Monthly Archives: January 2014

ගස් කැපූ හමුදා නිලධාරියා සහ භට පිරිස හමුදා අත්අඩංගුවට

බෝගමුවයාය, මහඔය  වන රක්ෂිතයේ ගස් සිය හමුදා කඳවුරේ ඉදි කිරීම් සඳහා කැපීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් වූ ලුතිනන්වරයා  සහ සෙබලුන් දස දෙනා විවෘත හමුදා අත්අඩංගුවේ තබා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා පොලිස්හේවා බළකාය කටයුතු යොදා ඇත. 

මෙම සිද්ධිය සම්බන්ධව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක තා කඩිනමින් ක්‍රියාකර වගකීම් පැහැර හැරීම සම්බන්ධව වැලිකන්ද, බොරවැව යුද හමුදා ඒකකයේ අණදෙන නිලධාරිවරයා ඉවත් කිරීමට කටයුතු කොට ඇත.එසේම  සිදුවීම සම්බන්ධව මූලික පරික්ෂණ උසාවියක් කැඳවීමටත් නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

කඳවුර තුල භට නිවාසයක් සහ භෝජන ශාලාවක් ඉදි කිරිමට අවශ්‍ය දැව සපයා ගැනීමට මොවුන් මෙසේ නීති විරෝධී ලෙස රක්ෂිතයෙන් ගස් කපා ඇති බව පොලිස්හේවා බලකාය තහවුරු කරගෙන තිබේ.

මෙම භට පිරිස බ්‍රහස්පතින්දා (30දා) දින දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් උසාවිය මඟින් ඇප මගින් නිදහස ලැබූවෝ වෙති.

 

පැහැරගෙන ගොස් වදදුන් යුක්රේන විපක්ෂ ක්‍රියාකාරිකයෙක් හමුවේ

පැහැරගෙන ගොස් වද හිංසාවන්ට ලක් කෙරුණු යුක්රේන විපක්ෂ උද්ඝෝෂණයේ නායකයෙකු සතියකට ආසන්න කාලයක් අතුරුදන්ව සිට අතරමග දමාගොස් සිටියදී හමුවී ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

ද්මිත්රෝ බුලාතෆ් නමැති මොහු පවසා සිටින්නේ, තමා පැහැර ගෙන යාමෙන් අනතුරුව දිගටම පහරදී, අත්වලින් එල්ලා තැබූ බවය. එසේ වද දීමෙන් අනතුරුව කියෙව් අගනුවරට තදාසන්න ප්‍රදේශයක තමා මැරෙන්නට දමාගොස් සිටි බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

මුහුණේ තුවාල සහිතව ඔහුගේ රූපරාමු විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණු අතර, ඔහුගේ කනෙන් කොටසකට දැඩි හානි සිදුවී ඇති ආකාරයද දැකිය හැකි විය.

යුක්රේනයේ හටගෙන තිබෙන වත්මන් දේශපාලන අර්බුදය ආරම්භ වීමෙන් අනතුරුව විපක්ෂ ක්‍රියාකාරීන් පැහැරගත් බවට සහ වද හිංසාවලට පැමිණ වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පවසා ඇති බවද, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, රටේ දේශපාලන වාතාවරණය ස්ථාවර කිරීමට පියවර ගන්නා මෙන් එරට හමුදාව විසින් යුක්රේන ජනපති වික්ටර් යනුකොවිච්ගෙන් ඉල්ලීමක් කරන ලදී.

Android ප්‍රතිශතය සියයට 79 ක් දක්වා ඉහළට

2013 වසර ඇතුළත් සියලු නිෂ්පාදකයින් අලෙවි කළ ස්මාට්ෆෝන් ප්‍රමාණය මිලියන 990 ක් ලෙස දැක්වෙනවා. එය 2012 වසරේ දැක්වූ මිලියන 700 ට පසු ගැනුණු විශාල ඉදිරි පිම්මක්. මෙම ස්මාට්ෆෝන් අලෙවිය ඇතුළෙ ඉන්න ප්‍රධානම ජයග්‍රහකයා ලෙසින් වාර්තාවන්නේ Android මෙහෙයුම් පද්ධතියයි. එයින් අදහස් වන්නේ සෑම ස්මාට්ෆෝන් පහකින්ම හතරක්ම ඇන්ඩ්‍රොයිඩ් මගින් බලගැන්වෙන බවයි. එසේම එය Apple සහ Microsoft සමාගම් එක්ව නැව්ගත කරන ස්මාට්ෆෝන් ප්‍රමාණය මෙන් සිව්ගුණයක් ස්මාට්ෆෝන් තුළ ධාවනය වන බවයි.

