‘බැඳිල්ල’

Yasage

බැඳිල්ල කියූ විට එකවරම මතක් වෙන්නේ කසාද බැඳිල්ලය. කසාද බැඳිල්ලට පෙර කරන්නේ පෙම් බැඳිල්ලය. පෙම් බඳින්ගේ නැතිව කසාද බැඳිල්ල කරන අයද ඉන්නවාය. කොයි විදියට බැන්දත් කරදරයක් නැතුව පවුල් කන්න පුළුවන් නම් හොඳය. ඒත් යම්තම් කරදඬු උස්වෙන කොටම කසාද බඳින කොල්ලන්, කෙල්ලන් පවුලේ ප්‍රශ්න ඇතිවෙන කොට දඟලන්නේ බැඳිල්ල ලිහා ගන්නටය. එහෙම බැඳිල්ල ලිහා ගන්න එක බඳිනවා තරම් ලෙහෙසි නැත. බැඳිල්ල ලිහා ගන්නට නම්, උසාවි ගාණේ රස්තියාදු වෙන්න ඕනෑය.

පත්තු බැඳිල්ල කරන්නේ අතපය කැඩුණාමය. වෙද මහත්තයා රෝගියාට පත්තු බඳින්නේ කැඩුණු ස්ථාන සවිවන්නටය. ටික කලක්  පත්තු බැඳලා ඊළඟට තෙල් බඳිනවාය. තුවාලවලට නම් කරන්නේ බෙහෙත් බැඳිල්ලය. තුවාලවලට බෙහෙත් බැඳලා සනීප කර ගත්තට හිත් කැඩුණා නම්, බෙහෙත් බැඳිල්ලෙන් සනීප කරගන්න බැරිය. සමහර අය අත්බැඳගෙන බලාගෙන ඉන්නේ කරන්න දෙයක් නැතිකමටය. එහෙම අත්බැඳගෙන ඉන්න අය නිසා රට අමාරුවේය.

ඇස් බැඳිල්ල කරන්නේ අවුරුදු උත්සවවල අලියාට ඇස් තබන විටය. පුංචි දරුවන් ඉස්සර හැංගිමුත්තන් සෙල්ලම කළේද ඇස් බැඳගෙනය. ඒත් අද අපේ සමහර අයගේ ඇස් ඇරලා තිබුණත් වැඩ කරන්නේ ඇස් බැඳගෙන සිටින විදියටය. අතපය දෙකම බැඳිල්ල කරන්නේ පිස්සන්ගේය. ඒ අය හසුරුවා ගන්න බැරි වූ විට අතපය බැඳලා දමනවාය.

කෙස් බැඳිල්ල ඉස්සර නම් කළේ බවලත් උදවියයි. ඒත් අද වනවිට තරුණියන් කෙස් කපන අතර, තරුණයන් කෙස් බැඳිල්ල පටන් අරගෙන තියෙනවාය. දත් බැඳිල්ල කරන්නේ දත් දොස්තරය. දත් ඇඳි දෙකම බැන්දාට පසු නාකි ආච්චිලාද තිරිහන් වෙලා පෙනෙනවාය.

නඩුකාර උන්නාන්සේ වැරදිකරුවන්ගේ ඇඟ බඳිනවාය. ඇඟ බැන්ද අයට ඇත්තටම ඇඟ බැඳලා නැති වුණත් තමන්ට ඕනෑ හැටියට නටන්න බැරිය. ඇප බඳින්න වෙන්නේ සැකකරුවන් වී උසාවි ගියාමය. කට්ටඩි උන්නැහේද ආතුරයන්ට ඇප නූල් බඳිනවාය. එහෙම බැඳපු ඇපනූල් කඩන්න ලොකු තොවිලයක් කරන්න වෙනවාය. පිරිත් නූල් බැඳිල්ල කරන්නේ හාමුදුරුවෝ වුණත් දේවාලයේ කපුරාල කරන්නේ කප්පොටවල් බැඳිල්ලය. මේ හැම බැඳිල්ලක්ම කරන්නේ රෝගවලින් මිදෙන්නටය.

