හතළිස් දෙවසරකට පෙර අහිමි වූ සිංහල සාහිත්‍ය‘යේ නොමැකෙන සලකුණ මහගම සේකර

එදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ කෙටි චිත්‍රපට නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කළ කුමුදු කුසුම් කුමාර කලාවේ අංශ කිහිපයක දස්කම් පළකළ මහගම සේකරයන් පිළිබඳ සිය නිර්මාණය සිදුකිරීමට සැලසුම් කළේය. ඒ අනුව 1976 ජනවාරි මස 14 වැනිදා රූපගත කිරීම සඳහා යොදාගෙන එදින සේකර කැඳවා ගෙන ඒමට වාහනයක් ඔහුගේ නිවසට යැවීමට සැරසිණි. එහෙත් මහගම සේකර පැවසුවේ වාහනයක් ගම්පහට එවිය යුතු නැති බවයි.


sekara

 ඔහු උදෑසන කොටුව දුම්රිය ස්ථානයට දුම්රියෙන් පැමිණීමට පොරොන්දු විය. ඒ අනුව අධ්‍යක්‍ෂවරයා ජනවාරි මස 14 වැනිදා උදෑසන කවදත් කියූ වේලාවට කටයුතු කරන මහගම සේකර පැමිණෙන දුම්රිය අපේක්‍ෂාවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට වාහනයකට වී බලා සිටියේය. හැමදාම කියූ වේලාවට පැමිණෙන සේකර එදා එලෙස දුම්රියෙන් නොපැමිණීම ගැන මවිතයට පත් අධ්‍යක්‍ෂවරයා සිය සහායකයෙකු සේකරගේ නිවස වෙත යවනු ලැබුවේ අද මෙන් එදා (හැත්තෑව දශකයේ) දුරකථන පහසුකම් සුලභව නොපැවතුණු හෙයිනි. එහිදී ඔහුට දැනගැනීමට ලැබුණේ සේකර පෙරදා රාත්‍රියේ නිදා සිටියදී අලුයම් කාලයේ නිදි යහනේදීම දිවියෙන් සමුගෙන ඇති බවයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස් හයකි.

පසුදා මෙරට පළ වූ දිනපතා පුවත්පත්වල පමණක් නොව එම සතියේ සතිපතා පළ වූ පුවත්පත්වලද පළමු පිටු සැරසුණේ සේකරගේ ඡායාරූපවලිනි. එතැන් සිට සේකර මියගොස් වසර හතළිස්දෙකක් ගෙවී යන තැන අද දවසේද ජනතාව සේකර පිළිබඳ කතා කරති. සැබැවින්ම ජීවත්ව සිටි සේකරයන්ට වඩා මළවුන් අතරට එක් වූ සේකර ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්විය. අංකුර කවියන්ගේ පරමාදර්ශී කිවිඳාණන් බවට පත්විය. චිත්‍ර ශිල්පියෙකු, කවියෙකු, නවකතාකරුවෙකු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ සේකර අවසාන කාලයේ ජනප්‍රිය කෙටිකතාකරුවෙක්ද විය. ඒ එකල පළ වූ %නවයුගය^ පුවත්පතට කෙටිකතා රචනා කිරීමෙනි. සේකර කෙටිකතා රචනයට යොමු කළ 'නවයුගය' පුවත්පතේ එදා කතුවරයා වූ ප්‍රකට නවකතා රචක සහ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිරනාටක රචකයෙකු වූ සෝමවීර සේනානයක මහතා අප ඉදිරියේ කාලයේ වැලි තලාවෙන් වැසී නොගිය මහගම සේකර අතීතය ආවර්ජනය කළේ මෙලෙසින්ය.

