බසක කඳුළු

භාෂාවක් යනු ජීවිතයක් ඇති යමකි. භාෂාවක් මැරුණු කල එය මළ භාෂාවකැයි කියැවේ. ජීවත් වන කල එය සජීවී භාෂාවකි. භාෂාවද අනෙකුත් සියලු ප්‍රපංචයන් මෙන් නිරන්තරයෙන් වෙනස් වීමටත්, පරිණාමයටත් පත්වෙයි. බසක පරිණාමය කිසිලෙසකින්වත් බලහත්කාරයෙන් වැළැක්වීමට නොහැකිය. 

ලොව මළ බස් බොහෝ තිබේ. සම්භාව්‍ය සංස්කෘත එවැනි බසකි. සම්භාව්‍ය පාලි ද එසේය. කැටලන්, අයිස්ලැන්ඩික්, මායා, ටුපි, මපුචේ, අසෙරි, සුමේරියන්, ලතින්, මැන්ඩියැක් ආදී සම්භාව්‍ය භාෂා රැසක් අද පවතින්නේ මළ භාෂා වශයෙනි. 
බසක් මිය යෑමට හේතු ගණනාවක් බලපායි. පළමු වැනි හේතුව නම් එම බස භාවිත කරන්නට කිසිවෙකුත් නොමැති වීමය. 'යුචි' නම් භාෂාව කතා කළ අවසාන සොයුරින් දෙදෙනාගෙන් කෙනෙකු මෑතක දී මෙක්සිකෝවේදී මිය ගියාය. බලවත් සංස්කෘතියකට යටත් වීම සහ එහි භාෂාව වැලඳ ගැනීම වැනි හේතු නිසා ඇතැම් ජන කොටස් අතරින් ස්වදේශික භාෂා අහිමි වී යයි. 

ඇතැම් භාෂා ඉගෙන ගැනීමෙන් වැඩි ආර්ථික වාසි ලබා ගැනීමට සහ වාසිදායක සමාජ ක්‍රමයක් සමග එක්වීමට ඇති හැකියාව නිසාද, මිනිස්සු ස්වදේශික භාෂා අත්හරිති. ලෝකයේ මේ වන විට භාෂාවන් 6,900ක් පමණ කතා කෙරෙන අතර, ඒවායෙන් හරි අඩකටත් වැඩි සංඛ්‍යාවක් මිය යෑමේ තර්ජනයට මුහුණ පා සිටියි. එසේ තර්ජනයට ලක්ව ඇති භාෂා මේ වන විට අනාගත පරපුරු වෙත ඉගැන්වෙන්නේ නැත. එම භාෂා දන්නා පැරැන්නන් මිය යෑමෙන් පසු ස්වභාවික මරණයකට ලක්වනු ඇත.
ඇතැම් අවස්ථාවලදී ඉතා කෙටි කලක් තුළ භාෂාවක් නැති වී යා හැකිය. උදාහරණයක් ලෙස 1932 වසරේදී එල් සැල්වදෝරයේ ඇති වූ ජන නැගිටීම්වලදී ලෙන්කා සහ කැකඔපෙරා ජන කොටස් සිය භාෂාවන් අත්හැරියේ ඝාතනයට ලක්වීමේ තර්ජනයෙන් මිදීමටය. ඔවුන් කතා කළ බස අනුව හඳුනාගෙන මිනිසුන් සමූල වශයෙන් ඝාතනය කිරීම එවක එල් සැල්වදෝරයේ සිදුවිණ. 

ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාප්තිය නිසා උතුරු ඇමෙරිකාවේ ස්වදේශික භාෂා 54ක් මිය යෑමේ තර්ජනයට මුහුණ පා සිටියි. සිලෙට්ස් ඩී නී නම් භාෂාව කතා කරන එක් පුද්ගලයෙකු පමණක් උතුරු ඇමෙරිකාවේ මේ වන විට ජීවත් වෙයි. 
ඇන්ඩීන් කඳු වැටියේත්, ඇමසන් වනාන්තරයේත් ජනතාව කතා කළ භාෂා 113ක් පමණ මේ වන විට මිය යමින් පවතී. එම ජනතාව ස්පාඤ්ඤ, පෘතුගීසි ආදී භාෂාවන්ට යොමු වෙමින් තිබෙන බව වාග්විද්‍යාඥයෝ පවසති. 

භාෂාවේ ඇති වන පොළාපැනීම් (Language shift) භාෂාවක මිය යෑමට හේතුවක් වන අවස්ථා ඇත. එක් භාෂාවකට පවතින සමාජ තත්ත්වය පහතට වැටීම නිසා මෙවැනි පොළාපැනීම් සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස සිංහල හෝ දෙමළ බස ඉගෙන ගැනීමට වඩා ඉංග්‍රීසි බස ඉගෙන ගැනීම ඉහළ සමාජ තත්ත්වයක් ඇතිකර ගැනීමට හේතුවක් ලෙස සමාජය තුළ ස්ථුට වුවහොත් දීර්ඝ කලක් යන විට බොහෝ දෙනෙකු ඉහළ සමාජ තත්ත්වයක් ලැබෙන භාෂාව ඉගෙන ගැනීම සඳහා යොමු වනු ඇත.

දර්ශන අශෝක කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>