කඩුලු වැටීම

1/18 (ගප්ටිල්, පන්දුවාර 3.1), 2/18 (බී. මැකලම්, 3.6), 3/23 (ටේලර්, 5.5), 4/23 (නීෂම්, 5.6), 5/29 (රොන්චි, 7.3), 6/33 (එන්. මැකලම්, 9.3), 7/51 (මිල්ස්, 13.3), 8/60 (විලියම්සන්, 15.1), ‍/9/60 (බෝල්ට්, 15.3)

———————————————————————————————————————-

රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩායම පරාජය පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

වියෝ වූ මානවඩු මහතාට මනාප 2391 ක්

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ, එහෙත් හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා අපේක්ෂක සුමතිපාල මානවඩුගේ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්‍රතිඵල ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට පත්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයන් ඔහුට මනාප 2391 ක් ලබා දී ඇත. මානවඩු මහතා පසුගිය 25 වැනිදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. ජනතා විමුක්ති පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත්තේ මහින්ද ජයසිංහ මහතායි. ඔහු මනාප 14,933 ක් ලබාගෙන ඇත.

 

ඉන්දියාව ගැන දමිළ සංවිධානවල කනස්සල්ල

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් පහක් ප්‍රමුඛව ගෙන ආ යෝජනාවලිය සඳහා ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ගත් තීරණය පිළිබඳව විදේශීයව ක්‍රියාත්මක වන දමිළ සංවිධාන කිහිපයක්ම ඉන්දියාවට සිය නොසතුට ප්‍රකාශ කර ඇති බව ‘හින්දු පුවත්’ සේවය අද (31දා) වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය දමිළ සංසදය හා උතුරු ඇමෙරිකාවේ දමිළ ෆෙඩරේෂණය ඊයේ (30දා) ඒකාබද්ධ නිවේදයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවලියට සහාය නොදැක්වීමට ඉන්දියාව කටයුතු කිරීම පිළිබඳව කනාගටුවෙන් පසුවන බවයි.

මීට අමතරව ලෝක දමිළ සංවිධානය, ඇමෙරිකානු දමිළ දේශපාලන ක්‍රියාකාරීත්වය ඇතුළු තවත් සංවිධාන 07 ක් ඉන්දියාවට සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව ද හින්දු පුවත් සේවය තවදුරටත් වාර්තා කළේය.