Monthly Archives: January 2014

ජපානයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥ ඉටෝ ශ්‍රී ලංකාවේ

ජපානයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන, ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා මෙන්ම, එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිඨයේ පිඨාධිපතිවරයා වන මහාචාර්ය ටකටෝෂි ඉටෝ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

මහාචාර්ය ටකටෝෂි ඉටෝ මහතා ඊයේ (30දා) ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා හමුවී විශේෂ සාකච්ඡාවක  නිරත විය.

මෙම හමුව මුදල් අමාත්‍යාංශයේදී සිදුවූ අතර, මෙහිදී ආර්ථික හා අධ්‍යාපන අංශ පිළිබඳව දෙදෙනා අතර අදහස් හුවමාරු විය.මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබු හිටෝ හොබො මහතාද සහභාගි විය.

 

රුසියානු පිරිමින්ගේ ආයුකාලයෙන් අඩක් වොඩ්කා උදුරා ගනී

රුසියානුවන් වැඩි පිරිසක් නිසි ආයුකාලය සම්පූර්ණ කිරීමට පෙර මරණයට පත්වීමට ඇල්කොහොල් ප්‍රධාන හේතුවක් බවත්, ඊට ‘වොඩ්කා’ නමැති මත්පැන් මුල්තැනක් ගන්නා බවත් පර්යේෂණයකින් හෙලිවී ඇති බව බී.බී.සී.ය පවසයි.

ලොව ප්‍රමුඛ සෞඛ්‍ය ජර්නලයක් වන The Lancet මෙම පර්යේෂණය දත්ත උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රුසියානු පිරිමින්ගෙන් 25% ක් වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර මරණයට පත්වන බවයි. ඉන් වැඩි මරණ ප්‍රමාණයකට ඇල්කොහොල් හේතු වී ඇති බවත්, එය බ්‍රිතාන්‍යයේ දැකිය හැකි 7% ක මරණ සංඛ්‍යාව සමග සැසඳීමේදී විශාල වැඩිවීමක් බවත් කියැවෙයි.

මෙහිදී බොහෝ මරණවලට හේතුව මත්පැන් පානය නිසා අක්මාව ආශ්‍රිත රෝග වැළඳීමත්, ඇල්කොහොල් විෂවීමත් බව එම පර්යේෂණය වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර, තවත් පිරිසක් මත්පැන් පානය කර රියපැදවීමෙන් හා ආරවුල්වලට පැටලීමෙන් මරණයට පත්වන බවද කියැවෙයි.

රුසියානු මාධ්‍ය පෙන්වාදෙන පරිදි මේ ආකාරයේ දැවැන්ත පර්යේෂණයක් එරට සිදුව තිබෙන්නේ ප්‍රථම වරටය.

මෙම පර්යේෂණය සඳහා මොස්කව් පිළිකා මධ්‍යස්ථානය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පර්යේෂණ ඒජන්සිය එක්ව අති අතර, ඔවුන් රුසියාවේ ප්‍රධාන නගර තුනක පුරුෂයන් 151,000කගේ මත්පැන් පානයේ රටාවන් වසර දහයක් මුළුල්ලේ නිරීක්ෂණය කර මෙම පර්යේෂණ වාර්තාව නිකුත් කර ඇති බව කියැවෙයි.

මෙම කාලය තුළ ඔවුන් නිරීක්ෂණය කළ පුරුෂයන් 8,000ක් මරණයට පත්ව ඇත. එමෙන්ම, මත්පැන් පානය හේතුවෙන් මරණයට පත් තවත් පුද්ගලයන් 49,000කගේ පවුල්වල සමීපතමයන්ගේ අත්දැකීම්ද මෙම වාර්තාවට එකතු කර ඇත.

