සිරිසේනගෙ කැපිල්ලයි, රනිල්ගෙ නැටිල්ලයි

'කළය උකුලෙ තියාලා. බුලත් විටක් හපාලා. දසන් දෙපොළ පෙන්නලා. ටිකිරි සිනහව පාලා, මම ඉන්නව දැකලා. අනික් පැත්ත බලාලා. යනවනෙ මහනුවර මැණිකෙලා'
මෙම ගීතය ගායනා කරනු ලැබුවේ 'ලා බම්බාස්' (Labambas)  සංගීත කණ්ඩායම විසින්ය. ප්‍රියා පීරිස්, රොලින්සන් ෆර්ඩිනැන්ඩෝ, බ්‍රයන් ප්‍රනාන්දු, ලස්ලා ප්‍රනාන්දු මේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. 1960 දශකය අගභාගයේදී මෙම සංගීත කණ්ඩායමේ ගීත ජනප්‍රිය වී තිබිණි. විශේෂයෙන්ම 'නුවරඑළියෙ යන්න', 'cock a doodle do', 'කුරුලන් පියඹාලා^ ආදී ගීත මෙම ජනප්‍රිය ගීත අතර විය. තවත් එකල ජනප්‍රිය ගීතයක් වූ %මහනුවර මැණිකෙලා^ ගීතය වර්තමානයේදී නව පණක් ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මේ ගීතයට නටන අයුරු අන්තර්ජාල මාධ්‍යයෙන් ප්‍රචාරය කර තිබූ බැවිනි.

බොහෝ අය මෙය ගත්තේ උපහාසයටය. පිටරට ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු නැටුවොත් අපේ අයට එය ඉතා අගනේය. අපේ කෙනෙකු නැටුවොත් එය එසේ නොවේ. අගමැතිට නටන්නට අකැපද? නැත. ඔහුද සාමාන්‍ය මනුස්සයෙකි. පෞද්ගලිකව විනෝද වීමට ඕනෑම කෙ‍නෙකුට අයිතියක් ඇත. ජනාධිපතිවරයා කොරියාවේදී නැටුවේය. ලංකාවම එයට හිනාවීමට බලාගෙන සිටියේය. ඒ ජනාධිපතිගේ පෞද්ගලිකත්වයයි. අපත් ඕනෑ තරම් නටයි. අපද නටමින් අනෙක් ඒවා විවේචනය කිරීම එතරම් හොඳ නැත. රුසියාවේ විලැදිමීර් පූටින්, ආජන්ටිනාවේ ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්, ජෝජ් බුෂ්, ඩොනල්ඩ් ට්‍රම්ප්, බිල් ක්ලින්ටන්, කෙන්යාවේ උහුරු කෙන්යාටා (uhuru Kenyatta) යන මේ සියලු දෙනා හොඳට නැටූ ජනාධිපතිවරුය. බැරැක් ඔබාමා ඔහු යන බොහෝ තැන්වල නැටුවේය. ඒවා අපේ අයට හොඳය. නමුත් අපගේ ජනාධිපති හෝ අගමැති නැටුවහොත් එය මාර අවුල්ය. මේ දවස්වල මාධ්‍ය අල්ලාගෙන සිටින්නේ අගමැතිගේ නැටිල්ලය. නමුත් අපි හැම විටම අල්ලා ගන්නේ වැරදි නැටිල්ලය. නටනටා ඉන්නට කාලයක් දැන් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නැත.
හොඳම නැටිල්ල බැඳුම්කර නැටිල්ලය. බැඳුම්කරයෙන් සිදු වූ පාඩුව බිලියන 10කි. නමුත් අගමැති පැවසූයේ 2008 – 2015 අතර කාලයේදී සිදු වූ පාඩුව බිලියන දහස් ගණනක් බවයි. තමන්ගේ පාක්‍ෂිකයන් ඉදිරියේදී ඔහු පැවසුවේ %වඩා ලොකු එදා එකද අද එකද?^ කියාය. ලොකු පොඩි ඒවායෙන් වැඩක් නැත. මේ හැම දෙයකින්ම අයහපත වන්නේ රටේ ජනතාවටය.  2008- 2015 දක්වා කාලයේදී බිලියන දහස් ගණනක පාඩුවක් වූවා නම් එකල විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය මේ පිළිබඳ කතා නොකළ එක මහා අභාග්‍යකි. ඒ පිළිබඳ කතා කළ යුතුව තිබුණේ එදාය. ජාතික ආර්ථිකයට මොනතරම් හානියක් කරනවාද කියා එදා දැනදැනත් නිද්‍රාශීලීව සිට වත්මන් ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනු හෙළි කරන විට %අපේ ඒවා හොයනවා නම්, එදා ඒවා හොයන්න^ කියා නින්දෙන් ඇහැරී සද්දෙ දැම්මාට වැඩක් නැත. සෑම වැරැද්දක්ම අර්ජුන්  මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් හා රවි කරුණානායක පිටින් යැවුවාට වැඩක් නැත. රවි මුදල් ඇමති වූවාට බැංකු සියල්ලම තිබුණේ කබීර් හෂීම් මහතා යටතේය. බැඳුම්කර කොමිසමට මලික් සමරවික්‍රම, කබීර් හෂීම් හා අගමැතිවරයා කැඳවා තිබිණි. නමුත් අවසාන‍යේ පත්තු වූයේ රවිටය. මේ වාර්තාව අනුව හරියටම අර්ජුන ඇලෝසියස් හෝ බැඳුම්කර සල්ලි රවිටම දුන්නා කියා කියන්නේ කෙසේද? ඉතින් රවි විතරක්  හසුවී අ‍නෙක් ඇය ගැන සඳහන් නොවන්නේ මන්ද? මෙය උභතෝකෝටික පැනයකි. බැඳුම්කරයට ආණ්ඩුවෙන් ලංසු තබන්නට කියූ අය, උපදෙස් දුන් අය සඳහන් කරනවා වෙනුවට රවි පිටින් පමණක් වරද පිටකිරීම ගැන නම් ඇත්තේ රවි %පව්^ යන හැඟීමය. දැන් කළ යුත්තේ මේ මුදල් අයකර ගැනීමය. අයකර ගෙන රටට යමක් කිරීම හැර එකිනෙකාට මඩ ගසා ගැනීම නොකළ යුතුය. එමෙන්ම අර්ජුන ඇලෝසියස්ලා රවටාගෙන මුදල් ලබාගත් මැති ඇමතිවරු එම මුදල් නැවත රහසේ හෝ රජයට ලබාදිය යුතුය. රටට ආදරේ දේශපාලඥයන් නම්, රට ගැන හා වංචා දූෂණ ගැන ජනතාව ගැන කැක්කුමක් තිබෙනවා නම් එය කිරීමට බැරි නැත. රනිල්ගේ නැටිල්ලට වඩා මාධ්‍ය මේ කොළේ වහලා ගසන නැටිල්ල ගැන අවධානය යොමු කරනවා නම් මීට වඩා හොඳය.

