වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

'ඉත්ථි දුත්තෝ, සුරා දුත්තෝ, අක්ථ දුක්තෝච තෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං පරාභවතෝ මුඛං'  යනුවෙන් පරාභව සූත්‍රයේ ධර්ම පාඨයක් සඳහන් වේ. ඉන් කියවෙන්නේ යම් පුද්ගලයෙක් ස්ත්‍රියට, සුරාවට, සූදුවට ලොල්වේ නම් ඔහු පිරිහීමට ලක්වන බවයි. ඒ අයුරින් රටක නායකයෙකු හැසිරේ නම් එම රටේ සමාජයේ පරිහානිය ඇතිවීම  අනිවාර්ය බවද එම දේශනාවෙන් පෙන්වා දෙයි.

පරාභව සුත්‍රය හා රටක පරිහානිය පිළිබඳ සටහන් කරන ලද්දේ මත්කුඩු, කැසිනෝ, ගණිකා වෘත්තීය ගැන මේ දිනවල සමාජය හරි හරියට කතා කරන බැවිනි.දකුණු ආසියාවේ විශාල මත්කුඩු තොගය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගැනීමත් සඳහා අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ කඹ ඇදීමත් සමග සාමාජයේ ඇස් ඇරෙන්නට විය. ඒ සමග මත්කුඩු ජාවාරම්වල අලගිය තැන් මුලගිය තැන් සොයන්නට ආරක්ෂක අංශවලද වැඩි අවධානයක් යොමු වූ අතර, ඒ ගැන දිනෙන් දින අලුත් පුවත් මැවෙමින් පවතී.

පසුගියදා, පැවැති ගංගොඩවිල සෝමහිමියන්ගේ දසවැනි ගුණානුස්මරණ උත්සවයේ ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් අගමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමත් සමග මේ පිළිබඳ සමාජයේ අවධානය දෙගුණ තෙගුණ විය. එසේම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ කුඩු ව්‍යාපාරිකයන් සිටින බවට කළ ප්‍රකාශයත් සමග තවත් දිසාවකට කුඩු කතාව ඇදී ගියේය.

ඒ ගැන ප්‍රකාශයක් කරමින් ඕමල්පේ සෝභිත හිමියන් ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබුණේ මංගල සමරවීර මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව අදාළ නම් හෙළි නොකරන නිසා ඔහු අත්අඩංගුවට ගෙන අදාළ තොරතුරු ලබා ගන්නා ලෙසයි. ආරම්භයේ පෙන්වා දුන් පරිදි ධර්මයේ සඳහන් වන්නේ යම් රටක ධූර්ත භාවය ක්‍රියාත්මක වේ නම් ඒ රට පිරිහීමට ලක්වෙන බවයි. ඕනෑම ආයතනයකට, පවුලකට, සමාජ සංස්ථාවකටද එය අදාළ වෙයි. උපයන ලද සියලු සම්පත් පිරිහීමට ලක්වන බවත්, ඒ තුළින් විනාශය ළඟාවන බවත් ධර්මයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ රටේ මහජනතාවට අයත් රුපියල් කෝටි 3000 ක මුදලක් කිරිපිටි සඳහා පිරටට ඇදී යන බව පැවැසේ. එහෙත් මත්කුඩු ගෙන්වීම සඳහා එමෙන් දහ පහළොස් ගුණයක මුදලක් වියදම් කරන බව දැනට ගණන් බලා තිබේ. මේ සියල්ල මෙරට ජනයා විවිධ රැකියා කොට උපයාගත මුදල්ය. රටේ සංවර්ධනයට තිබෙන මුදල් මෙසේ පිටරටට ඇදී යද්දී රට අගාධයට යාමත්, පිටරටින් ණය ගන්නට වීමත් පුදුමවිය යුතු දේවල් නොවේ. බොහෝ විට මේ මුදල් පාකිස්තානය, ඇෆ්ගනිස්තානය වැනි රටවලට ඇදී යන බව සඳහන් වේ.

