Monthly Archives: November 2013

මහේලගේ ඉනිමෙන් සභාපතිට ජය

මහේල ජයවර්ධනගේ දක්ෂ පිතිහරඹයත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා  'එ'  කණ්ඩායම පරාජය කර ලකුණු 20 ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 248ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 'එ'  කණ්ඩාමට පන්දුවාර 41.2 අවසානයේ සියල්ලන් දැවී රුස්කිරීමට හැකිවූයේ ලකුණු 227 පමණි.

ශ්‍රී ලංකා 'එ' ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 අවසානයේ ලකුණු 247/7 රුස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ මහේල ජයවර්ධන ලකුණු 84ක් රුස්කරගෙන සිටියදී දුවද්දී දැවීයාමකට හසුවිය.

 

ශ්‍රී ලංකා  සභාපතිගේ කණ්ඩායම පන්දුවට පහරදීම 247/7 (පන්දුවාර 42)

මහේල ජයවර්ධන 84  (පන්දු 72, 4×9, 6×2)

ටී.එම් ඩිල්ශාන් 47 (පන්දු 45, 4×3, 6×2)

දිමුත් කරැණාරත්න 46 (පන්දු 59, 4×2)

 

 

 

 

 

ශ්‍රී ලංකා  'එ'  පන්දු යැවීම

සුරංග ලක්මාල් 57/3 (පන්දුවාර 8)

සීක්කුගේ ප්‍රසන්න 48/2 (පන්දුවාර 9)

ශ්‍රී ලංකා 'එ' පන්දුවට පහරදීම 227/10 (පන්දුවාර 41.2

දිල්රැවන් පෙරේරා 49 (පන්දු 62, 4×2, 6×2)

කුසල් ජනිත් 38 (පන්දු 37, 4×3, 6×1)

කිත්රුවන් විතානගේ 37 (පන්දු 47, 4×2)

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම පන්දු යැවීම

නුවන් කුලසේකර 48/3 (පන්දුවාර 9)

සචිත්‍ර සේනානායක 23/2 (පන්දුවාර 9)

ඇන්ජලෝ මැතිව්ස්  19/2 (පන්දුවාර 3.2)

 

 

 

 

දුප්පතාගේ සූදුවට පාට ගෑම

 

හැමදෙනාටම වාසනාව ගෙන එන කොළඹ නගරයේ ඇති ලොතරැයි කුටි පවා අලුතින් තීන්ත ගා පිරිසුදු කිරීම මේ දවස්වල සිදුවෙනවා. හිදිසියේම කැසිනෝ තරම් බරපතල සූදුවක් ලෙස ලොතරැයිය හඳුන්වන අපේ දේශපාලකතුමන්ලා චෝගම්වලට කලින් හිඟන්නන් සහ බල්ලන් කොළඹින් එලවා දැම්මා වගේ දුප්පත් අපේ සූදු කුටි වසා නොදමා ලස්සන කරන්නේ ලොක්කන්ගේ සූදුවට අපෙන් අනුමැතිය ගන්නද මන්දා…!

 

Beefy’s Big Sri Lanka Walk 2013

යුද්ධයෙන් පීඩා විඳි උතුරේ ජනතාව නගාසිටුවීමේ අරමුණින් හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයෙකු හා විස්තර විචාකයෙකු වන ඉයන් බොතම්ගේ මූලිකත්වයෙන් ඇරඹි Beefy's Big Sri Lanka Walk 2013 පා ගමන ඊයේ (05දා) කොළඹ ගාලුමුවදොර පිටිය අබියසින් ගමන් කළේය. කිලෝමීටර් 160 ක දුරක් ආවරණය කෙරෙන පා ගමනේ විවිධ අදියරවලදී ප්‍රකට දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ඊට සහභාගි වීමට නියමිතය. ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වූ ස්ටීව් වෝද ඊයේ දිනයේ පා ගමනට එක්ව සිටියේය. දින අටක් පුර ගමන් කිරීමෙන් පසු සීනිගම ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් Beefy's Big Sri Lanka Walk 2013 පා ගමන අවසන් වීමට නියමිතය.  

