Monthly Archives: December 2013

රන්ජන් බස්නාහිරින් මහ ඇමති තරගයට

 

එක්සත් ජාතික පක්ෂයේ බහුතර පිරිසකගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවෙන් ඉවත්වී බස්නාහිර පළාත් මහා ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට අදහස් කරමින් සිටින බව රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙක් වශයෙන් උපන් බල ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ගොස් පළාත් සභා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී විශාල ජයක් ලැබූ බවත්, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූයේද උපන් බල ප්‍රදේශයෙන් පිටත සිටිමින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේනිසා උපන් පළාත තුළදී සහ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් මහ ඇමති තනතුරුට තරග වැදීමට සුදුසුම පුද්ගලයා තමා බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය. මෙම අදහස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉදිරිපත් කළ බවත්, ඒ අනුව අවස්ථාවක් ලැබුණහොත් බස්නාහිර පළාත එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකිවන බවද රාමනායක මහතා සඳහන් කළේය.

මීට අමතරව පක්ෂයේ බහුතර පිරිසක් තමන්ට උදව් උපකාර කරන බවත්, මේ උදව් උපකාර මත සහ ප්‍රතිපත්ති ගරැක දේශපාලනඥයෙක් වශයෙන් ජනතාවට තමා සමග සිටින නිසා මහ ඇමැති තනතුරු ලබා ගැනීමට හැකි වීම අනිවාර්යය බවද ඒමහතා වැඩිදුරටත් පවසා සිටියේය.   

පිල්ලේගේ මානව හිමිකම් වාර්තාව මාර්තු 26 දා

ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිලේලේ මහත්මිය විසින් සකස් කළ වාර්තාව මාර්තු මස 26 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජීනිවා නුවරින් වාර්තා වෙයි.

මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය එළැඹෙන වසරේ මාර්තු මස තුන්වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එම සැසිවාරය පැවැත්වෙන අතරතුර එනම් මාර්තු මස 26 වැනිදා මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය. එය ඔවුන්ගේ න්‍යාය පත්‍රයටත් එක්කර ඇත.

මාර්තු මාසයේදී පැවැත්වෙන්නේ මානව හිමිකම් පිළිබඳ 25 වැනි සමුළුව වන අතර, ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති 24 වැනි මානව හිමිකම් සමුළුවේදී නවනීදන් පිල්ලේ විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳව වාචික  ප්‍රකාශයක් කරනු ලැබූ අතර, එහිදී ඇය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් ගැටලු විසඳීම සඳහා එළැඹෙන වසරේ මාර්තු මාසය දක්වා කාලසීමාවක් ලබාදෙන බවයි.

ශ්‍රී  ලංකාවට හෝ වෙනත් රටකට එරෙහිව යෝජනාවලියක් ගෙන එනවානම් එය බොහෝදුරට සමුළුව අවසානයේදී ඉදිරිපත් කරනු ඇතැයිද ජිනීවා වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ගෙන එනවානම් ඒ සඳහා බ්‍රිතාන්‍යයේද සහායක් ලැබෙනු  ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. නමුත් මෙරටදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙරට ගැටලු විසඳීම සඳහා කිසිවෙකුටත් කාලසීමාවක් ලබා දිය නොහැකි බවත්, අපටම අනන්‍යවූ ක්‍රියාවලියක් යටතේ ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බවයි.

අපරාධකරුවන් හඳුනාගැනීමේ අලුත් ක්‍රමවේදයක්

යම් කිසි පුද්ගලයෙකු ප්‍රාණ ඇපකරුවෙකු ලෙසින් තබා ගන්නා අවස්ථාවකදී හෝ ලිංගික පීඩාවකට පත් කරන අවස්ථාවකදී ලබාගත් ඔහුගේ හෝ ඇයගේ මුහුණේ ඡායාරෑපයක් ආධාරයෙන් එම අපරාධකරුවන් හඳුනාගත හැකි අලුත්ම ක්‍රමයක් පිළිබඳව යෝක් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් කර තිබෙනවා.