මුදල් අහිමිවීම පමණක් නොව සෞඛ්‍ය, සමාජ සාරධර්ම ඇතුළු සියල්ලම පිරිහෙන බව නොකියා බැරිය. අද මේ රටේ විශාල වශයෙන් ළමා අපචාර වාර්තා වන්නේ කුමන කරැණක් නිසාද?  පියාගෙන් දරුවා බේරාගන්න බැරි තත්ත්වයට සමාජය පත්වී තිබේ. පරිවාස කොමසාරිස්තුමිය  පසුගියදා ප්‍රකාශ කර තිබුණේ නිවස දරුවාට ආරක්ෂිත ස්ථානයක් නොවන බවයි. එසේ වූයේ ඇයි? මෙවැනි තත්ත්වයක් තුළ දරු පරම්පරාව ආරක්ෂා කර ගන්නේ කෙසේද?

'වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව' යනුවෙන් අපේ පැරණි කියමක් තිබේ. දැන් එය වෙනස් කිරීමට කාලය උදාවී තිබේ. තාත්තාගෙන්, සහෝදරයාගෙන් දියණිය, සහෝදරිය ආරක්ෂා කරගත නොහැකි නම් ඒ සමාජය කොතරම් අවාසනාවන්ත එකක්ද? අප සමාජයට චෝදනා පිට චෝදනා, විවේචන පිට විවේචන එල්ල වෙන්නේ දේශපාලඥයන්ගේ නොපහන් ක්‍රියාකරන නිසාය. සමාජයට දෙනු ලබන වැරදි ආදර්ශ නිසාය. වැරදි ක්‍රම මගින් මුදල් සෙවීමට උත්සාහ කිරීම එයට හේතු වී තිබේ.

අද වනවිට මතට තිත යන්න සම්පූර්ණ මුලාවක් බවට පත්ව තිබේ. සෑම දෙයකටම මත්පැන් අවශ්‍යය. කලින් තිබූ කසිප්පු ව්‍යාපාරවලට වඩා දැන් දැන් සුපිරි ගණයේ තැබෑරුම් පහළ වී ඇත. සුපිරි වෙළෙඳ සැල්වලට සීමා රහිතව තැබෑරුම් කරගෙන යෑමට අවසර ලැබී තිබේ. මේවා කරන්නේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු නොවේ. බලය, ධනය හිමි මාධ්‍ය හරහා සුදුවතින් සැරසී පෙනී සිටින, සාදු චරිත ලෙස සිටින පුද්ගලයන් බව ප්‍රසිද්ධ රහසකි.

මතට තිත නැමැති ප්‍රතිපත්තිය දැන් ක්‍රියාත්මක නොවන බව අගමැතිවරයා මෙන්ම බුද්ධ ශාසන ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් කටයුතු කරන ආකාරයෙන් පෙනී යයි. මේ ගැන අදහස් දක්වමින් ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් පැවසූයේ අගමැතිවරයාගේ පුත්‍රයා වන අනුරාධ ජයරත්න මහතා ඉකුත් මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී කුඩු ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා තිබූ බවයි.

මෙයට අමතරව මැතිවරණවලදී කෝටි ගණන් වියදම් කරන දේශපාලඥයන් පිළිබඳව සොයා බැලිය යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙති. සාමාන්‍ය මන්ත්‍රීවරුන් ලෙස හිඳිමින් මෙලෙස කෝටි ගණන් වියදම් කිරීමට ඔවුන්ට මුදල් ලැබෙන්නේ කුමන මාර්ගවලින්ද යන්න සෙවීම රජයට අයත් කාර්යක් බවද උන්වහන්සේ අවධාරණය කළහ.මේ ගැන මහජනයා විමසන්නේ පාර්ලිමේන්තුවේ සිටින කුඩු ව්‍යාපාරිකයන් කවුද යන්න ඉක්මනින් හෙළිදරවු කරන ලෙසයි.

මක්නිසාදයත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී කුඩුකාරයන් කවුද?, නොවෙන්නේ කවුද? යන්න හඳුනාගැනීම අවශ්‍ය බැවිනි. කථානායකතුමා ඉතා ඉක්මනින් මැදිහත් වී එම කටයුත්ත කරන්නේ නම් යහපත් බව ජනතාවගේ අදහසයි. 

