Monthly Archives: February 2014

NDB-DFCC ඒකාබද්ධ කිරීම් අවසන් අදියරේ

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හා ඩීඑෆ්සීසී බැංකුව (DFCC) ඒකාබද්ධ වීම සම්බන්ධව 2014 ජනවාරි මස නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයට අනුකූලව මෙම බැංකු දෙක ඒකාබද්ධ වීම අවසන් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ප්‍රයත්නය 2014 පෙබරවාරි මාසයේදී සාර්ථක අයුරින් ඉදිරියට යන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එමෙන්ම, විදේශීය බැංකු නියෝජිතයන් මුණගැසීම, යථා තත්ත්ව පරීක්ෂණ, බදු සම්බන්ධ කාරණා සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සාර්ථකව සිදුවන බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මීට අමතරව ඇතැම් ජාත්‍යන්තර ආයතන මෙම මූල්‍ය පද්ධතිය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියේදී අරමුදල් සහ උපදෙස් සැපයීමට කැමැත්ත ප්‍රකාශ කර තිබීමද ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇති බව පැවසෙයි.

පෞද්ගලික බස්රථ පෙර ගෙවුම් කාඩ්පත්හි තාක්ෂණික අත්හදා බැලීමක් සිදුකෙරේ

පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය ක‍්‍රියාවට නංවන පෞද්ගලික බස් රථ සඳහා දිවයින පුරා භාවිත කළ හැකි පෙර ගෙවුම් කාඩ්පතෙහි තාක්‍ෂණික අත්හදා බැලීම පසුගියදා සිදුකර තිබේ.


අමාත්‍ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ක‍්‍රියාවට නංවන මෙම පෙර ගෙවුම් කාඩ්පත සඳහා ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හා මහජන බැංකුව යන රාජ්‍ය ආයතන දෙක දායකත්වය ලබාදෙන අතර, මෙම කාඩ්පත් මගී ජනතාව වෙත හඳුන්වාදීම සඳහා එම රාජ්‍ය ආයතන දෙක සමඟ ඇතිකර ගත යුතු ගිවිසුම් පිළිබඳව නීතිපති උපදෙස් ලබාගනිමින් සිටින බවත්, ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ ද සාකච්ඡා පවත්වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස් හිමියන්  ඉදිරිපත් කළ නව යෝජනා කිහිපයක්ද  කි‍්‍රයාවට නැංවීම පිළිබඳව සියලු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද කියැවෙයි.

මගී ජනතාවගෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් උපරිම සුරක්ෂිතතාව සැලසීම මෙන්ම, එය බස් හිමියාට ලැබීමට සැලැස්වීමද විධිමත්ව කළ යුත්තක් බැවින් ලැබුණු යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන වඩා කාර්යක්‍ෂම හා සුරක්‍ෂිතතාවයකින් යුතු කාඩ් පතක් නුදුරේදීම හඳුන්වාදීම අපේක්‍ෂාව බවද කියැවෙයි.

මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාශනයට අනුව  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි පුද්ගලික ප‍්‍රවාහන සේවා  අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් මෙම ඉලෙක්ට්‍රොනික පෙර ගෙවුම් කාඩ්පත හඳුන්වා දෙනු ලැබීය.

ජයලලිතා ලෝක නායකයන්ට නිගාදෙන හැටි

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයලලිතා ඉදිරියේ දණ නමා වඳින ආකාරයෙන් හා ඔබාමා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් ඇයට හිස නමා ආචාර කරන ආකාරයේන් සකසන ලද පුවරුවක්ද සහිතව, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ 66 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොයිම්බටෝර්හි ප්‍රදර්ශනය කෙරෙන දැවැන්ත ප්‍රචාරක පුවරු පෙළක් නැරඹීම සඳහා ඇගේ ආධාරකරුවන් නගරය කරා ඇදෙන බව විදෙස් පුවත් සේවා පවසයි.

එමෙන්ම, මෙම ප්‍රචාරක පුවරුවල ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා හා හිටපු ජනපති ජෝර්ඩ් ඩබ්. බුෂ් මෙන්ම, චීන සහ ජපාන රාජ්‍ය නායකයන් ඇතුළු ලෝක නායකයන් කීප දෙනකු අතරින් රතු පලස ඔස්සේ ජයලලිතා පියනගන ආකාරයද දැක්වෙයි.

ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා, ව්ලැඩිමීර් පූටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් ඇතුළු නායකයන් ජයලලිතා පිළිගැනීමට අත්පොලසන් දෙන ආකාරය දැක්වෙන ප්‍රචාරක පුවරුවක්ද වෙයි.

ජයලලිතාගේ 66 වැනි උපන් දිනය වෙනුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ හැඩයෙන් විශාල කේක් ගෙඩියක් නිමවා ඇති බවත්, රුක් රෝපණය කිරීම්, කලා ප්‍රදර්ශන සහ ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කර ඇති බවත් තමිල්නාඩුවෙන් වාර්තා වෙයි.

ඇතැම් විට ඉන්දීය පාර්ලිමේන්තුව සිය පාලනයට නතු කරගත්තේ යැයි, තම උපන්දින කේක් ගෙඩිය පාර්ලිමේන්තුවේ හැඩයෙන් නිර්මාණය කිරීම තුළින් ජයලලිතා ප්‍රදර්ශනය කිරීමට සැරසෙනවා විය හැකිය.

 

දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද වෙනුවෙන් බටහිරින් ජිනීවා යෝජනාව ගේනවා – ජනපති

දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබාගැනීම උදෙසා බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාවට කිසිසේත් එකඟ විය නොහැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළ බව බී.බී.සී.ය පවසයි.

"මේ සමස්ත යෝජනාව සමග අපට එකඟ විය නොහැකියි. කිසිසේත්ම යෝජනාවක් ගෙන ආ යුතු නැහැ" යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේ යැයි බී.බී.සී.ය පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා දේශීය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

"අතුරුදන්වීම පිළිබඳ සොයා බලන කොමිසම ඔවුන්ගේ කටයුතු සිදුකරමින් යනවා. අපි මේවා සම්බන්ධයෙන් දේශීයව කටයුතු කරනවා."

ඇෆ්ගනිස්තානය, ලිබියාව හා සිරියාවේ සිදුවන දේ දෙස බැලීමේදී, ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන්නේ කුමක් දැයි ජනපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පෙරලීම මෙවැනි යෝජනාවල අරමුණදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට, "ඒක ඔබ ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ, ජනතාව මාත් සමඟ ඉන්නකන් මට ප්‍රශ්නයක් නැහැ" යනුවෙන් ජනාධිපතිවරයා පිළිතුරු ලබාදී තිබේ.

ජිනීවා යෝජනාවකදී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඉන්දියාවේ තීරණය අප්‍රේල් මස පැවැත්වෙන මැතිවරණය හා බැඳී තිබෙන්නක් බව තමන් වටහා ගෙන සිටින බවද පවසා තිබේ.

"අපි ඔවුන්ව තේරුම් ගෙන සිටිනවා. ඔවුන්ගේ මැතිවරණය පැවැත්වෙනවා, ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ගැන සිතන්න වෙනවා" යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ යැයි බී.බී.සී.ය පවසයි.

ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර සම්බන්ධතාවයන්හි කිසිදු පලුදු වීමක් සිදු වී නොමැති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

උතුරේ ජනතාවට ලබාදිය හැකි උපරිම සහන පසුගිය වසර කිහිපය තුළ ලබා දී තිබෙන බව පවසන ජනාධිපතිවරයා, යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කර තිබෙන බවද පෙන්වා දී ඇත.

ඝාතනවලට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැතිවීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයක්ට පිළිතුරු දුන් දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සාක්ෂි නොමැතිවීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගැනීමට නොහැකිවී ඇති බවයි.

උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින පරිදි පළාතේ ප්‍රධාන ලේකම්වරයා ඉවත් කිරීමට නොහැකි බව උතුරු පළාත් සභාවේ කටයුතු පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයා පවසා ඇත.