මෙම පර්යේෂණ අධ්‍යයනයේ සහකාර කතුවරයෙකු වන ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය ශ්‍රීමත් රිචඩ් පෙටෝ පවසන්නේ පසුගිය දශක තුනක කාලය තුළ වරින්වර රුසියාව තුළ ඇල්කොහොල් භාවිතය සම්බන්ධයෙන් පැනවූ නීතිරීති හේතුවෙන් මත්පැන් පානයේ යම් අඩු වැඩිවීම් දක්නට ලැබුණත්, මේ තත්ත්වය තුළත් ‘වොඩ්කා’ නමැති මත්පැන් පානය නිසා රුසියානු පිරිමි අඩු වයසින් මරණයට පත්වීම වේගවත් වී ඇති බවයි.

දුටුගැමුණු පිළිරුවක් තිබෙන එකම අමාත්‍යාංශය මගෙයි- මර්වින්

දුටුගැමුණු රජතුමාගේ පිළිරුවක් පවතින එකම අමාත්‍යාංශය තම අමාත්‍යාංශය බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය. එසේම ලංකාවේ පවතින එකම මිල කළ නොහැකි දුටුගැමුණු පිළිමය එය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පෑලියගොඩ දුටුගැමුණු විදුහලට වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය. එසේම තමන් කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණ බවද අමාත්‍යවරයා පැවසීය.

“මම කැලණියෙන් ඉල්ලා අස්වුණා මිසක් අස්කළේ නෑ. ඒ ඉල්ලා අස්වීම මම පසුගියදා ඉල්ලා අස්කරගත්ත. මම මාගම්පත්තුවේ දුටුගැමුණු ඉපදුන රටේ ඉඳලා, මහින්ද රාජපක්ෂ මහත්තයා සමග 1970 කොළඹට ඇවිත් කැලණියේ මන්ත්‍රී වුණේ. මාව වට්ටන්න බෑ. වැටෙන්නෙත් නෑ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ආසියානු අයෝමය ශූරයා තරගාවලියේ ලාංඡනය එළිදක්වයි

එලඹෙන ජුනි මස කොළඹදී පැවැත්වීමට නියමිත 48 වැනි ආසියාතික අයෝමය ශූරයා තරගයේ නිල ලාංඡනය එළිදැක්වීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30දා) සවස කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.

මෙම තරගයට සමගාමීව ක්‍රියාත්මක වන එහි පූර්ව ප්‍රචාරක වැඩසටහන් මාලාවක් පිළිබඳවද එහිදී මාධ්‍ය දැනුවත් කෙරුණු අතර, උත්සවය සඳහා සම්භාවනීය අමුත්තෝ රාශියක් සහභාගී වූහ.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

මේ සුරූපී දියණියව බැන්ඳොත් ඔබට ලැබෙන දෑවැද්ද රුපියල් කෝටි 1300 යි

තම සුරූපී දියණිය සමග විවාහ වන පුද්ගලයාට ඇ.ඩො.මිලියන සියයකට (රු.කෝටි 1,300ක් පමණ) අධික දෑවැද්දක් ලබාදෙන බව හොංකොං ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඇයට මංගල යෝජනා දසදහස් ගණනක් ලැබී ඇති බව වාර්තා වෙයි.

මෙතරම් විශාල මහා ධනස්කන්ධයක් සමග යුවතියක් විවාහකර ගැනීමට පොරකමින් විවිධ තරාතිරම්වල පුරුෂයන් මංගල යොජනා ඉදිරිපත් කළත්, තමන් සමලිංගික කාන්තාවක් බව ජීජී චාඕ නමැති මේ තරුණිය විවෘත ලිපියකින් සිය පියා වන සෙසිල් චාඕ වෙත දන්වා සිටීමත් සමග පෙරකී දසදහස් ගණනක් වූ පුරුෂයන්ගේ සිහින මේ වනවිට බොඳවී ඇති බවද හොංකොං වෙතින් වාර්තා වෙයි.

