පැපොල රෝගය දෙයියන්ගේ ලෙඩක් ද ?

අතීතයේ සිටම ඇතමුන් සමහර බෝවන වසංගත රෝග, දෙවියන්ගේ ලෙඩ යැයි හඳුන්වන්නට හුරු පුරුදුව සිටියහ. ඇතමුන් මෙවන් බෝවන රෝගයක් පවුලේ කෙනෙකුට වැලඳුන විට දෙවියන්ට බාර හාරවීම මෙන්ම ඇතැම්  ගුප්ත විද්‍යාවන් පසුබිම් කරගත් පිළියම් යෙදූහ. මෑත කාලයේ සරම්ප ආදී රෝග අප රටේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන අනුව යම් මර්දනයක් ඇතිවී තිබෙතත් අප තවමත් පැපොල රෝගය සහ කම්මුල්ගාය යන තත්ත්ව සම්බන්ධයෙන් විටෙන් විට ආරංචි ලබමු.

 කෙනෙකුගෙන් කෙනෙකුට බෝවන නැතිනම් පැතිර යන මේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් පවතින විද්‍යාත්මක පසුබිම තුළ ඔබේ දැනුමට එක් විය යුතු කරුණු රැසක්ම පවතින බැවින් මෙවන් කාලගුණික විපර්යාස හා පාරිසරික ගැටලු  පවතින සමයක ,පැතිරයාමට ඉඩක් ඇති බෝවන රෝග සම්බන්ධයෙන් ඔබේ දැනුවත්භාවය ඇතිකරන්නට අප අදහස් කළෙමු. අද අප ඔබට පවසන්නේ පැපොල රෝගය සම්බන්ධ සියල්ලයි


642x361_Chickenpox

පැපොල රෝගය යනු ඉතාම ඉක්මණින් පැතිරයාමේ හැකියාවක් දක්වන රෝගයකි. කිසියම් අයෙකුට යම් රෝගයක් ඇති වූ විට ඒ සඳහා වෛද්‍යවරයෙකු වෙත යාම සිරිතක් වුවත් මෙවන් රෝගයක් බව දැනගත් වහාම රෝගියා නිවසේ  අන් අයගෙන් වෙන්කර සුළං නොවදින තැනක තබන්නට පැරණි අය උත්සහ කළේ අන් අයට මෙම රෝගය බෝ වීමෙන් වළක්වා ගන්නටය. සාමාන්‍යයෙන් පැපොල රෝගයේදීද මූලික ලක්ෂණය වනුයේ අනෙක් බොහෝ රෝගවලදී මෙන් උණ ඇතිවීමයි.

මද උණක් සමග ඇඟපතට තෙහෙට්ටුගතියක් මතුකරමින් මලානිකබවක් ඇතිකිරීම මෙහි ලක්ෂණ අතරින් එකක් වන අතර අනතුරුව මුහුණේ සහ හිසේ කැසීමක් ඇතිකරන දිය බුබුලු මතුවීමට පුලුවන. මෙම බුබුලු සාමාන්‍යයෙන් ශරීරයේ පිටතට පෙනෙන ප්‍රදේශයන්වලට වඩා ඇඳුම්වලින් ආවරණය වන ප්‍රදේශවල බහුලව ඇතිවෙයි.  මෙවන් බිබිලි සමෙන් පිටට මතුවන විට මුඛයේ ආස්තරණයෙහිත් ශ්වසන මාර්ගයේ  ඉහළ කොටසේත්  ඇස්වලත් හටගැනීමට  පුලුවන. 