මෙහිදී සිදුවෙන්නේ එම පීඩාවට පත්වෙන්නාගේ ඇසෙහි කණිනිකාවේ සටහන්වන තමන්ගේ ඉදිරියෙන් ඇති පුද්ගලයන්ගේ පරාවර්තිත ඡායාරූප ආධාරකරගැනීමයි. අපගේ ඇසක කණිනිකාව සෑම විටකදීම කලුපැහැති කණ්නාඩියක් ලෙස ක්‍රියා කරන බව මෙම අධ්‍යනයේ ප්‍රධාන පර්යේෂකයා වන වෛද්‍ය ජෙන්කින්ස් පවසා සිටිනවා.

ඒ අනුව අප ආගිය තැන්, අප ගනුදෙනු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඡායාරූපවල ඇති ඇස්මගින් අනාවරණය කෙරෙන බව ඔහු සඳහන් කරනවා.අඩු විභේදනයක් හෙවත් ලෝ රෙසලියුෂන් සහිත පාස්පෝට් ඡායාරූපවලදී පවා මෙවැනි විස්තර සොයා ගත හැකි බව පැවසෙනවා.මේවා ආධාරයෙන් අපරාධකරැවන් සොයා යන පොලිසියට බොහෝ උදව් උපකාර ලැබෙන බවත් වෛද්‍ය ජෙන්කින්ස් පවසනවා.

මේ අධ්‍යනයන සඳහා ග්ලැස්ගෝ විශ්වවිද්‍යාලයේද සහාය හිමිව තිබෙන අතර මෙහිදී පුද්ගලයින් අට දෙනෙකු ඉදිරියේ තවත් සිව් දෙනෙකු තබා ගනිමින් ඡායාරූප අටක් ගෙන  තිබෙනවා. එහිදී අවස්ථා 84% කදී ඔහු හෝ ඇය ඉදිරියෙන් සිටින පුද්ගලයින් කවුද යන වග කණිනිකාවේ පරාවර්තනය වන ඡායාරූපය හරහා ගඳුනාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

එය සාර්ථක නොවූ තැන දෙවැනි ඡායාරූපයත් සසඳමින් සිදුකළ පරීක්ෂණයේ සියයට 71ක් සාර්ථකවී තිබෙන බව සඳහන් වෙනවා. ඉංග්‍රීසියෙන් පියුපිල් ලෙසින් හැඳින්වෙන කණිනිකාව යන්න පැමිණ ඇත්තේ ලතින් භාෂාවේ ඇති පියුපිලියා යන වචනයෙනුයි. එහි තේරැම වෙන්නේ තරැණිය හෝ බෝනික්කිය යන්නයි. ඒ අනුව මෙහිදීත් යමෙකුගේ කනිනිකාව දෙස බැලූ විට එහිදී අපට කුඩා බෝනික්කියකගේ ආකාරයේ පෙනීමක්  දැකගත  හැකි වන බව මෙම පර්යේෂකයින් පවසනවා.

ඊජිප්තු ගැටුම් අතරතුර විශ්විද්‍යාලයකට ගිනි තබයි

ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් සහ පොලිසිය අතර  ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමගම එරට කයිරෝ නුවර පිහිටි අල්-අෂාර් විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකටද ගිනි තබා ඇතැයි වාර්තාවෙයි. මෙම අවස්ථාවේදී එල්ල වුණු ප්‍රහාරයකින් එක් විශ්වවිද්‍යාල සිසුවෙකුද මරණයට පත්විය. මෙම ගැටුම්වලින් පසුව 101 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලසිය පවසයි. සෙනසුරාදා සවස් වෙද්දී ගින්න පාලනය කිරීමට හැකි වූ අතර එහි පැවැත්වීමට නියමිතව තිබූ විභාග කීපයක්ම කල්දැමූ බව විශ්වවිද්‍යාල බලධාරිහු සඳහන් කරති.

නැවු ටොක්ස්ලාගේ වලිය

වත්මන් තරුණ්‍යය අලුත් අලුත් දෑ සොයායෑමට ඉමහත් උනන්දුවක් දක්වති. විවිධ ක්ෂේත්‍රයන් හී ඔවුන් සිදුකරන නිර්මාණ දකිනවිට අපට මෙය මැනවින් පසක් වේ. ඒ අතරින් නාට්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට උත්සහ දරමින් අන්තර්ජාලයේ Youtube හරහා  නිර්මාණ කරන තරුණයෙකු අපට මුණගැසුණි. සචිත්‍ර යෂ්මින් නම් වූ ඔහු Youtubeහරහා නැව් ටෝක්ස් (Nauw talks) නමින් කතා මාලාවක් ගෙන එනු ලබයි. මේ ඒ පිළිබඳව ඔහු සමග කළ කතාබහකි.