එමෙන්ම මෙම ලිපියෙන් ඇය සිය පියාට වැඩිදුරටත් දන්වා ඇත්තේ තමාට ස්වාමි පුරුෂයෙකු සෙවීම වහාම නතර කරන ලෙසයි. මේ තත්ත්වය තුළ කෝටිපති දෑවැද්දක් සමග සුන්දර යුවතියක් සරණපාවා ගැනීමට පෙරුම්පිරූ එක් අයෙකුටවත් ඒ වාසනාව උරගා බැලීමට අවස්ථාව නොලැබෙන බවද හොංකොං මාධ්‍ය වාර්තා කරයි.

2012 වසරේදීද මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා තම දියණියට සහකරුවෙකු සෙවීම සඳහා ඇ.ඩො.මිලියන 65ක දෑවැද්දක් ලබාදෙන බව පවසා තිබුණත්, මෑතකදී ඔහු එම අගය දෙගුණයකින් පමණ වැඩිකර තිබුනේ සමලිංගික සේවනයට වැටී ඇති තම දියණියව කෙසේ හෝ විවාහ දිවියකට කැමති කරවාගත හැකි පුරුෂයෙකු සොයා ගැනීමේ අටියෙන් බවද හොංකොං මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මේ තරුණිය පවසා ඇත්තේ තමාට සහකාරියක සිටින බව හා ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයක සිට ප්‍රංශයේ එක්ව යුගදිවියක් ගෙවන බවයි.

සීන් ඊව් නම් වූ ඇයව ගරුත්වයක් ඇති සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස පිළිගන්නා ලෙසත්, කොතරම් හොඳ පුරුෂයන් සිටියත් ඇත්තෙන්ම ඒ එක් අයෙකුවත් තමන් වෙනුවෙන් නොවන බවත් ඇය සිය ප්‍රකෝටිපති පියාට ලියූ විවෘත ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවද කියැවෙයි.

ශ්‍රී මහා බෝ සමිඳුන් ආසන්නයේ වායුව දූෂණය වෙලා

අනුරාධපුර පුදබිමේ පිහිටි ශ්‍රී මහා බෝ සමිඳුන්  ආසන්නයෙන් වාහන ධාවනය කිරීම හේතුවෙන් ඒ අවට පරිසර පද්ධතියෙහි වායුගෝලය තරමක් දූෂණය වන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

මධ්‍යම පරිසර අධිකාරිය සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මේ පවසන එම අධිකාරිය ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට අනාගතයේදී අන්තරායකාරී හා අනාරක්ෂිත බවකට මුහුණබෑමට සිදුවිය හැකි බවද පෙන්වා දෙයි.

බෝ සමිඳුන් අබියස ධාවනය වන වාහන සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බවත්, ඒ හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට නිශ්චිත දුර ප්‍රමාණයක් වාහන මුක්ත කලාපයක් බවට පත්කරන්නේ නම්, එමගින් ශ්‍රී මහා බෝ සමිඳුන්ට වායූ දූෂණයෙන් වන හානිය අවම කරගත හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කළ වාර්තාවෙහි යෝජනා ලෙස සඳහන් කර ඇත.

 

 

මෝටරෝලා යළිත් අලෙවි වෙයි

පසුගියදා ගූගල් සතුව පැවති මෝටරෝලා දුරකථන සමාගම යළිත් අලෙවි වන අතර, එහි නව හිමිකරුවා වූයේ Lenovo සමාගමයි. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.91 ක මුදලකටයි. එයින් Google සමාගමට කෙතරම් මුදලක් පාඩුවුණාද?