A64231E8

&මහගම සේකර යනු මාධ්‍යවේදීන් වූ අපට එදත් ආගන්තුක චරිතයක් වූයේ නැහැ. ඒත් මගේ ජීවිතයේ ඔහු නිසා අපූරු සිදුවීමක් වුණා. සාමාන්‍යයෙන් එකල මෙන්ම අද දවසේද ගත්කරුවෙකු ග්‍රන්ථයක් රචනා කිරීමෙන් පසු එහි පිටපතක් මාධ්‍යකරුවන්ට ලබාදී විචාරයක් ලියවා ගැනීමේ සම්ප්‍රදායක් තිබෙනවා. මහගම සේකරගේ 'තුංමං හන්දිය' ප්‍රකාශයට පත්වූ සැණින් ඔහු අප කාර්යාලයට එහි පිටපතක් රැගෙන ඒමට ප්‍රථම මා එම පොත කියවා විචාරයක් ලියනු ලැබුවා. එම සම්ප්‍රදායි විරෝධී ක්‍රියාව පිළිබඳ එදා %සරසවිය^ පුවත්පතේ කර්තෘවරයාව සිටි විමලසිරි පෙරේරා මහතා මගෙන් ප්‍රශ්න කිරීමක්ද සිදු කළා. එහෙත් එම පොත ගැන සේකර මහත් සේ බලාපොරොත්තු තැබීමත්, වරින්වර එම පොත පිළිබඳ කළ ප්‍රකාශ කිරීම් නිසාද එය පොත්හලකින් මිලදී ගෙන කියැවීමේ කැමැත්තක් මා තුළ තිබූ බව මා විමලසිරි පෙරේරා මහතාට දැන්වුවා. සේකරගේ ජීවිත සිදුවීම් අළලා මා ලියූ එම පොතේ විචාරය මගේ සාහිත්‍ය විචාර දිවියේ අදටත් අමතක නොවන සිහිවටනයක් වෙනවා.

මේ වන විටත් සේකර විශාරද අමරදේවයන් සමග එක්ව ගීත රසවින්දනය ඉහළ දැමීම සඳහා ගුවන්විදුලයේ 'මධුවන්ති' නම් සංගීත වැඩසටහනක් සිදුකරමින් තිබුණා. එය මෙරට ප්‍රබුද්ධ රසිකයන් අතර නමක් දිනාගෙන තිබුණා. එකල යම් වසරක චිත්‍රපටයක් සඳහා සේකර ගීත රචනා කර තිබුණේ නම් එම වසරේ හොඳම ගීත රචනයට හිමි සරසවි සම්මානය දිනාගත්තේ මහගම සේකර විසින්. එකල සරසවි සම්මාන උලෙළ පමණයි අඛණ්ඩව සිනමා සම්මාන උලෙළක් ලෙස පවත්වාගෙන යනු ලැබුවේ. තවත් පුවත්පත් ආයතන කිහිපයක් සහ විචාරක සම්මාන ආදී සම්මාන උලෙළයන් සිනමාව වෙනුවෙන් පැවැත්වුවද, ඒවා අඛණ්ඩව පැවැත්වුණේ නැහැ.

 ඔහු පළමුව ගුරු වෘත්තියේ නියැළී සිට තිබෙනවා. කලක් රාජගිරියේ හේවාවිතාරණ මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. හැබැයි ඔහු පළමුව සිය ගමේ චිත්‍ර ශිල්පියෙකු ලෙස නමක් ඇතිකර ගෙන තිබුණේ. එකල රට පුරා පැතිර ගිය %කක්කල් කැස්ස^ නම් රෝගය සුව කිරීම සඳහා එකල දේශීය වෙද මහතුන් සිදුකළ කෙම් ප්‍රතිකාරයන් වෙන්නෙ එකල භාවිතයේ තිබූ සතයේ තඹ කාසියක් මත සුනඛයෙකුගේ සිතුවමක් ඇඳ දීමෙන්. පසුව එම සුනඛ රුව සහිත තඹ කාසිය සිදුරු කර මාලයක් සේ බෙල්ලේ එල්ලා ගෙන 'කක්කල් කැස්ස' සුවකර ගැනීමට එකල සේකර පදිංදිව සිටි රදාවාන ප්‍රදේශයේ ගැමි ජනතාව පෙළඹී තිබෙනවා. ඒ සමගම සේකරගේ ලොකු මාමා වෙතින් චිත්‍ර සහ කලා නිර්මාණ කටයුතුවලට හුරුවක් ලද ඔහු කලා නිර්මාණ වෙත යොමුව තිබෙනවා. ඒ අතීතය තමයි ඔහු 'තුංමං හන්දිය' කෘතියට වස්තු බීජය කරගෙන තිබුණේ.