මාර්තු මස 5 වැනිදා තමන් ජිනීවා මානව හිමිකම් කොමිසම අමතමින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කරන බව සාකච්ඡාවට එක්ව සිටි විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් කියා සිටි බවද, ඊට පෙර මාර්තු 4 වැනිදා තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය හමුවීමට නියමිත බවද මේ අවස්ථාවේ පෙන්වා දී ඇති බව බී.බී.සී.ය පවසයි.

 

සංගා ශ්‍රී ලංකාවට ජය ගෙනේ

කුමාර් සංගක්කාරගේ සටන්කාමී ඉනිම හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලියේ දෙවැනි තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු 2ක  තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත්විය. සිය එක්දින දිවියේ 18 වැනි ශතකය රැස් කිරීමටද සංගා (103) මෙම තරගයේදී සමත් විය.

කිසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කළේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු9 ලකුණු 264 රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු  265 ඉලක්කයක් ලබා දුන්නේය. එම ඉලක්කය පන්දුවාර 49.2කදී කඩුලු 2ක් වැයකර පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

සංගා ශ්‍රී ලංකාවට ජය ගෙනේ

කුමාර් සංගක්කාරගේ සටන්කාමී ඉනිම හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලියේ දෙවැනි තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු  2 තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත්විය. සිය එක්දින දිවියේ 18 වැනි ශතකය රැස් කිරීමටද සංගා (103) මෙම තරගයේදී සමත් විය.

කිසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කළේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු9 ලකුණු 264 රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු  265 ඉලක්කයක් ලබා දුන්නේය. එම ඉලක්කය කඩුලු8 වැයකර පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සියධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (28දා) පස්වරුවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

නව ගුවන් හමුදාපති හෙට (01දා) මහනුවර දළදා මාළිගාවට හා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වෙත ගොස් ආගමික ආශීර්වාදය ලබා ගැනීමට නියමිතය. 

උද්ධමනය පෙබරවාරියේදී තවදුරටත් පහළ වැටේ

2014 පෙබරවාරි මාසයේදී උද්ධමනය 4.2% දක්වා තවදුරටත් පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 ජනවාරි මාසයේ පැවති 4.4% සිට පෙබරවාරි මාසයේදී 4.2% දක්වා මෙසේ පහළ ගොස් ඇත.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකයද ජනවාරි මාසයේ වාර්තා කළ 6.5% සිට පෙබරවාරි මාසයේදී 6.0% දක්වා පහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

ලොකුආරච්චි තරග පාවා දුන්නේ නෑ – ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් ලොකුආරච්චි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියේ සිදු වූවායැයි කියන තරග පාවාදිම් සඳහා කිසිම ආකාරයක දඬුවමකට ලක්ව නොමැති බවත්, තරග පාවාදීම් සඳහා තමන්ට ලැබුණු ඇරයුම් පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් නොකිරීම හැර තරග පාවාදීම් සඳහා ඔහු සම්බන්ධ වී නොමැති බවද ක්‍රිකට් ආයතනය පවසයි.

එසේම තරගාවලියේ සිදුවූවායැයි යනුවෙන් සඳහන් වන තරග පාවාදීම් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කරනු ලැබූ පරීක්ෂණ සඳහා කෞෂාල් ලොකුආරච්චි සම්බන්ධ වූ බවත්, ඔහුට කිසිම ආකාරයක දඬුවමක් පනවා නොමැති බවත් පරීක්ෂණ කටයුතු තවමත් ඉදිරියට පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

බස් රථ 02ක් ගැටී 25 ක් රෝහලේ

(PICTURES) හැටන් සිට ඩයගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා මස්කෙළිය  ඕල්ටන් සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ දික්ඔය ප‍්‍රදේශයේදී මුහුණට මුහුණලා ගැටීමෙන් එම බස් රථ 02 ගමන් ගත් මගීන් 25  තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් බරපතළ තත්ත්වයේ තුවාලකරුවන් කිහිපදෙනෙකු සිටින බව හැටන් පොලීසිය පවසයි.  අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම බස් රථ 02 වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදු වී තිබෙන බව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසයි.

 

 

 

 හැටන් රංජිත් රාජපක්‍ෂ