2011 වසරේදී එනම් මීට වර්ෂ දෙකහමාරකට ඉහතදී Google සමාගම විසින් Motorola මිලට ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක මුදලකටය. ඒ හරහා ඍජුවම Googleහට ඇමරිකානු ඩොලර් බිලියන 9.6ක නඩුවක් සිදුව ඇති බව සහතිකය. ඒ ඔබට පෙනෙන ආකාරයයි. නමුත් Google සමාගම Motorola වෙතින් ලබාගත් ප්‍රයෝජන සහ ඔවුන්ගේ දැනුම් ආයෝජනයන් සමග බලන විට Google හි පාඩුව තවත් පහළට වැටේ. ඒ අනුව දැනට ගණනය කර ඇති පාඩුව ඇ.ඩො. බිලියන 3.2 කි. ඒ කෙසේ වුවද පාඩුවන මුදලට සරිලන තාක්ෂණයන් Google විසින් Motorola ගෙන් උකහාගෙන ඇති බවත් පැවසෙනවා.

 

සෞඛ්‍ය සම්පන්න හෙටක් වෙනුවෙන් Good Market

වර්තමාන සමාජය තුළ හොඳ දේ, වටිනා දේ බැහැර කොට, නොවටිනා, නරක දෑ වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්කරන බව නිතරම කතාබහ වන කාරණයකි. නමුදු ඒ අතර වටිනා සහ හොඳ දේ වෙනුවෙන් ඉඩ වෙන්කරන අවස්ථා සොයාගිය ගමනේ අපට පෝෂ්‍යදායී දේශීය ආහාරවලට සහ සෞඛ්‍ය සම්පන්න හෙටක් වෙනුවෙන් ඉඩ වෙන්කර ඇති වෙළෙඳ සැලක් හමුවිය. 

ඒ බත්තරමුල්ල දියත උයනේ සෑම බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 2.00 සිට පැවැත්වෙන ගුඩ් මාර්කට් (Good Market) වෙළෙඳ පොළයි. 
සතිපතා පැවැත්වෙන Good Market හි අරමුණ  වී ඇත්තේ ශ්‍රී ලාංකීය නිෂ්පාදන ඉස්මතු කර දැක්වීමත්, ශ්‍රී ලාංකීය ප්‍රජාව සෞඛ්‍යාරක්ෂිත කිරීමත්ය. පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත ආහාර හා සේවා පරිසර හිතකාමී නිෂ්පාදනද  එහි අන්තර්ගතය. 


මුලින් ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද 'Good Market' මේ වනවිට ඉතා සාර්ථක මට්ටමකට පැමිණ ඇති අතර, විවිධ තරාතිරම්වල පුද්ගලයන් මෙම ස්ථානයට පැමිණ එම ද්‍රව්‍ය මිලදීගන්නා ආකාරයද දැකගත හැකි විය. 


එහිදී අපට හමු වූ ඔබට නිතර අසන්නට දකින්නට නොලැබෙන වැදගත් දෑ පිළිබඳව විස්තර කිරීමට අදහස් කළෙමු. 

  • සුදුලූනු ඖෂධ මිශ්‍රණය 

පාරම්පරික ඖෂධ 20 ක එකතුවෙන් සාදා ඇති ආහාර රසකාරකයකි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් මෙන්ම භයානක රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමටද සුදුසුය.
කෙටිකෑම සමග ආහාරයට ගැනීමට මෙන්ම ආහාරයට එක්කිරීමටද සුදුසුය. විශේෂයෙන්ම රතු කැකුළු බත් සමග ආහාරයට ගැනීම ශරීරියට සුබදායකය. 

  • ගම්මිරිස් සෝස් 

දේශීය පාරම්පරික ඖෂධ එකතුවකින් සාදන ලද ආහාරයකි. අතීතයේද ගම්මිරිස් සෝස් ආහාරයට ගෙන තිබුණත්, ක්‍රමයෙන් එය භාවිතයෙන් ඉවත්ව තිබේ. 
සර්ප විෂ දුරුකරන, එමෙන්ම ශරීරයට හිතකර ආහාරයකි. 