ජනාධිපති සිරිසේන මහතා පිළිබඳ කතා කරන විට මේ දවස්වල ඔහුගේ කැපෙන කඩුව ගැන කතා නොකරම බැරිය. ඔහු නිකන් තියෙන කඩුව වැනුවාට වැඩක් නැත. ඉස්සර රජවරු කඩුව පාවිච්චි කළේ යුද්ධවලටය. තම ආරක්ෂාවටය. ඉස්සර රජවරු කඩුව ඔහේ වැනුවේ නැත. හරියටම බලා නිලයටම පහර දුන්නේය. සිරිසේන මහතා කළ යුත්තේද එයයි. ඔහේ වැනුවොත් කැපෙන්නේ කෙහෙල් කොටන්, හබරල වැනි  ඒවාය. විශේෂ ප්‍රකාශ කළාට වැඩක් නැත. මුලින්ම වාර්තාව කියවා සංෂිප්තව නොව පැහැදිලි ලෙස වගකීමක් සහිත ප්‍රකාශයක් කළ යුතුය. එමෙන්ම 2008 – 2014 කාලයේ බැඳුම්කර නිකුතුව සම්බන්ධ‍යෙන් පූර්ණ පරීක්ෂණයක් රජයේ විගණකාධිපතිවරයා විසින් 2017 ජනවාරි 17 බාරදී ඇත. ඒ හිටපු මුදල් ඇමති මූල්‍ය පනතේ 43(2) අනුව 2016 අගෝස්තු 19 වැනිදා කළ ඉල්ලීම ප්‍රකාරවය. විශේෂ ප්‍රකාශවල 2008 -2014 කාලයන් ගැන හොයනවා කීවාට වැඩක් නැත. වාර්තාව තියෙන්නේත් ජනපතිවරයා ළඟය. ගිය දේ ගියාවේ කියා කළ යුත්තේ දැන්වත් හරියට වැඩ කිරීමය. බැඳුම්කර පාඩුව නියමිතව අයකර ගැනීම හා එයට නියමිත ක්‍රමවේදයක් සකස් කිරීමය. හොරු අල්ලනවා, පසුගිය රජයේ අය හොරු කිය කියා කෑ ගැහුවාට වැඩක් නැත. මිනිසුන්ට ඒවා අහලාම එපා වෙලාය. දැන් කරන්නට ඕනෑ රටට වැඩක් කිරීමය. රටට වැඩක් නොකර පසුගිය කාලයේ ගැන කතා කරකර ඉන්න ඇමති රොත්තට උපදෙස් දිය යුත්තේ හරි ආකාරයට ජනතාවට වැඩක් කරන ලෙසය. පළිගනිමින් ඉන්නවාට වඩා රටට වැඩක් කර පෙන්නා, ජනතාවට සහනදී යහපාලනය ඇති කිරීමට හැකි නම් ජනපතිවරයාට හා අගමැතිවරයාට මීට වඩා ජනතාව ආදරය කරනු ඇත. ජනතාව එවිට ඔබට කතිරය ගසනු ඇත. එදා ජෝන් කොතලාවලලා, ඩඩ්ලිලා, සිරිමාවෝලා, මහින්දලා, හිතාගෙන සිටියේ අපේ ආණ්ඩු වට්ටන්න බැරිය කියලාය. ආණ්ඩුව කොයි මොහොතේ හෝ පෙරළෙන්නට පුළුවන. වැටෙන්නට පුළුවන. කළ යුත්තේ ගිය වැරදි නිවැරදි කරගෙන නව ගමනක් යෑමය. කාගෙ කාගේත් කිල්ලොටවල හුණු ඇත. අනුන්ගේ කුණු නොසොයා ජනතාවාදී ගමනක් යෑමට හැකි නම් ආණ්ඩුවට සුබ වනු ඇත. 

නිපුන් ඒකනායක

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>