අන්තර්ජාලයේ Youtubeහරහා විකාශය වන නැව් ටෝක්ස්

අපි මුලින්ම මේ සඳහා විනාඩි 05 ක නිර්මාණයක් තමයි කළේ. එයට චරිත තුනක් ඇතුළත් වුණා. එහි අඩුපාඩු හඳුනාගෙන දෙවැනි නිර්මාණය හොඳින් සැලසුම් කළා. 'The වලිය' නම් වූ එය විනාඩි 12 ක නිර්මාණයක්. එයින් තමයි අපිව ගොඩක් ප්‍රසිද්ධ වුණේ. එය දැනට 22,000 ක පමණ පිරිසක් නරඹලා තියෙනවා. . අපගේ තුන්වන නිර්මාණය විනාඩි 40 ක නිර්මාණයක්. එය ඉදිරිපත් කරලා දැන් සති කිහිපයක් වෙනවා. 'බොරු කලබල' ලෙසිනුයි එය නම් කළේ. අපි හතරවෙනි කතා මාලාව මේ දිනවල සූදානම් කරමින් සිටිනවා.

ලංකාවෙත් වෙනසක් කළහැකි නිර්මාණකරැවෝ ඉන්නවා කියලා පෙන්නන්න වුවමනා වුණා

අපිට අවශ්‍ය වුණා මෙවැනි වෙනස් දේ කළ හැකි පුද්ගලයෝ ලංකාවේ ඉන්නවා කියල පෙන්වන්න. මොකද අපි අන්තර්ජාලය තුළදී දුටුවා මේ ආකාරයේ චිත්‍රපට හදලා විකාශනය කරනවා. ඒ වගේම YouTubers (Youtube භාවිත කරන්නන්) කියල පිරිසක් ඉන්නවා. ඔවුන් මෙවැනි චිත්‍රපට නිර්මාණය කරලා Youtube වෙතට මුදාහරිනවා. මේවා දුටුවාම අපට හිතුණා යමක් කළ යුතුයි කියලා.

ලාභ ඉපයීමට කිසිම අදහසක් නැහැ.

නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන්න කවුරුත් අපිට නැහැ. අපි සියලුදෙනා එකතුවෙලා අඩු පිරිවැයකින් උපරිම නිර්මාණයක් කිරීමේ අරමුණින් මුදල් යොදවලා තමයි මෙය නිෂ්පාදනය කරන්නේ.ඒ වගේම මෙවැනි දෙයක් තුළින් ලාභ ඉපයීමට අපේ කිසිම අදහසක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නෙ හොඳ නිර්මාණයක් කිරීමට පමණයි.

තාක්ෂණයඋපරිමයෙන් යොදාගන්න බලාපොරොත්තු වෙනවා

මුල්ම නිර්මාණයට අපි භාවිත කළේ එකම කැමරාවක් පමණයි. පළමු නිර්මාණයේදී ශබ්දය නිවැරදිව පටිගත කරගැනීමට නොහැකි වුණා. දෙවැනි නිර්මාණය සඳහා උපකරණ තරමක් යොදාගත්තා. අපගේ තුන්වැනි නිර්මාණයට කැමරා දෙකක් සහ තාක්ෂණයද උපරිමයෙන් යොදාගත්තා.  ඊළඟ නිර්මාණයටත් එවැනි සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා.

අපේ නිර්මාණ Youtube වලට පමණක් නොවේ

Youtubeවලට අමතරව අපගේ නිර්මාණ ලබාදෙන්න තවත් ස්ථාන තිබෙනවද කියල අපි දන්නෙ නැහැ. රෑපවාහිනී ආයතනයකට අපගේ මෙම 'නැව් ටෝක්' ලබාදෙන්න කටයුතු කළත්, ඔවුන් පැවසුවේ මෙය අඩු කාල සීමාවකට කෙටිකරන ලෙසයි. එසේ කළ නොහැකි නිසා අපි එය ප්‍රතික්ෂේප කළා. කතාමාලාවක් ලෙස ඉදිරිපත් කරන මෙවැනි නිර්මාණ සඳහා තරග පවත්වනවා නම් අපි සූදානම් එම තරගවලට මෙය ඉදිරිපත් කරන්න.

නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙනවා

අපි ගීතයකට රූප රචනයක් කළා. එයත් සාර්ථක වුණා. ඒ වගේම අපගේ 'නැව් ටෝක්ස්' කතා මාලාව ඉදිරියට කරගෙන යන්නත්, නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා.

සිනමා නිර්මාණයක් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා

චිත්‍රපටයක් දක්වා යාමට බලාපොරොත්තුව තිබෙනවා. නමුත්, එයට අවශ්‍ය පසුබිම තාම අපට නිර්මාණය වෙලා නැහැ. තවම අපි මුල්මට්ටමේ ඉන්නෙ. අපේ අඩුපාඩු ක්‍රමයෙන් ඉවත්කරගනිමින් චිත්‍රපටයක් දක්වා යාමට බලාපොරොත්තු වෙනවා.

අප කණ්ඩායම

අපගේ රංගන ශිල්පීන් ලෙස, සචිත්‍ර යෂ්මින්ද (ජැකා), රවිඳු පසන් (බූටා) දුලන්ජන් රෂ්මින්ද, චුලිත හර්ෂණ, ඩිලාන් සම්පත්, උදාර මදුසංඛ කටයුතු කරනවා. කැමරාකරණය නිර්මාල් කැටගොඩ සහ ගිහාන් විසිනුත්, සංස්කරණය පසිඳු පෙරේරා විසිනුත්, මලිත් තාරක කලා අධ්‍යක්ෂණයෙනුත්සහභාගී වෙනවා.

ඉදිරියට යාමට කවුරුන් හෝ උදව් කරනවානම් එයට කැමතියි

කවුරැන් හෝ අපට නිෂ්පාදනයෙන් හෝ දැනුම ලබාදීම අතින් උදව්කරනවානම් අපි කැමතියි ඒ ඕනෑම දෙයක් සතුටින් භාරගැනීමට. ඒ වගේම Youtube හරහා Nauw talks ලෙස ටයිප්කර අපගේ නිර්මාණ නැරඹීමට හැකි අතර,Face Book අඩවියේ Nauw talks පිටුව හරහා අපව සම්බන්ධකර ගැනීමටත් පුළුවන්කම තිබෙනවා.

 

අදහස් දක්වපු සියලු දෙනාටම අපගේ ස්තූතිය

විශේෂයෙන්ම අපේ Nauw talks නිර්මාණ අන්තර්ජාලයේ Youtube හරහා නරඹලා අපිට අදහස් දක්වපු සියලු දෙනාටම අපගේ ස්තූතිය පුදකරනවා. ඒ වගේම පළමු නිර්මාණයේදී අපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස සහයෝගය දුන් සඳුන් සමීර සහෝදරයාටත්, ජනරංග බණ්ඩාර/ජනංග ජයකොඩි, නිමල් වර්ණකුලසූරිය ඇතුළු මගේ පවුලේ ඥාතීන්ටත්, විශේෂයෙන්ම පුංචි අම්මලා දෙපළට වගේම, අපි පිළිබඳව රටට කියන්නට ඉදිරිපත් වූ 'අද'  පුවත්පතටත් අපි ස්තූතිවන්ත වෙනවා. මෙතෙක් සිදුකළ නිර්මාණ සඳහා සහභාගී වූ සියලුම ශිල්පීන්ට ස්තුතිවන්ත විය යුතුයි. 

ඡායාරූප මිහිර බණ්ඩාර දිසානායක

උත්සව සමයේදී සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක්

පාරිභෝගිකයන් සඳහා උත්සව සමයේදී සහන මිලට පොල් අලෙවි කිරීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය, හලාවත වැවිලි සමාගම, පොල් සංවර්ධන  අධිකාරිය සහ පොල් වගාකිරීමේ මණ්ඩලය එක්ව කටයුතු යොදා ඇති බව පෙන්වා දෙයි.

ඒ අනුව කොළඹ 01, ඩියුක් වීදිය, අංක 11 දරන තැන පිහිටි හලාවත වැවිලි සමාගම, නාරාහේන්පිට නාවල පාරේ පිහිටි පොල් සංවර්ධන අධිකාරිය සහ බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ස්ථාපිත කර ඇති විශේෂ වෙළෙඳ කුටි තුළින් සහනදායී මිලට පොල් ලබාගත හැකි බව පැවසෙයි.

