මෘදු මිනිස්සුන්ට චිත්‍රපට කරන්න අමාරු නිසයි මටත් චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න බැරිවුණේ

සුපිරි හොලිවුඩ් නළු මාලන් බ්‍රැන්ඩෝ විසින් රචනා කරන ලද ස්වයං චරිතාපදානය වන %Songs my mother taught me^ ඇසුරින් සම්මානනීය කැමරා අධ්‍යක්‍ෂ එම්.ඩී. මහින්දපාල සූරී විසින් කරන ලද පරිවර්තනයක් වන 'අම්මා මට කියා දුන් ගී' කෘතිය එළිදැක්වීම අද (05දා) සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදුකෙරේ. මීට සමගාමීව 'Talk to Me Marlon' නම් වාර්තා චිත්‍රපටයද මෙහිදී තිරගත කිරීමට නියමිත අතර, මේ එම පරිවර්තන කෘතිය පිළිබඳ සම්මානනීය කැමරා අධ්‍යක්‍ෂ එම්.ඩී. මහින්දපාල සූරීන් සමග කළ කතාබහකි.


my photo

Q ඇයි මෙවැනි කෘතියක් පරිවර්තනය කරන්න හිතුවේ

'මාලන් බ්‍රැන්ඩෝ^ අපි දන්නේ සුපිරි සිනමා නළුවෙක් විදියට. ඒත් ඔහුගේ චරිතාපදානය කියවාගෙන යද්දි ඔහුගේ චරිත අභ්‍යන්තරය, පෞද්ගලික ජීවිතය මට නිරාවරණය වෙන්න පටන් ගත්තා. මටත් ඒ නිසා ඒ ගැන කුහුලක් ඇති වුණා. හරියට නවකතාවක් වගේ. ඔහුට තමන්ගේ ජනප්‍රියත්වය නිසා විඳින්න සිදු වූ හිරිහැර ගැන මෙහි කියැවෙනවා. ඒ වගේම ඔහු තමන්ගේ ජනප්‍රියත්වය සමාජ සේවය වෙනුවෙන් භාවිත කරමින් රතු ඉන්දියන්වරුන්, කළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි ආකාරයත් මෙහි තියෙනවා. ඔහු සටන්වලට සහභාගි වුණා. අනෙක ඔහු තවත් කෙනෙකු විසින් නීතිරීති යොදා පාලනය කරනවාට අකමැති රැඩිකල් චරිතයක්. ඒ වගේම සුපිරි හාස්‍ය නළු චාලි චැප්ලින් ගැනත් මෙහි වෙනමම පරිච්ඡේදයක කියැවෙනවා. ඔහු මේ කෘතියේ ඔහු ඇසුරු කළ කාන්තාවන්, බිරින්දෑවරුන් ගැන කතා කිරීම ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු මෙහි සල්ලි කියන්නෙ මොකක්ද, ජනප්‍රියත්වය කියන්නේ මොකක්ද යන්න ගැන විශේෂයෙන් සඳහන් කරනවා. ඒ බව මෙම කෘතිය කියවන පාඨකයන්ට හොඳින්ම අවබෝධ වේවි. ඒ වගේම මටත් ජීවිතය පිළිබඳ අමුතුම අත්දැකීමක් මෙය පරිවර්තනය කිරීම හරහා ලැබුණා. 

මාලන් බ්‍රැන්ඩෝ මෙහිදී 'සිනමාව' යන්න කලාවක් නෙමෙයි කියලත් කියනවා නේද

ඔහු කියන්නෙ චිත්‍රපටයක රඟපානවා කියන්නේ කලාවක් නෙමෙයි කියලයි. ඔහුට එහෙම කියද්දි හිනා යනවාලු. මොකද අධ්‍යක්‍ෂවරයාගේ සිට සියලුම අය සිදු කරන්නේ නිෂ්පාදකවරයාගේ සාක්කු පුරවන එකලු. කඹුරන එකලු. එහෙමයි ඔහු කියන්නේ. ඒ නිසා ඔවුන්Brando book cover සියල්ලෝම වැඩකාර කූඹියෝ කියලයි ඔහු හුවා දක්වන්නෙ. අනික ඔහුත් කියන්නෙ සිනමාව කර්මාන්තයක් කියලයි. 

