Monthly Archives: February 2014

අනාගතයේත් මේ රට ආරක්ෂා කරනවා- මහනාහිමිවරු පවසති

අතීතයේදී ධර්මද්වීපය ආරක්ෂා කිරීමට මහා සඟරුවන කටයුතු කලා සේම අදත් හෙටත් මේ රට ආරක්ෂා කිරීමට ගරුතර මහා සංඝරත්නය ඇප කැප වී කටයුතු කරන බව ත්‍රෛනිකායික මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රජයට විරුද්ධව විදේශ රාජ්‍යයන්, සංවිධාන හෝ පුද්ගලයන් එල්ල කරන චෝදනා තරයේ හෙලා දකින බවද එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මීරිගම එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ආණ්ඩුවට

මීරිගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන තිලක් අශෝක සහ සනත් රණසිංහ යන මහත්වරු අද (28දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සන්ධාන සාමාජිකත්වය ලබාගත්හ.

 

ඡායාරූපය - නලීන් හේවාපතිරණ 

කිරිපිටි මෙට්‍රික්ටොන් 130 ක් විනාශ කිරීමට අවසර ඉල්ලයි

කිරිපිටි ආනයනය කරන සමාගමක් විසින් මෙරටට ආනයනය කරනු ලැබූ කිරිපිටි මෙට්‍රික් ටොන් 130 ක් විනාශ කිරීම සඳහා එම සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ අවසර ඉල්ලා තිබේ.

2013 වසරේ ජූලි මසට පෙර අදාළ සමාගම විසින් මෙම කිරිපිටි සියල්ල ඉතා කුඩා තොග වශයෙන් ගෙන්වා ඇති නිසාත්, ඒවා DCD පරීක්ෂණයට ලක් කිරීමට ආර්ථිකමය වශයෙන් ලාභදායී නොවන බවත් සඳහන් කරමින් කිරිපිටි තොගය විනාශ කිරීමට සමාගම අවසර ඉල්ලා තිබේ.

සුරංග වෙනුවට මෙන්ඩිස්

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩාම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. පාකිස්තානයට එරෙහිව පැවැති තරගය ක්‍රීඩා කළ සුරංග ලක්මාල් වෙනුවට අජන්ත මෙන්ඩිස් අද තරගයට කැඳවා තිබේ.

ඉන්දීය කණ්ඩායම –

රෝහිත් ෂර්මා, ශිකර් දවාන්, විරාට් කෝලි,  අම්බති රයිදු,  අජින්ක්‍යා රහානෙ,  දිනේෂ් කාර්තික්, ස්ටුවට් බිනී , රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, බූවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි

ශ්‍රී ලංකා කණ්ඩායම -

කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, චතුරංග ද සිල්වා, සචිත්‍ර සේනානායක, තිසර පෙරේරා, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්

මිරිස් හා කහ කුඩුවලට පරණ පාන් කුඩු මිශ්‍ර කරලා

තුනී ලෙස අඹරා පිටි කළ පරණ පාන් කුඩු, මිනිස් පාරිභෝජනයට නුසුදුසු ෆැබ්රික් ඩයි වර්ගයක් සමග කලවම්කර සකස් කරමින් වෙළෙඳ පොළට එවීමට සූදානම් කරතිබූ මිරිස් කුඩු සහ කහ කුඩු තොගයක් අද (28දා) පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම නිෂ්පාදනාගාරය ආමර් වීදියේ පවත්වාගෙන ගොස් තිබූ අතර, මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 5000 ක්, කහ කුඩු කිලෝ 3000 ක් හා පරණ පාන් කුඩු කිලෝ 2000 ක් පාරිභෝගික අධිකාරියේ භාරයට ගෙන ඇත.

මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවන බව වැටලීම් නිලධාරීහු පවසති. 