ඒ අනුව මෙහි අලෙවි වන පොල් ගෙඩියක උපරිම මිල රැ.45/- කි. ජනවාරි මස මැද භාගය තෙක් මෙම අලෙවිසැල් හරහා මිලදී ගැනීම් සිදුකළ හැකි බව වැඩිදුරටත් පැවසෙයි.

සුරක්ෂිත හෙට දිනකට ‘සෙත් සුව මැදුර’

ශ්‍රී ලාංකීය ජනතාවට වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමේ අරමුණින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානය එක්ව ආරම්භ කරන ලද 'සෙත් සුව මැදුර' සුරක්ෂිත ආහාර මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගිය 29වැනිදා පෙරවරුවේ විවෘත කෙරිණි.

මෙහිදී, පෝෂණ කරුණු පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් එළිදැක්වුණු www.healthysrilanka.lk වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර, ප්‍රවීන සූපවේදී පබිලිස් සිල්වා මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද සිදුවිය.

 

සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය දරණාගම කුසලදම්ම හිමිපාණන් වහන්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල ජයතිලක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය යන මහත්වරැන්ද, ත්‍රිවිධ හමුදාපතිවරැන් හා පොලිස්පතිතුමා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

'ඉත්ථි දුත්තෝ, සුරා දුත්තෝ, අක්ථ දුක්තෝච තෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං පරාභවතෝ මුඛං'  යනුවෙන් පරාභව සූත්‍රයේ ධර්ම පාඨයක් සඳහන් වේ. ඉන් කියවෙන්නේ යම් පුද්ගලයෙක් ස්ත්‍රියට, සුරාවට, සූදුවට ලොල්වේ නම් ඔහු පිරිහීමට ලක්වන බවයි. ඒ අයුරින් රටක නායකයෙකු හැසිරේ නම් එම රටේ සමාජයේ පරිහානිය ඇතිවීම  අනිවාර්ය බවද එම දේශනාවෙන් පෙන්වා දෙයි.

පරාභව සුත්‍රය හා රටක පරිහානිය පිළිබඳ සටහන් කරන ලද්දේ මත්කුඩු, කැසිනෝ, ගණිකා වෘත්තීය ගැන මේ දිනවල සමාජය හරි හරියට කතා කරන බැවිනි.දකුණු ආසියාවේ විශාල මත්කුඩු තොගය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගැනීමත් සඳහා අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ කඹ ඇදීමත් සමග සාමාජයේ ඇස් ඇරෙන්නට විය. ඒ සමග මත්කුඩු ජාවාරම්වල අලගිය තැන් මුලගිය තැන් සොයන්නට ආරක්ෂක අංශවලද වැඩි අවධානයක් යොමු වූ අතර, ඒ ගැන දිනෙන් දින අලුත් පුවත් මැවෙමින් පවතී.

පසුගියදා, පැවැති ගංගොඩවිල සෝමහිමියන්ගේ දසවැනි ගුණානුස්මරණ උත්සවයේ ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් අගමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමත් සමග මේ පිළිබඳ සමාජයේ අවධානය දෙගුණ තෙගුණ විය. එසේම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ කුඩු ව්‍යාපාරිකයන් සිටින බවට කළ ප්‍රකාශයත් සමග තවත් දිසාවකට කුඩු කතාව ඇදී ගියේය.

ඒ ගැන ප්‍රකාශයක් කරමින් ඕමල්පේ සෝභිත හිමියන් ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබුණේ මංගල සමරවීර මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව අදාළ නම් හෙළි නොකරන නිසා ඔහු අත්අඩංගුවට ගෙන අදාළ තොරතුරු ලබා ගන්නා ලෙසයි. ආරම්භයේ පෙන්වා දුන් පරිදි ධර්මයේ සඳහන් වන්නේ යම් රටක ධූර්ත භාවය ක්‍රියාත්මක වේ නම් ඒ රට පිරිහීමට ලක්වෙන බවයි. ඕනෑම ආයතනයකට, පවුලකට, සමාජ සංස්ථාවකටද එය අදාළ වෙයි. උපයන ලද සියලු සම්පත් පිරිහීමට ලක්වන බවත්, ඒ තුළින් විනාශය ළඟාවන බවත් ධර්මයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ රටේ මහජනතාවට අයත් රුපියල් කෝටි 3000 ක මුදලක් කිරිපිටි සඳහා පිරටට ඇදී යන බව පැවැසේ. එහෙත් මත්කුඩු ගෙන්වීම සඳහා එමෙන් දහ පහළොස් ගුණයක මුදලක් වියදම් කරන බව දැනට ගණන් බලා තිබේ. මේ සියල්ල මෙරට ජනයා විවිධ රැකියා කොට උපයාගත මුදල්ය. රටේ සංවර්ධනයට තිබෙන මුදල් මෙසේ පිටරටට ඇදී යද්දී රට අගාධයට යාමත්, පිටරටින් ණය ගන්නට වීමත් පුදුමවිය යුතු දේවල් නොවේ. බොහෝ විට මේ මුදල් පාකිස්තානය, ඇෆ්ගනිස්තානය වැනි රටවලට ඇදී යන බව සඳහන් වේ.