  • සුදුලූනු මිශ්‍රණය

කොලෙස්ටරෝල්, ඇදුම, හතිය, පීනස, සෙම් රෝගීන් සඳහා සුදුසුය. රුධිරය කැටි ගැසීම වළක්වාලයි. උදෑසන හිස් බඩට තේ හැන්දක ප්‍රමාණයක් ගෙන, පසුව මඳ රස්නය සහිත උණුවතුර වීදුරුවක් පානය කිරීම ඉතා යෝග්‍යය. ස්වාභාවිකව සොයාගත් පිරිසුදු මී පැණි සහ පිරිසිදු සුදුලූනු එක්කර සකසා ඇත. 

  • සුදුලූනු හා ඉඟුරු මිශ්‍රණය

ආහාර තෙම්පරාදු කිරීමට සුදුසුය. කෘත්‍රිම රසකාරක අඩංගු නොවේ. බොහෝ රෝග නිවාරණයට උපකාරී වේ.

  • ගොරකා ක්‍රීම්

නියම ගොරකා භාවිත කර නවීන පන්නයට ගැළපෙන අයුරින් සකස් කරන ලද ආහාරයකි. පාන් පිටි, සිට්‍රික් අම්ලය, ඩයි වර්ග අඩංගු නොවේ. ස්වාභාවික කළු ගොරකා භාවිතයෙන් සකසා තිබේ. ගොරකා ක්‍රීම් තේ හැඳි ¼ ප්‍රමාණයක් ව්‍යාංජන ග්‍රෑම් 500කට ප්‍රමාණවත්ය.

  • උම්බලකඩ සම්බෝල

උම්බලකඩ හා පිරිසුදු පොල්තෙල් භාවිතයෙන් සකසා තිබේ. පාම් තෙල්, ඉස්සන් කැබලි, කූනිස්සන් ආදිය අඩංගු නොවේ. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නොවේ.

නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ තුළ කොළඹ ප්‍ර‘දේශය ආශ්‍රිත ව්‍යවසායකයන් එකතුව වෙළෙඳ කුටි පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකාවේ සෑම වෙළෙඳ පොළකම දක්නට නොලැබෙන, රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන, කාබනික පොහොර අඩංගු කර සාදන ලද පලතුරු, එළවළු, සකස් කරන ලද ආහාර, කෙටි ආහාර, අත්කම්, අතින් අඳින ලද චිත්‍ර, ස්වාභාවිකවම ලබාගත හැකි ඖෂධ (ආයුර්වේද) ස්වාභාවිකව ලබාගන්නා රූපලාවන්‍ය ද්‍රව්‍ය, ගෙවතු උපකරණ, අව්වේ වියළන ලද ආහාර සහ ශරීරාංග සම්බාහනයට යොදාගන්නා උපකරණ කිහිපයක්ද අපේ නෙත ගැටිණ.

  • පිටකොන්ද සම්බාහකය

තමාට තනිවම පිටකොන්ද සම්බාහනය කිරීමට හැකිවන අයුරින් මෙය නිර්මාණය කර තිබේ. එමගින් පිටකොන්දේ නීරෝගීභාවයටත්, නිල ආශ්‍රිත ස්පර්ශයටත් සුදුසු වේ.

  • යටිපතුල පිරිමදිනය

ශරීරයේ සියලුම ස්නායු ස්පර්ශ වන, යටිපතුලේ ක්‍රියාකාරීත්වයද වැඩි කිරීමට උද්දීපනයක් ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ. එක් පාදයකට හෝ පාද දෙකටම සුදුසු වන අයුරින් සකස් කර තිබේ.

  • ශරීර සම්බාහනය

ශරීරයේ මේදය වැඩි ස්ථාන සම්බාහනයට සුදුසු පරිදි සකසා ඇත. එමගින් ශරීරයේ උද්දීපනය මෙන්ම මේදය ඉවත් කරගැනීමට පහසුවෙන් හැකිවෙයි. අත, කකුල, පිට ප්‍රදේශය ආදියට සුදුසුය. දියවැඩියාව, දණිස් අමාරුව සහිත පුද්ගලයන්ට, එමෙන්ම නහර ගැටගැසුණු ප්‍රදේශ සම්බාහනයට සුදුසුය. තවද දණහිස් සම්බාහන, කොඳුඇට පේළිය, බෙල්ල සම්බාහන උපකරණ, අල්ල සම්බාහනය කරනු ලබන උපකරණය අන්තර්ගත වූ අතර, ඒවායින්ද ඉහත සඳහන් කළ වාසි හිමි වේ.