ඒ කියන්නේ හොඳ සිනමා කෘති බිහිවෙන්නේ නැද්ද ඔහු කියන ආකාරයට

ඔහු වෙනත් රටවල හොඳ චිත්‍රපට හැදෙනවා කියන විශ්වාසයේ ඉන්නවා. ඒත් ඇමෙරිකාව ඇතුළේ සිනමාව කියන්නෙ කලාවක් නෙමෙයි කියලයි ඔහු කියන්නෙ. මොකද හොලිවුඩ් සිනමාව රඳා පවතින්නේ මුදල මතලු. ඔහු ඒ නිසා ඒ කාලයේ තමන්ගේ ජනප්‍රියත්වය නිසා තමන්ගේ රඟපෑම වෙනුවෙන් වැඩිම මිලක් අය කළා. මං හිතන්නේ ඒ අය කිරීම ඒ කාලයේ මුදලින් ඩොලර් මිලියන දහයක්, පහළොවක් පමණ වුණා. අනික ආදායමින් සියයට 11ක පමණ මුදලකුත් ඔහු ඉල්ලා සිටියා. ඒ නිසා ඔහු කියන්නෙ තමන් මුදල් හින්දා මේ රැකියාව කළා මිසක් මීට වඩා හම්බ කළ හැකි වෙනත් රැකියාවක් ලැබුණා නම් රඟපෑමෙන් ඉවත් වෙනවා කියලයි. ඒ වගේම ඔහු නළුවෙක් නොවුණා නම්, ඉතා බිහිසුණු අපරාධකරුවෙකු වෙන්න තිබුණලු. එයත් ඔහු මෙහි සඳහන් කරලා තියෙනවා. මොකද ඔහු විධිමත් අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් නෙමෙයි. අහම්බෙන් තමයි නළුවෙක් වෙන්නේ. ඒක ඔහුගේ වාසනා ගුණය. අනික ඔහුගේ රූපණයට වඩා රූපයට තිබූ ආකර්ෂණය තමයි ඔහුගේ ජනප්‍රියත්වයට හේතු වෙලා තියෙන්නෙ.

ඔබ හිතන විදියට අද ලංකාවේ දක්‍ෂ සිනමා කැමරාකරණ පරපුරක් ඉන්නවාද

ඔව්. අනිවාර්යයෙන්ම. ගැටලුව තියෙන්නෙ ඔවුන්ගෙන් වැඩ ගැනීමට තරම් හොඳ චිත්‍රපට හැදෙනවාද කියන එකයි. එවැනි දක්‍ෂ අධ්‍යක්‍ෂවරුන් සිටිනවද කියන එකයි. අනික ශාස්ත්‍රාලීය වශයෙන් හොඳ අධ්‍යක්‍ෂවරුන් බිහි කරන්න වැඩි වැඩියෙන් මුදල් වියදම් කළ යුතුයි. ඒ මුදල් වියදම් කරන්න පුළුවන් ඉතා සුළු පිරිසකට පමණයි. ඒ පිරිසෙනුත් දක්‍ෂයන් සිටින්නේ ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි. අද බිහිවන චිත්‍රපටවලින් සියයට අනූවක්ම දෙපැත්තටම නැති නිර්මාණ වීමට මෙයත් හේතුවෙලා තියෙනවා. ඒ නිසා තමයි කිසිම ප්‍රදර්ශකයෙක් බාර ගැනීමට අකමැති චිත්‍රපට හැත්තෑවක් පමණ තාමත් චිත්‍රපට සංස්ථාවේ පවතින්නෙ. මොකද දැන් වෙද්දි අලුත් අදහස් තියෙන තිර රචකයන්ගේ සහ අධ්‍යක්‍ෂවරුන්ගේ බරපතළ හිඟයක් මතුවෙලා. අනික මේ කාර්යයන් දෙකම නිශ්චිතව උගන්වන්න ශාස්ත්‍රාලීය ක්‍රමයක් නැහැ. ඒක සහජයෙන් එන සතතාභ්‍යාසයෙන් ප්‍රගුණ කළ යුතු දක්‍ෂතාවක්.

හොඳ සිනමා කෘති කිරීම සඳහා පළමුව කළ යුතු වෙන්නෙ ඒ පිටපත් වෙනම මණ්ඩලයකට යොමු කිරීම නෙමෙයිද

ඒකත් ඒ තරම් සාර්ථක විසඳුමක් නෙමෙයි. මොකද පිටපත් මනින නිර්ණායක තීරණ වෙන්නේ මණ්ඩලවල සිටින අයගේ උගත්කම අනුව. අනික මණ්ඩල සභිකයන් නෙමෙයි සමස්ත රසිකත්වය නියෝජනය කරන්නේ. හොලිවුඩ් සිනමා සංස්කෘතිය තුළත් මේ තත්ත්වය මෙහෙමම තමයි. විශාල බලාපොරොත්තු තැබූ චිත්‍රපට අසාර්ථක වූ අවස්ථා ඕන තරම් තියෙනවා.