කලක් ඔහු එකල මැලේ වීදියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරනු ලැබුවා. එකල සේවය නිමවා පයින්ම කොටුව දුම්රිය ස්ථානයට යන ගමන් ලේක් හවුස් ආයතනයට ගොඩවී යෑමේ පුරුද්දක් ඔහුට තිබුණා. කාසමගත් කතාබහ කර ඩී.ආර්. විජයවර්ධන මාවතෙන් කොටුව දුම්රිය ස්ථානයට ඇති පිවිසුමෙන් ඔහු එහි යනවා. එසේ පැමිණි අවස්ථාවක එකල %නවයුගය^ පුවත්පතේ නව වෙනස්කමක් කරමින් සිටි මා සහ ඒ.ඩී. රන්ජිත් කුමාර අප රටේ වෙනත් කලා මාධ්‍යයන්හි නමක් හිමිකර ගෙන සිටි ආර්.ආර්. සමරකෝන්, සුගතපාල ද සිල්වා වැනි කලාකරුවන්ට කෙටිකතා ලිවීමේ අවස්ථා ලබා දී එහි පළකරනු ලැබුවා. %නවයුගය^ ස්වර්ණමය යුගයක් වූ එකල එය පාඨකයන් අතර අසීමිත ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ අනුව අප දෙදෙනා සේකරයන්ටද කෙටිකතාවක් ලිවීමට ඇරයුම් කළා. %අනේ මන්දා මට කෙටිකතා ලියන්න පුළුවන් වෙයිද කියලා' අපට ප්‍රතිචාර පළකළ සේකර පසුව කෙටිකතා කිහිපයක්ම ලියා අප පුවත්පතේ පළකළා. ඔහු චිත්‍රය, කවිය, නවකතාව සහ සිනමාව තුළ පළකළ ප්‍රතිභාවම කෙටිකතා රචනයේදීත් පළ කරනු ලැබුවා.
ඔහු එලෙස ලියූ එක් කෙටිකතාවක් 'මීයා' යන නමින් ඔහුගේ මරණයට සති කිහිපයකට පෙර %සිළුමිණ^ පුවත්පතේද පළවුණා. ජීවිතය දෙස ගැඹුරු දෘෂ්ටියකින් දුටු සේකරට හොඳ ජීවිත පරිඥානයක් තිබුණා. එය ඔහු විසින් පිවිසි සියලු කලාවන් අතික්‍රමණය කිරීමට හේතු පාදක වූවා යැයි අද මට හිතෙනවා.