මුදල් අහිමිවීම පමණක් නොව සෞඛ්‍ය, සමාජ සාරධර්ම ඇතුළු සියල්ලම පිරිහෙන බව නොකියා බැරිය. අද මේ රටේ විශාල වශයෙන් ළමා අපචාර වාර්තා වන්නේ කුමන කරැණක් නිසාද?  පියාගෙන් දරුවා බේරාගන්න බැරි තත්ත්වයට සමාජය පත්වී තිබේ. පරිවාස කොමසාරිස්තුමිය  පසුගියදා ප්‍රකාශ කර තිබුණේ නිවස දරුවාට ආරක්ෂිත ස්ථානයක් නොවන බවයි. එසේ වූයේ ඇයි? මෙවැනි තත්ත්වයක් තුළ දරු පරම්පරාව ආරක්ෂා කර ගන්නේ කෙසේද?

'වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව' යනුවෙන් අපේ පැරණි කියමක් තිබේ. දැන් එය වෙනස් කිරීමට කාලය උදාවී තිබේ. තාත්තාගෙන්, සහෝදරයාගෙන් දියණිය, සහෝදරිය ආරක්ෂා කරගත නොහැකි නම් ඒ සමාජය කොතරම් අවාසනාවන්ත එකක්ද? අප සමාජයට චෝදනා පිට චෝදනා, විවේචන පිට විවේචන එල්ල වෙන්නේ දේශපාලඥයන්ගේ නොපහන් ක්‍රියාකරන නිසාය. සමාජයට දෙනු ලබන වැරදි ආදර්ශ නිසාය. වැරදි ක්‍රම මගින් මුදල් සෙවීමට උත්සාහ කිරීම එයට හේතු වී තිබේ.

අද වනවිට මතට තිත යන්න සම්පූර්ණ මුලාවක් බවට පත්ව තිබේ. සෑම දෙයකටම මත්පැන් අවශ්‍යය. කලින් තිබූ කසිප්පු ව්‍යාපාරවලට වඩා දැන් දැන් සුපිරි ගණයේ තැබෑරුම් පහළ වී ඇත. සුපිරි වෙළෙඳ සැල්වලට සීමා රහිතව තැබෑරුම් කරගෙන යෑමට අවසර ලැබී තිබේ. මේවා කරන්නේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු නොවේ. බලය, ධනය හිමි මාධ්‍ය හරහා සුදුවතින් සැරසී පෙනී සිටින, සාදු චරිත ලෙස සිටින පුද්ගලයන් බව ප්‍රසිද්ධ රහසකි.

මතට තිත නැමැති ප්‍රතිපත්තිය දැන් ක්‍රියාත්මක නොවන බව අගමැතිවරයා මෙන්ම බුද්ධ ශාසන ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් කටයුතු කරන ආකාරයෙන් පෙනී යයි. මේ ගැන අදහස් දක්වමින් ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් පැවසූයේ අගමැතිවරයාගේ පුත්‍රයා වන අනුරාධ ජයරත්න මහතා ඉකුත් මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී කුඩු ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා තිබූ බවයි.

මෙයට අමතරව මැතිවරණවලදී කෝටි ගණන් වියදම් කරන දේශපාලඥයන් පිළිබඳව සොයා බැලිය යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙති. සාමාන්‍ය මන්ත්‍රීවරුන් ලෙස හිඳිමින් මෙලෙස කෝටි ගණන් වියදම් කිරීමට ඔවුන්ට මුදල් ලැබෙන්නේ කුමන මාර්ගවලින්ද යන්න සෙවීම රජයට අයත් කාර්යක් බවද උන්වහන්සේ අවධාරණය කළහ.මේ ගැන මහජනයා විමසන්නේ පාර්ලිමේන්තුවේ සිටින කුඩු ව්‍යාපාරිකයන් කවුද යන්න ඉක්මනින් හෙළිදරවු කරන ලෙසයි.