ඉහළ දැමූ බස් ගාස්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

මෙරට ක්‍රියාත්මක වන බස් රථ සේවාවේ ගුණාත්මකභාවයක් නොමැතිවීම නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවට මුහුණදෙන බව බස් හිමියන්, සේවකයන් සහ නියාමන ආයතන හොඳාකාරවම දන්නා කරැණකි. එහෙත් බස් හිමියන් සහ බස්රථ සේවකයන්ගෙන් බහුතරයක් තමන් අතින් සිදුවන වැරදි සකසාගෙන ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීමට මෑතකාලීනව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේද නැත. නියාමන ආයතන සඳහා වැඩපිළිවෙළක් සකස් කළත්, බස් හිමියන්, බස් රථ සේවකයන් බහුතරයක් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේද නැත.

මෙවැනි තත්ත්වයක් කර්මාන්තය තුළ ඇති වී තිබෙන්නේ පුහුණුවලත් බස් රථ සේවකයන් සේවයේ යෙදවීමට සහ බස් හිමියන් විසින් බස් රථ සේවය පවත්වාගෙන යාමට කටයුතු නොකිරීම නිසා බව සේවක සංගම් නගන චෝදනාවකි.

අපි මේ පිළිබඳව ලංකා මගී ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමිත්ත කුමාරදාස කුලියාපිටිය මහතා සමග කතාබහක නිරතවීමු.

 

                      

බස් රථ සේවකයෙක් වෙන්න විශේෂ පුහුණුවක් ලබන්න ඕනද?

ඔව්. රියදුරෙකු ලෙස රිය පුහුණුවට අමතරව, මගී ප්‍රවාහන සේවාවක රියදුරෙකු ලෙස සේවයට එක්වෙනවා නම්, අනිවාර්යයෙන්ම මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම යටතේ රියදුරැ යම් පුහුණුවක් ලබන්න ඕන. ඒ වගේම කොන්දොස්තරවරයෙකුත් එම පුහුණුව ලබන්න ඕන. එහෙම පුහුණුවක් ලබාදෙන්න ඕන කියන නියමයක් ඇතිවෙලා තියෙන්නෙ සේවකයන් වැඩ කටයුතු කරන්නෙ මහජනතාව එක්ක නිසා.

වර්තමානය වනවිට රට තුළ කොතරම් සේවක පිරිසක් ඉන්නවාද?

ආසන්න වශයෙන් සේවකයන් 55,000කට අධික පිරිසක් සේවයේ නිරත වෙලා ඉන්නවා. මේ අය පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ සහ ජාතික ගමනාගමන කොමිසම යටතේ ධාවනය වන බස් රථවල සේවය කරනවා.

මේ සියලු පිරිස් ගුණාත්මක සේවාවක් පිළිබඳව පුහුණුව ලබා තිබෙනවාද?

නැහැ. ආසන්න වශයෙන් පුහුණුව ලබපු අය සේවයේ යෙදිලා ඉන්නෙ සමස්ත පිරිසෙන් 5෴ – 10෴ අතර ප්‍රමාණයක්. හැබැයි පුහුණුව ලබපු මීට වඩා විශාල පිරිසක් අද කුලී කම්කරැ රුකියාවල නිරත වෙලා ඉන්නවා.

මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ ඇයි?