ජාතික හෙළඋරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

“අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩලයට අයිති අයගෙන් කිසිදු තොරතුරක් මේ දක්වා ලබාගෙන නැහැ. ඒක බරපතළ අඩුවක්. ඔය සම්බන්ධීකරණ ලේකම්වරයා කියන්නේ කුඩු කන්ටේනරය නිදහස් කරන්න නොවෙයි. වෙනත් බඩුවගයක් නිදහස් කරන්න ලියුමක් දුන්න බවනේ. මේක ඉතාමත් කපටි, ප්‍රයෝගකාරී පිළිතුරක්. මම කුඩු කන්ටේනරයක් ගෙනාවා. ඒ හින්දා ඒක නිදහස් කරන්න කියන මෝඩයා කවුද? කොයි හොරාද කියන්නේ තමන් හොරකම් කළා කියා. වැඩේ ඔප්පු වෙනකම්ම හොරකම පිළිගන්නේ නැහැනෙ.

දැන් පාර්ලිමේන්තුවේ කුඩු ව්‍යාපාරිකයො ඉන්න බව ඔප්පු වෙලා තියෙනවා. මේක ඇත්ත කියලා අපි පිළිගන්නවා. ඒ මොකද වගකිව යුතු මන්ත්‍රීවරයෙක් කියපු නිසා කුඩුවලින් යැපෙන අය මේ උත්තරීතර ආයතනයේ ඉන්න බව ඒකෙන් පේනවා. මෙතනදී ප්‍රධාන වගකීම කථානායකවරයාට තියෙනවා. එතුමා මූලාසනය දරන මේ පුජනීය ස්ථානයේ ගෞරවය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක විය යුතුයි. එතැනදී මේක ඇතුළේ ඉන්න කුඩුකාරයෝ කවුද කියලා මංගල සමරවීර හරහා හෙළිදරව්කරගත යුතුයි.

එසේ නොවන්නේ නම් කථානායකවරයා ඇතුළු සියලු දෙනා කුඩුකාරයෝ බවට පත්වෙනවා. මේ නම් හෙළිදරව් නොකරන තාක්කල් ඒ චෝදනාව කථානායකවරයාට එල්ල කිරීමට සිදුවෙනවා. කථානායකවරයා සදාචර ගරුක අයෙක් නම් රටේ නීතියට ගරුකරනවා නම් වහාම මංගල සමරවීරට බලකිරීම අවශ්‍යයි. වහාම මේ නම් හෙළි කළේ නැත්නම් අපිට සේරම මේ වළේ වැටෙන බව කථානායකවරයා මංගල සමරවීරට කිය යුතුයි.

මෙතනදී කථානායකවරයා ෂේප් වෙලා තියෙනවා. මේක මග ඇරලා තියෙනවා. එතුමාට එහෙම කටයුතු කරන්න බැහැ. ඇයි මේ දක්වා වැරදිකාරයෝ හෙළිදරව් නොකරන්නෙ. මේ වේලාවේදී ජාත්‍යන්තරයෙන් අපිට ලොකු බලපෑමක් තියෙනවා මානව හිමිකම් කඩකිරීම්‘ ගැන.

කොළොම්බියාවේ, මෙක්සිකෝවේ වගේ රටවල කුඩු මාෆියාව ආණ්ඩුවට බලපෑම් කරනවා. ඒ මට්ටමට ලංකාවත් වැටිලා. ලංකාව කුඩු තිප්පොළක් වෙලා. කුඩුකාරයෝ පාලන බලයේ ඉන්න රටක් විදියට දැන් චෝදනා එල්ල වෙනවා. ජාත්‍යන්තරයෙන් අපිට තියෙන කුණු මදිවට තව අලුතින් ප්‍රශ්න එකතුවීමක් විතරයි වෙන්නෙ.

අපට මේ සම්බන්ධව ජනාධිපතිවරයාට පෞද්ගලිකව සාකච්ඡා කරන්න බැරිවුණා. නමුත් ඉන් එහා සියල්ලන්ටම කතා කළා. මෙතනදී කථානායකතුමා වගකීමක් කරන්න ඕන. කුඩුකාරයන් කවුරුන්ද යන වග අද ටිකෙන් ටික හෙළිදරව් වේගෙන එනවා."

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>