මක්නිසාදයත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී කුඩුකාරයන් කවුද?, නොවෙන්නේ කවුද? යන්න හඳුනාගැනීම අවශ්‍ය බැවිනි. කථානායකතුමා ඉතා ඉක්මනින් මැදිහත් වී එම කටයුත්ත කරන්නේ නම් යහපත් බව ජනතාවගේ අදහසයි. 

ජාතික හෙළඋරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

“අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩලයට අයිති අයගෙන් කිසිදු තොරතුරක් මේ දක්වා ලබාගෙන නැහැ. ඒක බරපතළ අඩුවක්. ඔය සම්බන්ධීකරණ ලේකම්වරයා කියන්නේ කුඩු කන්ටේනරය නිදහස් කරන්න නොවෙයි. වෙනත් බඩුවගයක් නිදහස් කරන්න ලියුමක් දුන්න බවනේ. මේක ඉතාමත් කපටි, ප්‍රයෝගකාරී පිළිතුරක්. මම කුඩු කන්ටේනරයක් ගෙනාවා. ඒ හින්දා ඒක නිදහස් කරන්න කියන මෝඩයා කවුද? කොයි හොරාද කියන්නේ තමන් හොරකම් කළා කියා. වැඩේ ඔප්පු වෙනකම්ම හොරකම පිළිගන්නේ නැහැනෙ.

දැන් පාර්ලිමේන්තුවේ කුඩු ව්‍යාපාරිකයො ඉන්න බව ඔප්පු වෙලා තියෙනවා. මේක ඇත්ත කියලා අපි පිළිගන්නවා. ඒ මොකද වගකිව යුතු මන්ත්‍රීවරයෙක් කියපු නිසා කුඩුවලින් යැපෙන අය මේ උත්තරීතර ආයතනයේ ඉන්න බව ඒකෙන් පේනවා. මෙතනදී ප්‍රධාන වගකීම කථානායකවරයාට තියෙනවා. එතුමා මූලාසනය දරන මේ පුජනීය ස්ථානයේ ගෞරවය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක විය යුතුයි. එතැනදී මේක ඇතුළේ ඉන්න කුඩුකාරයෝ කවුද කියලා මංගල සමරවීර හරහා හෙළිදරව්කරගත යුතුයි.

එසේ නොවන්නේ නම් කථානායකවරයා ඇතුළු සියලු දෙනා කුඩුකාරයෝ බවට පත්වෙනවා. මේ නම් හෙළිදරව් නොකරන තාක්කල් ඒ චෝදනාව කථානායකවරයාට එල්ල කිරීමට සිදුවෙනවා. කථානායකවරයා සදාචර ගරුක අයෙක් නම් රටේ නීතියට ගරුකරනවා නම් වහාම මංගල සමරවීරට බලකිරීම අවශ්‍යයි. වහාම මේ නම් හෙළි කළේ නැත්නම් අපිට සේරම මේ වළේ වැටෙන බව කථානායකවරයා මංගල සමරවීරට කිය යුතුයි.

මෙතනදී කථානායකවරයා ෂේප් වෙලා තියෙනවා. මේක මග ඇරලා තියෙනවා. එතුමාට එහෙම කටයුතු කරන්න බැහැ. ඇයි මේ දක්වා වැරදිකාරයෝ හෙළිදරව් නොකරන්නෙ. මේ වේලාවේදී ජාත්‍යන්තරයෙන් අපිට ලොකු බලපෑමක් තියෙනවා මානව හිමිකම් කඩකිරීම්‘ ගැන.

කොළොම්බියාවේ, මෙක්සිකෝවේ වගේ රටවල කුඩු මාෆියාව ආණ්ඩුවට බලපෑම් කරනවා. ඒ මට්ටමට ලංකාවත් වැටිලා. ලංකාව කුඩු තිප්පොළක් වෙලා. කුඩුකාරයෝ පාලන බලයේ ඉන්න රටක් විදියට දැන් චෝදනා එල්ල වෙනවා. ජාත්‍යන්තරයෙන් අපිට තියෙන කුණු මදිවට තව අලුතින් ප්‍රශ්න එකතුවීමක් විතරයි වෙන්නෙ.

