මනුෂ්‍යයා සහ වෙබ්

1989 මාර්තු මස 12 වැනිදා ටිම් බර්නර්ස්-ලී නම් තරුණයෙකු සිය ආයතනික ප්‍රධානියාට යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළේය. එම යෝජනා පත්‍රයේ නම සඳහන් වූයේ 'තොරතුරු කළමනාකරණය : යෝජනා පත්‍රයක් (Information Management: A Proposal)' ලෙසිනි. මේ සතිය වන විට එම යෝජනා පත්‍රය ඉදිරිපත්ව හරියටම අවුරුදු 29ක් ගෙවී ගොසිනි. මෙම යෝජනා පත්‍රය විසින් මේ ලෝකය ඔළුවෙන් සිට වූ ආකාරය විස්මය ජනකය. 

මෙම යෝජනා පත්‍රය කිය වූ ටිම් බර්නර්ස්-ලීගේ ප්‍රධානියා වූ මයික් සෙන්ඩල් පැවසුවේ යෝජනාව යම් උමතුභාවයකින් යුක්ත වූවක් වුවත් සිත්ගන්නා සුලු බවය. කෙසේ වෙතත් එය ක්‍රියාවට නැංවිණි. එහි ප්‍රතිඵලයක් වූයේ අද මුළු ලෝකයම දන්නා ලෝක ව්‍යාප්ත වෙබ් ජාලය පිළිසිඳ ගැනීමය. ජෝන් ටිම්පේන් නම් විචාරකයා පවසන්නේ අද වන විට වෙබ් ජාලය නූතන ලෝකයේ ශිව දෙවියන් (modern-day Shiva) වී ඇති බවයි. 

එනම්, විනාශයද, නිර්මාණයද යන දෙකම සිදු කළ හැකි දේ බවට වෙබ් ජාලය පත්ව ඇත. 
වෙබ් ජාලය විසින් මනුෂ්‍ය ලෝකයට කර ඇති විශාලතම වෙනස නම් මිනිසුන් අධික බහුකාර්යය (Multitasking) ජීවින් කොටසක් බවට පත්කිරීමය. එය සාමාන්‍ය මිනිසුන් සතුව පැවැති බලය වර්ධනය වීම තවත් ප්‍රතිඵලයකි. තනි මිනිසෙකුට සමාජය තුළ ප්‍රවණතා නිර්මාණය කිරීමටත්, මතවාද වෙනස් කිරීමටත් ඇති හැකියාව වෙබ් ජාලයේ ව්‍යාප්තිය නිසා බෙහෙවින් ඉහළ ගියේය. 

මිනිසුන් නිදාගන්නා කාලයද විශාල වශයෙන් අඩු කිරීමට වෙබ් ව්‍යාප්තිය නිසා සිදුව ඇති බව පර්යේෂණ මගින් පෙනී ගොස් තිබේ. බොහෝ භාෂාවන් විනාශවී යෑමටද වෙබ් ලෝකය වර්ධනය වීම ඉවහල් වනු ඇති බව ඇතැම් විශේෂඥයන්ගේ අදහසයි. 7700කට වැඩි ලෝකයේ ඇති භාෂාවලින් සියයට 05ක් පමණක් අන්තර්ජාලයට ඇතුළත්ව තිබේ. අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමග බොහෝ භාෂාවන් භාවිතයෙන් ඉවත්ව යනු ඇත. සුළු පිරිසක් භාවිත කරන භාෂාවලින් සාතිශය බහුතරයක් තවත් අවුරුදු සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අභාවයට යනු ඇතැයි විශ්වාස කෙරේ. 

වෙබ් ව්‍යාප්තියත් සමගින් බොහෝ විශ්වකෝෂයන්හි මුද්‍රිත පිටපත් අභාවයට ගියේය. කීර්තිමත් බ්‍රිටනිකා විශ්වකෝෂය 2011 වසරේදී මුද්‍රණය කිරීම අත්හිටුවනු ලැබීය.

වෙබ් ජාලයේ ව්‍යාප්තියත් සමගින් වෙළෙඳාමේ විශාල පොළාපැනීමක් සිදුව ඇත. බොහෝ දේ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමටද, විකිණීමටද හැකියාව තිබේ. විද්‍යුත් වාණිජ්‍යයත් සමගින් සියලුම පැරණි ව්‍යාපාරික මොඩලයන් මේ වන විට වෙනස් වෙමින් පවතී.  2020 වසරේදී වන විට ලෝකය පුරා වෙබ් මගින් සිදු වන සිල්ලර වෙළෙඳාම පමණක් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.1 ඉක්ම වනු ඇතැයි විශ්වාස කෙරේ. ජංගම දුරකථනය භාවිත කරමින් (m-commerce) සිදු කෙරෙන වෙළෙඳාමද ලබන වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 700ට ආසන්න වනු ඇත. 

වෙබ් ජාලයේ ව්‍යාප්තිය විසින් මිනිස් ජීවිතයේ වෙනස් කරනු ලැබූ පැතිකඩ කිහිපයක් පමණක් මෙම ලිපියෙන් අවධානය යොමු කෙරිණි. අනාගතයේදී මනුෂ්‍ය ජීවිතයද, වෙබ් ජාලයද එකිනෙකින් කිසිවිටෙකත් වෙන්කළ නොහැකි වනු ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>