මීගමුව පාර හෙට සිට දින හතරක් වැසෙයි

හෙට (01දා) පෙරවරු 9.00 සිට ඉදිරි දින 4 ක කාලය තුළ මීගමුව මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.   

පෑලියගොඩ නවලෝක වටරවුමේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ දක්වා වන මීගමුව මාර්ගයේ කිලෝ මීටර්  02 ක දුරක් කාපට් ඇතිරීමට කටයුතු කරන හෙයින් මෙසේ මීගමුව මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවනු ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එහෙයින් මීගමුව මාර්ගය භාවිත කරන රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිස් මූලස්ථානය පවසයි.

01. පෑලියගොඩ නවලෝක වටරවුම හරහා ගමන් කරන වාහන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පෑලියගොඩින් ඇතුළු වී මීගමුව පාරේ අධිවේගී පිවිසුමෙන් නැවතත් මීගමුව පාරට පැමිණිය හැක.

02. මීගමුව සිට කොළඹ දෙසට පැමිණෙන වාහන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අසල මීගමුව පාරේ අධිවේගී පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කොළඹට පැමිණිය හැක.

03. අධිවේගී මාර්ගයට ඇතුළු වීමට අවසර නොදෙන ත්‍රිරෝද රථ, යතුරුපැදි, පාපැදි, සහ ට්‍රැක්ටර් සඳහා සහ මෙම මාර්ග කොටසේ පදිංචිකරුවන්ට සහ මගී ප්‍රවාහන බස් රථ සඳහා මීගමුව මාර්ගය භාවිත කිරීමට හැකියාව ඇත.

 

දෙමළ ජාතික සන්ධානයෙන් රජයට එරෙහි යෝජනාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ මීළඟ සැසිවාරය සඳහා දෙමළ ජාතික සන්ධානය විසින්ද යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන බවත්, ජිනීවා සමුළුවට වෙනමම කණ්ඩායමක් ලෙස සහභාගීවන බවත් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා පැවසීය.

එසේම එම යෝජනාවලිය සඳහා ඉදිරිපත් කරන කරුණු පිළිබඳව මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවත් එහිදී රජයට එරෙහිව කරුණු ඉදිරපත් කිරීමට බලාපොරොත්තුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ සියලුම නායකයන්ගේ සහභාගීත්වයෙන් යාපනය පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී ඊයේ (27දා) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන්කළේ උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පත් කරන ලද ජනාධිපති කොමිසමට දෙමළ ජාතික සන්ධානයෙන් පූර්ණ විරෝධය පළ කරන බවයි. 

 

නව ගුවන් හමුදාපති වැඩ භාරගනී

(PICTURES) නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා අද (28දා) වැඩ භාරගනු ලැබීය.ඔහු ගුවන් හමුදාපති ලෙස තේරීපත්වීමට මත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලැබීය.

කෝලිත ගුණතිලක මහතා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහලේ හා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අතර 1980 වසරේ කැඩෙට් නිළධාරියෙකු ලෙස ගුවන් හමුදාවට බැදී තිබේ. රණවීර පදක්කම, රණශූර  පදක්කම, උත්තම සේවා පදක්කම, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම ඇතුළු පදක්කම් රාශියක් හිමිකරගෙන ඇති කිර්තිමත් නිලධාරියෙකි.

ඔහු මානුෂීය මෙහෙයුම පවතින වකවානුවේදී ගුවන් හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙසද කටයුතු කරන ලදී.

හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඊයේ (27දා) නිල වශයෙන් සිය රාජකාරී නව ගුවන් හමුදාපතිවරයාට භාරදුන්නේය. නව ගුවන්හමුදාපති වෙනුවෙන් සම්මාන උත්තමාචාර පිරිනැමීම අද (28දා) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

මම නැවතත් ලංකාවේ පදිංචියට එනවා- සෙනාලි

සෝමරත්න දිසානායකයන්ගේ 'සිරි පැරකුම්' චිත්‍රපටයේ 'සිරිමල් එතනා' චරිතය තුළින් සිනමාවට පිවිසි සෙනාලි ෆොන්සේකා මේ දිනවල නැවතත් සිය මව් රටට පැමිණ සිටියි. එංගලන්තයේ වෙසෙමින් සිය අධ්‍යාපන කටයුතු වල යෙදෙන සෙනාලි ලැබුණු කෙටි විවේකයත් සමගින් ශ්‍රී ලංකාවට පැමිණ අලුත් කලා කටයුතු කිහිපයකටම දායක වෙමින් සිටින බව දැනගන්නට ලැබුණි. මේ නිසාම සෙනාලිගේ අලුත් කලා කටයුතු පිළිබඳව තොරතුරු විමසන්නට 'අද' අපි ඇය සමගින් කතා බහ කළෙමු.

 

කොහොමද සෙනාලි ඉතින්?

හොඳින් ඉන්නවා. අධ්‍යාපන කටයුතු වලදී ලැබුණු කෙටි නිවාඩුවකට පසුගිය දෙසැම්බර් අගදී මම ආපහු ලංකාවට ආවා. ඒ අතරම ආරාධනා ලැබුණු අලුත් නිර්මාණ කිහිපයකටත් මේ  දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නවා. 'සිරි පැරකුම්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට එකතු වෙද්දි තවත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා 'කළු සෙවණැල්ල' කියලා. මේ ටෙලි නාට්‍යය කොටස් 30ක සිමීත එකක් හින්දා මෙහි රූපගත කිරීම් කටයුතු පහුගිය නිවාඩුවට ආපු වෙලාවේ අවසන් කරගන්න පුළුවන් වුණා. මම හිතන විදිහට මෙහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. බොහෝ විට ඉදිරි කාලයේදී මේ ටෙලි නාට්‍යය ඉතා ඉක්මනින් විකාශය වේවි කියලා හිතනවා. ඊට අමතරව 'සිරි පැරකුම්' චිත්‍රපටයෙන් පස්සෙ තවත් චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. එක් චිත්‍රපටයකට මා මේ වන විටත් කැමැත්ත ලබාදීලා තියෙනවා.

'සිරි පැරකුම්' හි 'සිරිමල් එතනා' චරිතයට කොහොමද ලැබුණ ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ලැබුණා. 'සිරි පැරකුම්' චිත්‍රපටය ප්‍රදර්ශනය අවසන් වුණත් මාව අද දකින මගේ ප්‍රේක්ෂකයෝ මට කතා කරන්නේ 'සිරිමල් එතනා' කියලා. එතකොට නම් පුංචි ආඩම්බරයකුත් මට තියෙනවා. මොකද, මගේ පළමු රංගනයට මෙවැනි ඉහළ ප්‍රතිචාර තවමත් ලැබෙන හින්දා‍.

ලංකාවේ විතරද ඔයාට මේ වගේ ප්‍රතිචාර ලැබුණේ?

නැහැ. එංගලන්තයේ මා ඇසුරු කරන මගේ සියලුම යහළුවෝ දැනගෙන හිටියා මම ලංකාවේ චිත්‍රපටයකට සම්බන්ධ වුණා කියලා. ඔවුන් මගේ සිනමා තොරතුරු වගේම 'සිරි පැරකුම්' චිත්‍රපටයේ ඇතුළත් ගීත හා දර්ශන අන්තර්ජාලයෙන් නරඹලා තිබුණා. ඒ හරහා මාව දැකපු බොහෝ දෙනෙක් 'ෆේස්බුක්'  හරහා මගේ රංගනයන් ගැන විවිධ අදහස් පළ කරලා සුබපැතුම් එවලා තිබුණා.

'සිරි පැරකුම්' එංගලන්තයේදී ප්‍රදර්ශනය කරන්න සැලසුම් කළේ නැද්ද?