අපට මේ සම්බන්ධව ජනාධිපතිවරයාට පෞද්ගලිකව සාකච්ඡා කරන්න බැරිවුණා. නමුත් ඉන් එහා සියල්ලන්ටම කතා කළා. මෙතනදී කථානායකතුමා වගකීමක් කරන්න ඕන. කුඩුකාරයන් කවුරුන්ද යන වග අද ටිකෙන් ටික හෙළිදරව් වේගෙන එනවා."

 

 

ලොව විශාලතම පාවෙන පුස්තකාලය ගාලු වරායේ

ලොව විශාලතම පාවෙන පුස්තකාලය ලෙස හඳුන්වන ලෝගෝස් හෝප් (Logos Hope) නැව මහජන ප්‍රදර්ශනය සඳහා මේ දිනවල ගාල්ල වරාය වෙත පැමිණ තිබේ. 2011 වසරේ මෙම නැව ගාල්ල වරාය වෙත පැමිණි අවස්ථාවේ එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් නැවේ ඇති ප්‍රදර්ශනය නැරඹූ බව වාර්තා වේ.

මෙවර මෙම නැව දෙසැම්බර් 26 වැනි දින සිට ජනවාරි 7 වැනි දින දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා ගාලු වරායේ නවතා තබා ඇත. තට්ටු නවයකින් යුත් මෙම නැව මීටර් එකසිය තිස් දෙකක් දිගය. ජර්මනියේ ලියාපදිංචි අන්තර් ජාතික පුන්‍යාධාර හා සමාජ සංවිධානයක් වන GBA Ships e.V සංවිධානයට මෙම නැව අයත් වේ.

1970 සිට මේ දක්වා ලෝකයේ රටවල් එකසිය හැට හතරක සංචාරය කර ඇති ලෝගෝස් හෝප් නැව ලොව වරායවල් එක්දහස් හාරසියයක පමණ නැංගුරම් දමා තිබේ. දියමත පාවෙන ලෝකයේ විශාලතම පුස්තකාලය යනුවෙන් හඳුන්වන මෙම නැව තුළ ඇති පුස්තකාලයේ වෛද්‍ය විද්‍යාව, භාෂා දර්ශනවාදය, කලාව සහ විද්‍යාව ඇතුළු විවිධ විෂයන්ට අදාළ පන්දහසකට අධික පොත් ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එමෙන්ම දරුවන් සඳහා ශබ්දකෝෂ, සිතියම් සහ පාසලට අවශ්‍ය වෙනත් විවිධ පොත්පත් මිලදී ගැනීමේ පහසුකම් මෙම නැව තුළ ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් හතළිස් පහකට අයත් ජාතීන් නියෝජනය කරමින් හාරසියයක පමණ පිරිසක් මෙහි සේවයේ නිරතව සිටිති. එහෙත් ඔවුන් සියලුදෙනාම ස්වේච්ජාවෙන් සේවය කිරීම විශේෂත්වයකි. ඉංජිනේරුවන්, ජලනළ කාර්මිකයන්, පොත් තබන්නන්, වඩුකාර්මිකයන් සහ අරක්කැමියන් ඇතුළු විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් මෙම කාර්යමණ්ඩලයට අයත්වේ.විවිධ ජාතීන් අතර පවත්නා සංස්කෘතික විවිධත්වය හා එකමුතුකම එම කාර්යමණ්ඩලය විසින් මැනවින් පිළිබිඹු කරනු ලබයි.

ලබන ජනවාරි 7 වැනි දින දක්වා ගාලු වරායේ මෙම නැව නැංගුරම් ලා ඇති කාලය තුළදී සඳුදා සහ අඟහරුවාදා දිනවල පෙ.ව 10.00- ප.ව 3.00 දක්වාද, බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 10.00 – ප.ව 7.00 දක්වාද, ඉරිදා ප.ව.2.00 – ප.ව.7.00 දක්වාද, පොත් ප්‍රදර්ශනය නැරඹිය හැකිය. බදාදා දිනයේ පමණක් නැව වසා තැබේ.නැවට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් සියයකි. වයස අවුරුදු 12 පහළ දරුවන්ට නැව නොමිලේ නැරඹිය හැකිය. එහෙත් ඔවුන් වැඩිහිටියන් සමග පැමිණිය යුතුය.