කෙසේ වුවත් Ubuntu Touch, Firefox Os සහ Tizen වැනි ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධති නිසා මෙම වසරේදී Android ඉහළ නැග්ම ප්‍රතිශතාත්මක වශයෙන් යම් පහළ අගයක් ගනු ඇතැයි විශ්ලේෂකයින් විශ්වාස කරනවා. Apple ios ටත් වඩා සැලකිය යුතු තරමක් පසුපසින් සිටින Microsoft හී Windows Phone ද නව වෙනස්කම් සහිතව එනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

නොරොච්චෝල යථාතත්ත්වයට ගැනීමට චීන සමාගමෙන් සහතිකයක්

නොරොච්චෝල ගල්අඟුරු විදුලිබලාගාරය යථාතත්ත්වයට පත්කර ගැනීම සඳහා සියලු විධිවිධාන යොදන බවට එය ඉදිකළ චීන සමාගම සහතික වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නොරොච්චෝල ගල්අඟුරු විදුලිබලාගාරය ඉදිකළ China Machinery Engineering Corporation (CMEC) සමාගමේ ප්‍රධානීන් හා එහි ඉදිකිරීම් සඳහා දායකවූ සෙසු සමාගම්වල නියෝජිතයන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අද (31දා) එම අමාත්‍යාංශයේදී හමුවී පැවැත්වූ සාකච්ඡාවේදී මෙම අදහස් පළ කර තිබේ.

ඒ අනුව මූලික වශයෙන් මෙරට ඉංජිනේරුවන්ගේ හා චීන ඉංජිනේරුවන්ගේ ඒකාබද්ධ ක්‍රියාවලියක් ලෙස, ප්‍රථමයෙන් බලාගාරය පූර්ණ නිරීක්ෂණයකට භාජනය කිරීමටත්, ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙරටට ගෙන්වීමටත් පියවර ගන්නා බව CMEC සමාගමේ සභාපති ෂෑන් චුන් මහතා අමාත්‍යවරිය හමුවේ පැවසූ බව කියැවෙයි.

නොරොච්චෝල ගල්අඟුරු විදුලිබලාගාරය පුළුල් විමර්ශනයකින් අනතුරුව අලුත්වැඩියා කටයුතු සිදුකර විදුලිබලය නිපදවීම සඳහා හැකි උපරිමයෙන් ක්‍රියාකරන බවත්, බලාගාරයේ දෙවැනි අදියරද ඉහළ තත්ත්වයක් යටතේ විදුලිය ජනනය සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ෂෑන් චුන් මහතා ඇතුළු පිරිස මෙහිදී අමාත්‍යවරිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවේ එකඟතාව පළකර ඇති බවත් වැඩිදුරටත් පැවසෙයි.

මෙම හමුවට, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී. ප්‍රදිනාන්දු, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී.ගනේගල, සාමාන්‍යාධිකාරී ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, අමාත්‍යංශ අතිරේක ලේකම් ජේ.එම්.කේ.ජයසේකර, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී එම්.සී.වික්‍රමසේකර, චීනයේ CMEC සමාගමේ උප සභාපති ලි චාඕ යංග් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටි බව කියැවෙයි.

මතුගම ඩිපෝවේ දේපළ අයථා පරිහරණයට මැකෝ තරවටු කරයි

මතුගම ඩිපෝවේ මහජන දේපළ අයථා පරිහරණය සම්බන්ධයෙන් කැෆේ සංවිධානය විසින් යොමු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි අවධානය යොමුව තිබේ.

‘මතුගම ඩිපෝවේ බස්රථ 80න් 55ක නීති විරෝධී පෝස්ටර් සහ ස්ටිකර් අලවා ඇත්නම් මෙම ඩිපෝවේ කෙබඳු පාලනයක් පවතීද යන්න ප්‍රශ්ණයක් බවත්, මහජන දේපළ අයථා පරිහරණයට ඉඩදී තිබීම සම්බන්ධයෙන් ඔබ ඇතුළු ඊට අදාළ නිලධාරීන් වගකිව යුතු බවටත්’ කොමසාරිස්වරයා ලිපියක් මගින් මතුගම ඩිපෝ කළමනාකරුට අවධාරණය කර ඇති බව කැෆේ සංවිධානය පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් සහ සේවකයන් අවස්ථා කිහිපයකදීම දේශපාලන හා මැතිවරණ කටයුතු සඳහා මහජන දේපළ යොදාගෙන ඇති බව කැෆේ සංවිධානය විසින් මීට පෙරද අවධාරණය කරන ලදී.  මේ අතර, අද (31දා) මතුගම පැවැත්වෙන උත්සවයක් සඳහා ලංගම සේවකයන් යොදවා ගැනීමට ගත් උත්සාහය කැෆේ සංවිධානයේ මැදිහත්වීම මත අවසන් මොහොතේ ඉවත් කර ගනු ලැබූ බවද එම සංවිධානය පවසයි.
කෙසේ වෙතත්, මැතිවරණය ආරම්භයේදීම මහජන දේපළ අයථා පරිහරණය වැලැක්වීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි කැෆේ සංවිධානය සිය සතුට පළ කරයි.