ප්‍රධානම කාරණය තමයි බස් රථ හිමියන් ස්ථිර සේවකයන් ලෙස රියදුරන්, කොන්දොස්තරවරැන් සේවයට බඳවා නොගැනීම, මොකද අද වනවිට රටේ ප්‍රවාහන සේවයේ යොදවල තියෙන බස් රථ ප්‍රමාණයෙන් 80෴ ක්ම සේවයේ යොදවලා තියෙන්නෙ බදු ලබාදීමේ ක්‍රමවේදය යටතෙයි. ඒ කියන්නෙ දවසකට නියම කරන ගාණකට, එසේත් නොමැතින ම් මාසයකට නියම කරන ගාණකට. මොකද මුදලාලිලාට ඕන සල්ලි විතරයි. හැබැයි මාර්ග බලපත්‍රයක් ලබාදීමේදී තියෙන කොන්දේසිවලට අනුව ප්‍රමුඛස්ථානය දෙන්න ඕන ගුණාත්මක සේවයකට කියල සඳහන් වෙනවා.

එතකොට නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?

බස් බදු ලබාදීමේදී නීතිය විතරක් නොවෙයි, මාර්ග බලපත්‍රයක් ලබාදෙනකොට ලබාදෙන උපදේශය තමයි සේවයේ යොදවන සේවකයන් දෙදෙනාට සේවක අර්ථසාධක අරමුදලේ සහ භාරකාර අරමුදලේ දායකත්වය ලබාදිය යුතුයි කියන නීතිය. ඒ වගේම මාර්ග බලපත්‍රය දීර්ඝ කිරීමේදී වසර ආරම්භයේ වෛද්‍ය සහතික නිකුත් කරන සේවකයන් දෙදෙනාම සේවයේ යෙදවිය යුතුය කියන නීතිය. අද වනවිට මේ නීති සියල්ලම උල්ලංඝනය වෙනවා. හැබැයි නියාමන ආයතන ඒ පිළිබඳව අවධානයක් යොමුකරන්නෙ නැහැ. යම් තරමකට හරි මෙවැනි වැරදිවලට නීතිය ක්‍රියාත්මක කරන්නෙ ජාතික ගමනාගමන කොමිසම විතරයි.

එතකොට බස් හිමියන් සේවකයන්ට සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ දායකත්වය ලබාදෙන්නෙ නැහැ කියලද ඔබ චෝදනා කරන්නෙ?

ඔව්. මොකද සමස්ත බස්රථ සේවකයන්ගෙන් එම වරප්‍රසාදය හිමිවෙලා තියෙන්නෙ 03෴කටත් අඩු ප්‍රමාණයකට. හැබැයි රටේ නීතියක් තියෙනවා මාර්ග බලපත්‍ර දීර්ඝ කිරීමේදී අර්ථසාධක, සේවක භාරකාර අරමුදලේ දායකත්වය සේවකයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවට ලිඛිත තොරතුරැ ලබාදෙන්න ඕන කියල.

 

කොන්දොස්තරවරැන්ගෙන් බහුතරයක් මගී ජනතාවට ලැබිය යුතු ඉතිරි මුදල් ලබා නොදෙනවා වගේම, පරැෂ වචනයෙන් බැනවදින බවටත් චෝදනා නැගෙනවා නේද?

මම ඒක පිළිගන්නවා. හැබැයි ඒ තත්ත්වය ඇතිකරලා තියෙන්නෙ බස්රථ හිමිකරැවන්, පාලකයන් සහ වගකිවයුතු නියාමන ආයතන විසින්. මම ඒකට උදාහරණයක් දෙන්නම්. මම මුලින්ම කිව්වනෙ බස් රථ බහුතර ප්‍රමාණයක් බස් හිමියන් බදු ලබාදීලා තියෙනවා කියල. ඒ යටතේ බොහෝ විට බස්රථය බදු ලබාගන්නෙ මුදල් හම්බු කරනවා කියන චේතනාවේම ඉන්න කෙනෙක්. ඒ නිසා ඔහු මම මුලින් කිව්ව ආකාරයේ විශේෂ පුහුණුව ලබපු කෙනෙක් නොවෙන්න පුළුවන්. සමහර විට පුහුණුව ලබපු කෙනෙක් වුවත් බස් රථය, බදු මුදල් සහ තම තමන්ගේ ගාණ සොයාගන්න මෙවැනි කටයුතු කරනවා. මේ නිසා සමස්ත සේවාවම අප්‍රසාදයට ලක්වෙලා තියෙනවා.