  • හිස සම්බාහන හා තට්ටු සම්බාහන උපකරණ

මෙම උපකරණය මගින් හිස සම්බාහනය තනිවම සිදුකරගත හැකි අතර, එමගින් හිසේ රුධිර ගමනාගමනය පහසු කරයි. හිසරදය වැනි රෝග නිවාරණයටද පහසු වේ.

ඡායාරෑප – ඒශාන් ප්‍රනාන්දු

 

ශ්‍රී ලංකා නාවුක හමුදාව සාකච්ඡා කඩාකප්පල් කරනවා – ජයලලිතා

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා කඩාකප්පල් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් පවසයි. 

ඉන්දියානු  ධීවරයන් 38 දෙනෙකු ඊයේ (30) ඩෙල්ෆ්ට් දූපත ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අතර, මේ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් ජයලලිතා ඉහත අදහස් ප්‍රකාශ කළ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (31දා) වර්තා කළේය.  
එසේම ඉන්දීය ධීවරයන් මුදාහැරීමට කටයුතු කරන ලෙසද ජයලලිතා ජයරාම් සිය ලිපියෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන්  ඉල්ලා ඇත.

බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාමීය පක්ෂයේ නායකයාට මරණීය දණ්ඩනය

වත්මන් නොසන්සුන්කාරී තත්ත්වයන්ට පෙළඹවීම් ඇති කරමින්, ඉන්දියාවේ කැරලි කණ්ඩායමකට අවි ආයුධ සැපයුවේ යැයි චෝදනා ලබමින් වරදකරු වූ බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාමීය පක්ෂයේ නායක මොතියූර් රහ්මන් නිසාමි වෙත මරණීය දණ්ඩනය නියම වී තිබේ.

2004 වසරේදී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බෙදුම්වාදීන්ට ආයුධ 4,000ක් පමණ ලබාදුන්නේ යැයි,  ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ නායක මොතියූර් රහ්මන් නිසාමි ඇතුළු තවත් 13ක් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුවී තිබිණි.

එවකට ඔහු කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර, එම චෝදනාවට වරදකරුවන් වූ සෙසු 13 දෙනාටද මරණ දණ්ඩනය නියම වී තිබේ. එම පිරිස අතර, බංග්ලාදේශයේ හිටපු ස්වදේශ කටයුතු ඇමතිවරයාද සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, මෙම අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ නායක මොතියූර් රහ්මන් නිසාමි ප්‍රකාශ කර තිබේ.

මෙම චෝදනාවන්ට අමතරව, 1971 වසරේදී සිදු වූ බංග්ලාදේශ නිදහස් සටනේදී යුද අපරාධ සිදු කළ බවටද මොතියූර් රහ්මන් නිසාමි වෙත චෝදනා එල්ල වී ඇති අතර, ඒ සඳහාද ඔහුට මරණ දණ්ඩනය පනවනු ඇතැයි විශ්වාස කෙරෙන බව බී.බී.සී.ය වාර්තා කරයි.

මේ වනවිටත් ඔහුගේ පක්ෂයේ සාමජිකයන් කිහිප දෙනෙකුම මීට පෙර මෙවැනි චෝදනාවන්ට වරදකරුවන් වී ඇති අතර, ඔවුන් වැඩි දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවී තිබේ. කෙසේ වෙතත් තම පක්ෂයේ නායකයාට ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂ සාමාජිකයන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹා ඇති බවද බංග්ලාදේශයෙන් වාර්තා වෙයි.