වරකාපොල බස් අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබති

වරකාපොල ප්‍රදේශයේ අද දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

වරකාපොල අඹේපුස්ස ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක්, බස් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තුවාලකරුවන් වරකාපොල හා කැගල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ආබාධිත වූවන්ට කෘත්‍රිම පාද දේශීයව නිපදවා ලොව දිනූ අරුණ

ආබාධිත තත්ත්වයට පත්වූවන්ට කෘත්‍රිම පාද නිර්මාණය කිරීමේ දේශීය කර්මාන්ත ආයතනයක් වන කළුතර, නාගොඩ අවාස් පෞද්ගලික සමාගමේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (31දා) නිරීක්ෂණය කරන ලදී.

දේශීය නිර්මාණකරුවෙකු වන අරුණ සමරවික්‍රම මහතා විසින් මෙම කෘත්‍රිම පාද නිර්මාණය කරන අතර, ඔහුගේ නිර්මාණයන් ජාත්‍යන්තර සම්මානයෙන් පවා පිදුම් ලබා ඇත.

2005 වසරේදී විශිෂ්ඨතම නව නිපැයුම ලෙස ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලැබීමට අරුණ සමත් විය. 2007 වසරේදී ස්විට්සර්ලන්තයේ පැවති 35 වැනි අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියේදී රටවල් 143ක නව නිපැයුම්කරුවන් අභිභවමින්, ලොව විශිෂ්ඨතම නම්‍යශීලී කෘත්‍රිම පාදය ලෙස ඔහුගේ නිර්මාණය රිදී සම්මානයට පාත්‍ර විය.

මේ සුවිශේෂී ශ්‍රී ලාංකීය නිර්මාණකරුවාගේ, අවාස් පෞද්ගලික සමාගමේ නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීමටද අමතක නොකළේය.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද, අවාස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අරුණ සමරවික්‍රම මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඇමෙරිකාවට ශ්‍රී ලංකාවට එරෙහි න්‍යාය පත්‍රයක් නෑ – බිස්වාල්

සැරව ගලන තුවාලයක් බවට පත්විය හැකි සහ නැවත ගැටුම් ඇතිවිය හැකි අතීත යුද තුවාලයෙන් ඔබ්බට තවමත් ශ්‍රී ලංකාව ගමන් කර නොමැති බවට අදහස් පවතින බවත්, ජාත්‍යන්තර ප්‍රජාවේ කිසිවෙකු එවැනි තත්ත්වයක් බලාපොරොත්තු නොවන බවත්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මිය පවසා සිටියාය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙම අදහස් දක්වා සිටියේ අද (31දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සමග පැවති සාකච්ඡාවේදීය.

කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවට එරෙහි න්‍යාය පත්‍රයක් නොමැති බව අවධාරණය කළ සහකාර ලේකම්වරිය, එනමුදු, ඇමෙරිකාව සොයාගෙන ඇති තක්සේරුකිරීම් මත ඇතැම් කාරණා සම්බන්ධයෙන් යම් බලකිරීමක් කිරීමේ හැකියාව ඔවුන්ට ඇති බවද පෙන්වා දුන්නාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, මෙසේ මතුකර දක්වන ඇතැම් කාරණා ආමන්ත්‍රණයට ශ්‍රී ලංකීය ක්‍රියාවලියක් යොමුකරවන ලෙස ඇමෙරිකාව ඉල්ලා සිටි බවයි. එනමුදු, එසේ ලබාදුන් ඉඩප්‍රස්ථා ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බවට අදහස් පවතින්නේ යැයිද ඇය සඳහන් කළාය. 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සමග ධනාත්මක සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට ඇමෙරිකාවට අවශ්‍ය බවත්, එය ක්ෂේත්‍ර රැසක් හරහා පවත්වාගෙන යා යුතු බවත් සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මිය මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා සිටියාය.

වේයන්ගොඩ ගබඩාවකින් කල් ඉකුත් වූ නාඩු කිලෝ 85000 ක් අල්ලයි

වේයන්ගොඩ ප්‍රදේශයේ රජයේ ගබඩාවක් කුලියට ගෙන සහල් ගබඩාවක් පවත්වාගෙන ගිය පෞද්ගලික ව්‍යාපාරිකයෙකු සතුව තිබූ කල්ඉකුත් වී, ගුල්ලන් ගැසූ නාඩු සහල් කිලෝග්‍රෑම් 85,000 ක් සොයාගැනීමට පාරිභෝගික අධීකාරිය අද (31දා) සමත් වී තිබේ. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 51කට වඩා වැඩි බවට ගණන් බලා ඇත. 

නිපුන් ඒකනායක

වයඹ එළවළු පළතුරුවලට වසවිස බෑ

වයඔ පළාතේ නිෂ්පාදනය කරන එළවළු පලතුරුවල විස සහිත දේවල් තිබුණොත් දැඩි පියවර ගන්නා බව වයඹ ප්‍රධාන අමාත්‍ය දයසිරි ජයසේකර මහතා අද (31දා) වයඹ පළාත් සභාවේදී පැවසීය.

පෝෂ්‍යදායි දේශීය ආහාර සහ දේශීය ඖෂධ භාවිතය ප්‍රචලිත කිරීම සම්බන්ධව පැවති වැඩමුළුවකදී ජයසේකර මහතා මේ බව පැවසීය.