බස්රථ කොන්දොස්තරවරැන්ට මෙවැනි චෝදනාවක් නැගෙනවිට රියදුරන්ට නැගෙන චෝදනාව තමයි බස්රථ කොට කොටා යාම. එහෙම වෙන්නෙ ඇයි?

එතන තියෙන්නෙත් රියදුරාගේ වැරද්දක්ම නොවෙයි. මොකද මේ ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වෙන්නෙ කිසිදු සැලසුමකට නොවෙයි. සේවය සැලසුමකට ක්‍රියාත්මක වෙනවා නම් ඒකාබද්ධ කාලසටහනක් තියෙන්න ඕන. ඒ අනුව බස්රථය ගමන් ආරම්භ කරන වේලාව වගේම අවසන් කළ යුතු වේලාව සහ නැවත ගමන් ආරම්භ කරන වෙලාවකුත් නියම වෙනවා. ඉතින් මම මුලින් කිව්ව වගේම නියාමන ආයතන, ආණ්ඩුව පොලීසිය මේ සඳහා මැදිහත් වෙන්න ඕන.

කර්මාන්තය තුළින් මගී ජනතාවට යහපත් සේවාවක් හිමි නොවනවා සේම සේවකයන්ටත්, හාම්පුතුන්ගෙන් සහ නියාමන ආයතනවලින් සේවයක් නොවන බවටත් චෝදනා එල්ලවෙමින් තිබෙනවා?

ඒකට කරැණු ගණනාවක් බලපාල තියෙනවා. ප්‍රධාන දේ දෛනික හෝ මාසික වැටුප. ඒ ගැන නිශ්චිත නැහැ. එක එක මුදලාලිලා, එක එක ගණන් තමයි ගෙවන්නෙ. හැබැයි බස් බදුගන්න අයට කවුරැවත් පඩි ගෙවන්නෙ නැහැ. අනිත් එක නිශ්චිත වේලාවක් නැහැ. සමහර වෙලාවට දවසට පැය 18 – 20 ක් සේවය කරන අයත් ඉන්නවා. හැබැයි පඩියෙ වෙනසක් නෑ. අතිකාල නෑ, මූලික වැටුප් නෑ. අනිත් එක බස් නැවතුම් පොළවල සේවකයන්ට විවේකීව ඉන්න තැනැක් නෑ, වැසිකිළි නැහැ. සමහර බස් නැවතුම් පොළවල් තුළ වතුර ටිකක්වත් බොන්න තැනක් නෑ. අර්ථසාධක නෑ, භාරකාර අරමුදල් නෑ. නිල ඇඳුමක් ගන්නවා නම් ඒකටත් අතින් වියදම් කරන්න ඕන.

පසුගියදා සිදුවූ ගාස්තු සංශෝධනය අසාධාරණයි කියන්නෙ ඇයි?

ප්‍රධාන කාරණා ගණනාවක් තියෙනවා. ඉන් එකක් තමයි ගාස්තු සංශෝධනය වීමට සාපේක්ෂව කර්මාන්ත හිමියන් විසින් කර්මාන්ත වැඩිදියුණු කරලා තියෙනවද කියන කාරණය. අනිත් එක තමයි බස් රථයේ ආදායමෙන් ඉන්ධන වියදම් අයින් කළාම 80෴ ක්ම තියෙන්නෙ ලාභය. 20෴ ක් අයින් කරල කතා කරන්නෙ බස් රථයට අල්ත්වැඩියා සඳහා යන මුදලත් එක්ක.  ආදායමෙන් ලැබෙන 80෴ ලාභවලින් බස් රථ සේවකයන්ට ලබාදෙන සොච්චම් වැටුප අයින් කළාම, බහුතර මුදලක් තියෙන්නෙ ලාභ විදියට.