DSC_0092

සේකර සිය අකල් මරණයට පෙර 'සරසවිය' පුවත්පතට ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණා ජනප්‍රිය දහරාවේ සිටින ගායන ශිල්පීන් වන මිල්ටන් මල්ලවාරච්චි, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්.එස්. ප්‍රනාන්දු වැනි ගායන ශිල්පීන්ටත් ගීත රචනා කළ යුතු බව.
ඒ.ඩී. රන්ජිත් කුමාර සමග පැවැති එම මාධ්‍ය හමුවට දැක්වූ අදහස්වලට පාදක වන සිද්ධියකට මහගම සේකර මුහුණ දුන් අවස්ථාවක් මට මේ අවස්ථාවේ මතකයට නැගෙනවා. දිනක් රන්ජිත් කුමාර උගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති උත්සවයකින් පසුව පිටතට පැමිණ අප මරදානේ පිහිටි කුඩා ලෑලි කඩයකට තේ කෝප්පයක් බීමට ගෙවැදුණා. එහිදී අප දුටුවා කම්කරුවෙක් වැනි තරුණයෙක් මහගම සේකරයන්ගේ කවි පොතක් බලමින් සිටිනවා. එය දුටු සේකරට අපූරු සතුටක් ලැබුණා. %මං කවි ලිව්වේ මෙන්න මේ පන්තියේ මිනිසුන්ගේ අවධානයටයි. මට හරි සතුටුයි මෙවන් කම්කරුවෙක් අත මගේ කවි පොතක් තියෙනවා දකින්න ලැබුණ එක^ කියා එදා ඔහු ආත්මීය සතුටක් ලබන ආකාරය මට පෙනුණා. සේකර හැමදාම සිතුවේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමටයි. පෙර කී ජනප්‍රිය ගායකයන්ට ගීත ලියා ඒවා මෙරට සාමාන්‍ය ජනතාවගේ අවධානයට යොමු කරන්න තියෙන ආශාව තමයි %සරසවිය^ පුවත්පතට සේකර හෙළිකරන්න ඇත්තේ. මේ ප්‍රවෘත්තිය දැකලා එච්.ආර්. ජෝතිපාල සතුටට පත්වෙලා අප පුවත්පතට කතා කරලා හරියට සතුටු වුණා. 'මං සේකර මහත්තයා ලියපු ගීතයක් ගායනා කළාට පස්සේවත් මේ ජෝතිපාල ප්‍රබුද්ධ ගායකයෙක් කියලා අපේ රටේ උගත්තු හිතයි නේද මහත්තයෝ?^ ජෝති සේකරයන්ගේ ගීතයක් ගැයීමේ මහත් ආශාවෙන් කතා කළා. එහෙත් ඊට කෙටි කලකට පසුව සේකර ජාතියෙන් සමුගත්තා.

මා ශාස්ත්‍රපති උපාධියට පෙනී සිටින විට මටත් අද ප්‍රංශයේ සිටින %හේ සිද්ධාර්ථ නමි විය^ ග්‍රන්ථය රචනා කළ කෝන්ගස්දෙනියේ ආනන්ද හාමුදුරුවන්ටත් දේශන පවත්වන්න එකල සේකර විද්‍යෝද්‍ය නමින් හැඳින්වූ වත්මන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවා. ඒ දිනවල ඔහු ලියා තිබූ ප්‍රබුද්ධ කවිපොත් ජනතාවට තේරුම්ගත හැකිවේ දෝයි මෙරට විද්වත් සමාජයේ අවධානයට යොමු කරමින් යමින් සිටි අවස්ථාවකදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාට පෙන් වූ අවස්ථාවේදීද අප හමුවුණා.
කෙසේ හෝ සේකරගේ අවමංගල උත්සවයේදී රදාවාන ගම්වැසියන් අගනුවර සිට එහි ගිය ජනතාවට දැක්වූ අව්‍යාජ ආගන්තුක සංග්‍රහයන් සහ පිළිගැනීම් මට අදටත් හොඳින් මතකයි. එදා සේකරගේ චිතකය දැල්වෙන විට ඒ අවස්ථාවේ සේකර ලියූ ජනප්‍රිය ගීතයක් වන %මා මළ පසු සොහොන් කොතේ^ ගීතය විශාරද අමරදේවයන් ගායනා කළ අයුරු මට මතකයි. 
එහිදී සුසාන භූමියේ සිටි කාගෙත් නෙත් කඳුළෙන් පිරී යනු දකින්නට ලැබුණා. එදා සිට ජීවත්ව සිටි මහගම සේකරට වඩා මියගිය මහගම සේකර ජනතාවගේ හදවත් තුළ ලැගුම් ගත්තා කියා මා සිතනවා.'

ගාමිණී සරත් ගුණවර්ධන 

 

One thought on “හතළිස් දෙවසරකට පෙර අහිමි වූ සිංහල සාහිත්‍ය‘යේ නොමැකෙන සලකුණ මහගම සේකර

  1. Tissa Wellappili

    Truly one of the greats of our time. His lyrics "Patu Adahas nam Pavurin Lokaya" will ring true for many generations.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>