ලෝකයා කරන්නේ සල්ලි මිටි බැඳිල්ලය. මෙහෙම බැන්ද මිටි බැංකුවේ තැන්පත් කරනවාය. දුප්පතා දර මිටි බඳින්නේ විකුණලා බඩගෝස්තරේ හදාගන්නටය. වෙස් බැඳිල්ල කරන්නේ නටන්න ඉස්සෙල්ලාය. නමෝවිත්තියෙන් හිස්වෙස් බැඳිල්ල මංගල්‍යයක් ලෙස ගන්නවාය. %හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේය^ කියා කතාවක් තියෙනවාය. හිසේ රෙද්දක් බැඳිල්ලට කියන්නේ ජටා බැඳිල්ල කියලාය. ගොවියා හිසේ ජටා බඳිනවාට කියන්නේ කඩවැස්ම බඳිනවා කියලාය. සමහර කෑම වර්ග හදන්නේ බැන්ද කඩවැස්ම මත තබලාය. හේනේ පැල් රකින්න ගිය ගමරාළට කුරක්කන් පිට්ටුව තම්බන්න මුට්ටියේ කට බඳින්න කඩවැස්මක් නැතුව අමුඩ කෙටියෙන් කට බැඳලා මහා ජංජාලයක් වුණේ හේනට ආපු ඌරෙක් එළවන්න ලිප ළඟින් නැගිට්ට විටය. ඒ හින්දා බැන්දට පස්සේ තමන් කරන්නේ මොනවාද කියා කල්පනාවෙන් ඉන්න ඕනෑය.

වතුර බැඳිල්ල කළේ කුඹුරටය. කුඹුරේ බැන්ද වක්කඩ කඩලා ගොයම් පැළවලට වතුර ගන්නවාය. බැන්ද වැව් බැම්ම කැඩෙන්නේ වතුර වැඩි වූ විටය. සොරොව් සවිකර ඇත්තේ බැන්ද වැව් බැම්ම නොකැඩෙන්නටය. 
පොත් බැඳිල්ල කරන්නේ ඒවා වැඩිකල් ආරක්ෂා කර ගන්නටය. ෆයිල් බැඳිල්ල කරන්නේ කන්තෝරුවලය. පත්තර බැඳිල්ල පත්තර කන්තෝරුවල කරන දෙයක්ය. ලිපි බැඳිල්ල කරන්නේ තැපැල් පියුං මහත්තයාය. එයා බැන්ද ඡන්දකාඩ් මිටි පසුගිය දවස්වල ළිංවල තිබිලා හමුවුණාය.

වත්ත වටේ බඳින්නේ වැටවල්ය. එහෙම වැටවල් බඳින්නේ සතුන්ගෙන් ආරක්‍ෂා කරගන්නටය. රට වටේම වැට බැන්දත් කට වටේටම වැට බඳින්න බැහැය කියනවාය. ගස්වල ගොක්කොළ බඳින්නේ ඒවා දෙවියන්ට වෙන් කිරීමටය. රොකඩ බඳින්නේ පලතුරු ගස් වවුලන්ගෙන් ආරක්‍ෂා කර ගන්නටය. ගස්වල ඵල නැතිව වවුලන් එන්නේ නැති හින්දා රොකඩ බඳින්න ඕනෑ නැත්තේය.

වැටෙන්න ආසන්න ගස් බැඳලා ආරක්ෂාව සලසන අය ඉන්නවාය. හරක් බඳින්නේ ගස්වලය. එහෙම බඳින්නේ කඹයක් දමලාය. ඉස්සර දඩබ්බර කොල්ලන්ව ගස්වල බැඳලා දිමිගොටු දමලා දඬුවම් කරනවාය. පසුගිය ආණ්ඩුව කාලයේ එක් දේශපාලුවෙක් රජයේ සේවකයෙක් ගස් බැඳලා වීරයෙක් වෙන්න දැඟළුවාය. අමාරුවේ වැටෙන්න යනවිට ඒ මනුස්සයා ලවා ගස් බැන්දා නොව තමාම ගස් බැඳගත්තේ යැයි කියවන්න ඒ කපටි දේශපාලුවන්ට හැකිවිය. ඒත් මෙහෙම දේශපාලුවන් ඔක්කොටම ඉස්සර ගස් බැඳිල්ල ඡන්දපාලලාගේ යුතුකමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>