ඒත් කර්මාන්තකරැවන් සඳහන් කරන්නෙ වාරික ගෙවීමේ පදනමට ගන්න බස් රථවලට වාරික ගෙවාගන්නත් විදහක් නැති බවයි?

ඒක වෙන්නෙ මෙහෙමයි. අපි හිතමු බස් රථයක් රැපියල් ලක්ෂ 100 ක් වටිනවා කියලා. අද තියෙන ලීසිං සමාගම් කාටහරි රැපියල් ලක්ෂයක මූලික තැන්පතුවක් තියන්න පුළුවන් නම්, අර ලක්ෂ 100 බස් රථය අදාළ පුද්ගලයාට දෙනවා. ඉතින් බස් රථය ගන්න පුද්ගලයා මාසිකව විශාල මුදලක් වාරික ලෙස ගෙවන්න ඕන. ඒ වගේම රැපියල් ලක්ෂ 100 පොළියත් ගෙවන්න ඕන. එතකොට ඉතින් වාරික ගෙවාගන්න බැරි වෙන එක ගැන අහන්න දෙයක් නෑ.

බස් ගාස්තු සංශෝධනය අසාධාරණ නම්, ඒ වෙනුවෙන් කළ හැකිවන්නේ කුමක්ද?

අපිට කරන්න පුළුවන් එක දෙයයි. ඒක තමයි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම. මේ අනුව ගුණාත්මක සේවාවක් සපයන්නේ නැතිව බස් ගාස්තු පමණක් ඉහළ දමාගන්න කටයුතු කළ බස් හිමියන්ට පාඩමක් උගන්වන්න අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුව මේ මස 17 වැනිදා ගංගොඩවිල උසාවියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා, පසුගියදා සිදුකළ 7෴ ගාස්තුව අහෝසි කරන්න කියලා.

ඒ ගාස්තුව ක්‍රියාත්මක කරන්න නම් කළ යුත්තේ කුමක්ද?

අධිකරණයට පොරොන්දුවක් දෙන්න ඕන ජනතාවට ගුණාත්මක සේවාවක් සැලසීම පිළිබඳව සහ සේවක අයිතිවාසිකම් ලබාදෙනවා කියන එක ගැන. එසේ නොමැති නම් අපි බස් ගාස්තු සංශෝධනය නවතා දැමීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා.

 

හංසවිල

ආචාර්ය ප්‍රේමසරි කේමදාස සංගීතඥයාගේ පස්වැනි ගුණසමරැව වෙනුවෙන් සංවිධානය කළ හංසවිල සංගීත මියැසිය පසුගියදා මහරගම තරැණ සේවා රංග ශාලාවේදී පැවැත්විණ.

 

 

විමල් විරවංශ සහ ඩලස් අලහප්පෙරැම අමාත්‍යවරැන්ගේ ප්‍රධානත්වයෙන් පැවතිමෙම ප්‍රසංගයේදී පණ්ඩිත් අමරදේවයන්, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ටී.එම් ජයරත්න, නන්දා මාලිනී, ලතා වල්පොල, ප්‍රදීපා ධර්මදාස, ඉන්දිකා උපමාලි, අමිත් වල්පොල, සමන්ත පෙරේරා යන ගායක ගායිකාවෝ ගීතවත් විය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගුණ සමරැව වෙනුවෙන් විශේෂ සමරැ මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී විශේෂ අංගයක් විය. කේමදාස පදනම මගින් මෙම හංසවිල සංගීත ප්‍රසංගය සංවිධානය කරන ලදී. 