 'සිරි පැරකුම්' චිත්‍රපටය එංගලන්තයේදී ප්‍රදර්ශනය කළේ නැහැ. නමුත්, ඔස්ට්‍රේලියාව හා ඉතාලිය යන රටවල් වල මෙය ප්‍රදර්ශනය කළා. ඒ අයගෙනුත් මට සහ මගේ රංගනයට හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

රංගනය කියන දේ හදාරන්න අවශ්‍ය දෙයක් කියලා මේ අවස්ථාවේදී හිතුණෙ නැද්ද?

හිතුණා. ඒ නිසාම තමයි මම මේ වන විට එංගලන්තයේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදෑරීමක් සිදුකරන්නේ. මම හිතනවා එහිදී ලබන අධ්‍යයනය ඉතා වැදගත් වේවි කියලා ඉදිරියේදී මා රංගනයෙන් දායක වන නව නිර්මාණ වලට.

නිතරම කලා කටයුතු වලට සම්බන්ධ නොවීම ඔබට අවාසියක් කියල හිතෙන්නෙ නැද්ද?

නැහැ. ඒකට හේතුව තමයි රංගනය කියන්නේ මගේ වෘත්තිය නොවන නිසා. මම කැමතියි රඟපාන්න. මොකද, ඒක මගේ පුංචි කාලෙ ඉඳලා තිබුණ හීනයක් හින්දා. මම දැනට ජීව විද්‍යා අංශයෙන් ක්‍රේම්බිජ් විශ්වවිද්‍යලයේ උපාධිය හදාරනවා. ඒ අංශයෙන් මම විද්‍යාඥවරියක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. එතකොට ඒක තමයි මගේ වෘත්තිය වෙන්නේ.

දිගටම ලංකාවේ නවතින්න අදහසක් නැද්ද?

තියෙනවා. මගේ අධ්‍යාපන කටයුතු තව අවුරුදු 4කින් හෝ 5කින් නිම වෙනවා. එතකොට මට විද්‍යාඥවරියක් විදිහට රැකියාවක් කරන්න පුළුවන්. ලංකාවේදී ඒ විදිහට වැඩ කරන්න මගේ අදහසක් තියෙනවා. ඒ නිසා තව අවුරුදු කිහිපයකින් මම නැවතත් ලංකාවේ පදිංචියට එන්න සූදානම් වෙනවා. එතකොට විද්‍යාඥවරියක් විදිහට ලංකාවට සේවයක් කරන්න වගේම ලංකාවේ කෙරෙන කලා කටයුතු වලටත් දායක වෙන්න හැකිවේවි කියලා හිතනවා.

ඡයාරූප 'කිසල් ෆොටෝග්‍රැෆි' අනුග්‍රහයෙනි

 

ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල සීනි පරිභෝජනය වසරකට කිලෝ 31 ක්

ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල සිනි පරිභෝජනය වසරකට ක්‍රි.ගෑම් 31 ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවේ වර්ෂික සීනි  පරිභෝජනය ටොන් 6,50,000 කට ආසන්න බවත් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

දැනට දේශිය සීනි නීෂ්පාදනය සැලකිමේ දි වාර්ෂික අවශ්‍යතාවයෙන් 4% ක් 2011 වසර තුළදී නිෂ්පාදනය කරනු ලැබු අතර, පසුගිය දෙවසර තුළදී 10% ක් දක්වා දෙගුණයකින් වැඩි කිරිමට හැකි වූ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගම මාස 04 කට වරක් එළිදක්වන ස්වීට් සක්සස් සඟරාවේ මංගල පිටපත සී/ස ලංකා සීනි (පෞද්ගලික)  සමාගමේ සභාපති කිර්ති කොටගම මහතා විසින් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා වෙත සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේදී පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

ඉදිරි වසර 07 තුළ සීනි කර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරිමේ අරමුණ සාක්ෂාත් කරලීමේ අභිලාශය මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් කරනු ඇති බව මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.