ඒ කියන්නෙ සිනමාව යන්නත් වාරණයට සුදුසු නැහැ

අනිවාර්යයෙන්ම. වර්ගීකරණය ඊට වඩා සුදුසුයි. අනෙක තුන්වැනි ලෝකයේ අපි වගේ දුප්පත් රටවල තමයි මෙවැනි වාරණ මණ්ඩල සංස්කෘතියක් පවතින්නෙ. හැබැයි නිර්මාණකරණයේ යෙදෙන්න ලබාදෙන නිදහස වල්බූරු නිදහසක් නොවෙන්න වගබලා ගන්න නිර්මාණකරුවන් දැනගත යුතුයි. මොකද පවතින වාරණ මණ්ඩල අවධානය යොමුකළ යුත්තේත් නිර්මාණකරුවාට කලාත්මක අපේක්‍ෂාවක් තියෙනවාද යන්න ගැනයි. 

ටෙලිනාට්‍ය කියලා කියන්නෙ රූපමය භාෂාවෙන් විප්ලවයක් කළ හැකි තැනක්ද

මෙතෙක් නොදුටුවිරූ අන්දමේ අපූර්වත්වයකින් යුතු නිර්මාණයක් කිරීම තමයි ටෙලිනාට්‍යයකින් ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තු වෙන්නෙ. ඒ නිසා තමයි අද %කූඹියෝ^ ටෙලිනාට්‍ය මිනිස්සු බලන්න පටන්ගෙන තියෙන්නෙ. කුහුල දනවන ආකර්ෂණීය ප්‍රස්තුතයක් කෙතරම් නව්‍ය ආකාරයකින් ඉදිරිපත් කරනවාද යන්නයි වඩා වැදගත් වෙන්නෙ. ඒ ජවය නිර්මාණය තුළ පැවැතිය යුතුයි.   

pic 3 

කැමරාකරුවෙකුට පහසුවෙන්ම අධ්‍යක්‍ෂවරයෙකු වෙන්න පුළුවන් යැයි මතයක් තියෙනවා නේද

එහෙම වූ අවස්ථා තියෙනවා. ඒත් එහෙම සම්මතයක් නැහැ. ඒ නිසා මම ඒ මතය විශ්වාස කරන්නේ නැහැ. මොකද කැමරාකරුවන්, අධ්‍යක්‍ෂවරුන් වුණු අවස්ථා අඩුයි. අනික අධ්‍යක්‍ෂණය කියන්නේ වෙනම දක්‍ෂතාවක්. හොඳ ජවයක් ඕන. ඒක හරියට හමුදා මෙහෙයුමක් කරනවා වගේ කටයුත්තක්. මොකද මෘදු මිනිස්සුන්ට චිත්‍රපට කරන්න අමාරුයි. ඒ නිසයි මටත් චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න බැරිවුණේ.

Q  හෙනම් දක්‍ෂ සිනමා කැමරා ශිල්පියෙක් වෙන්න සපුරාලිය යුතු සුදුසුකම් මොනවද

ඊට සම්මතයන් නැහැ. ශාස්ත්‍රාලීය වශයෙන් නිශ්චිත ක්‍රමයක් ලෙස උගන්වන්නෙත් චිරාත් කාලයක් පැවැති ක්‍රමය. වෙනත් විදියකින් කිව්වොත් හොලිවුඩ් ක්‍රමය. සුදුසුකම යන්න පුද්ගලයාට සාපේක්‍ෂයි. ඒත් චිත්‍ර ශිල්පියෙක්, නිශ්චල ඡායාරූප ශිල්පියෙක් හෝ තුන්වැනි ඇහැකින් යමක් දැකිය හැකි කෙනෙක් කැමරාකරණයට පිවිසීම වඩාත් සාර්ථකයි. විශේෂයෙන් හොඳ පැවැත්මක් තියෙන කෙනෙක්, ජවයක් තියෙන කෙනෙක් තමයි මේ කාර්ය සඳහා පිවිසිය යුත්තෙ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>