දකුණු ආසියාවේ විශාලතම අලෙවි පරිශ්‍රය විවෘත වෙයි

එක් හිමිකරුවෙකුට පමණක් අයත් දකුණු ආසියාවේ විශාලතම අලෙවි පරිශ්‍රය බවට පත්වෙමින් නව හවුස් ඔෆ් ෆැෂන් නව මහල් මන්දිරය ඊයේ (04දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් බොරුල්ල, සේනානායක මාවතේදී විවෘත කෙරිණි.

මහල් නවයක් පුරා විහිදුණු නව හවුස් ඔෆ් ෆැෂන් අලෙවි පරිශ්‍රය වර්ග අඩි 250,000 කින් යුතු වන අතර, එක විට වාහන 350 ක් ඉක්මවා නවතා තැබිය හැකි වාහන නැවතුම් අංගනයක්ද මීට අයත් වෙයි.

1992 වසරේදී ප්‍රීති හා නීලා ජයවර්ධන යුවළ ඇරඹූ 'හවුස් ඔෆ් ෆැෂන්' නිමි ඇඳුම් ව්‍යාපාරය 1999 දී ඩුප්ලිකේෂන් පාරේ හවුස් ඔෆ් ෆැෂන් පරිශ්‍රයට ගෙවදුනි. සිය ව්‍යාපාරික ගමන් මගේ සාර්ථකත්වයත් සමග එක් හිමිකරැවෙකුට පමණක් අයත් දකුණු ආසියාවේ විශාලතම අලෙවි පරිශ්‍රය බවට පත්වෙමින්  බොරුල්ල, සේනානායක මාවතේදී හෙට (06දා) සිට මහජනතාව වෙනුවෙන් විවෘත වීමට නියමිතය.

විෂ්….

ජන්ඩිපහට ඇඳගත් වීරයෙක් මේ දවස්වල සිනමා ලෝකය හොල්ලමින් සිටිනවා. ඒ %ක්‍රිෂ්^. ජන්ඩිපහට ඇඳගත් තවත් කෙනෙක් ඊයේ කිලෝමීටර් ගණනක් බයිසිකලයක් පැද්දා. ඒ %විෂ්…. විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ මාදිවෙල සිට කඩුවෙලට බයිසිකලයක් මෙසේ පැදගෙන ගියේ ව්‍යායාම මධ්‍යස්ථානයක් විවෘත කිරීමටයි…

සංගක්කාර වසරේ ජනතාවගේ ක්‍රිඩකයාට නිර්දේශ නොවෙයි

2013 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වීමට නියමිත ක්‍රිකට් සම්මාන උලෙළේ වසරේ ජනතාවගේ ක්‍රීඩක සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ නම නිර්දේශ වී නොමැත. නමුත් 2011 හා 2012 වසරන්හිදී පිට පිටම වසරේ එල්.ජී. ජනතාවගේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා කුමාර් සංගක්කාර සම්මාන ලබාගත්තේය.

 

මේ වසරේදී පැවැත්වීමට නියමිත සම්මාන උලෙළේදී වසරේ ජනතාවගේ ක්‍රීඩක සම්මානය සඳහා ඉන්දියාවේ විරාට් කෝලී, මහේන්ද්‍ර සිං දෝනි, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියස්, එංගලන්තයේ ඇලෙස්ටයාර් කුක්, ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක් නිර්දේශ වී ඇත. අවසන් සම්මාන රාත්‍රිය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

වසරේ එල්.ජී. ක්‍රීඩකයා සඳහා වන ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය දෙවැනිදා ආරම්භ වූ අතර, එය එළඹෙන 23 වැනිදා අවසන් වේ. www.lgiccawards.com යන වෙබ් අඩවියට පිවිස ක්‍රීඩකයන්ට ඔබගේ මනාපය ලබා දිය හැකිය. අනෙකුත් සම්මාන සඳහා නිර්දේශිත නාම නොවැම්බර් 11 වැනිදා ඉන්දියාවේදී ප්‍රකාශ කිරීමට නියමිතය.