පැපොල රෝගය මතුවන්නේ කෙසේදැයි අප දැන් මදක් විමසා සිටිමු. මෙය අප කළින් සඳහන් කළාක් මෙන් දෙවියන්ගේ රෝගයක් යැයි අපට පැවසීමට නොහැකිවනුයේ මේ රෝගයට හේතුව  වෛරසයක් යැයි විද්‍යාත්මකව තහවුරුකර ඇති හෙයිනි. මෙම රෝගය බෝ කරන වෛරසය හියුමන් හර්පීස් වෛරස්  , වැරිසෙල්ලා සොස්ටර් වෛරස් යන හර්පීස් පවුලේ වෛරසයකි. මෙම රෝගය සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර බහුලව දැකිය හැකි රෝග තත්ත්වයකි. එමෙන්ම දරුවන්ට ඇති වූ විට එයින් ජීවිත තර්ජනයක් ඇති නොවන නමුත් වැඩිහිටියන්ට හා අලුත උපන් කුඩා දරුවන්ට වැලඳුන විට භයානක ප්‍රතිඵල ඇතිකිරීමේ හැකියාවක් ඇත. 

නමුත් පැපොල රෝගයේ සංකූලතා සමහර අවස්ථාවලදී ඉතා කලාතුරකින් නමුත් ඇති විය හැකිය.  එසේ කලාතුරකින් ඇතිවෙන සංකූලතා ඉතා දරුණු විය හැකිබවද මතක තබාගන්න.  විශේෂයෙන්ම නියුමෝනියාව  සමෙහි ඇතිවෙන ද්විතීයික ආසාදන  සෙප්ටිසීමියා තත්ත්වය සහ මොළේ උණ දිගුකාලීන ප්‍රතිඵල මෙන්ම මරණයද ගෙන දිය හැකි සංකූලතා ලෙස හැඳින්විය හැකිය. ද්වීතීයික බැක්ටීරියා ආසාදන හේතුවෙන් සමෙහි විරූපී කැළැල් ඇතිවිය හැකිය.

නෙමේරූ දරු උපත් සහ සංජානීය වැරිසෙල්ලා සහලක්ෂණය  මෙම රෝගී තත්ත්වය ගර්භිණී සමයේ හටගැනීමෙන් මතු විය හැකි සංකූලතා වෙයි.  අප කළින් කුඩා දරුවන්ට ඇතිවන පැපොල රෝගයේදී එතරම් භයානක අවස්ථා නොපවතින බව සඳහන් කළා ඔබට මතක ඇති.  නමුත් සමහර අවස්ථාවන්වලදී මෙවන් සංකූලතා ඇතිවිය හැකි බව මෙහි පහත අප දක්වන කරුණු සමග සිහිතබාගන්න.
පැපොල රෝගය ආසාදනය වූ ගර්භිණී මවකගේ කුසයෙහි වැඩෙන නොමේරූ දරුවන්. වයස මාස හයට අඩු දරුවන්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්. 

පිළිකා සහ  අවයව බද්ධ කළ හෝ H I V ආසාදිතයින් එසේ ප්‍රතිශක්තිය හීන වූවන් විය හැකිය. වැඩිහිටි අවදියේදී පැපොල රෝගය ආසාදනය වූවන්.  පැපොල වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව එම වෛරස ස්නායු පද්ධති යේ නිද්‍රාගතව පැවතීම හේතුවෙන්  10 -20% ත් අතර ප්‍රමාණයකගේ නැවත ක්‍රියාත්මකවීම නිසා හර්පීස් සොස්ටර් සෑදිය හැකිය.

shutterstock_chickenpox_virus

මෙම රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ විය හැකි රෝගයක් බැවින් පවුලේ එක් අයෙකුට වැලඳුන විට අනෙක් අයටද සංක්‍රමණයවීමේ ඉඩකඩක් පවතී.   එසේ සිදුවන්නේ රෝගියාගේ කැස්සේදී හෝ කිවිසීමේදි විසිරෙන ශ්‍රාවයන් සහිත බිඳිති මගින් වෛරසය මුදාහැරෙන බැවිණි. එසේම දියර පිරුණු බිබිලිවලින්  වැගිරෙන ශ්‍රාවයන්ද  ආසාදිත පුද්ගලයන්ගේ ශ්ලේෂ්මල ආස්තරණයන්ගෙන්  දූෂිත වූ ද්‍රව්‍යයන්ගෙන්ද මෙම රෝගය පැතිරීමට අවස්ථාවක් පවතී.

යම් අයුරකින් රෝගියෙකුගෙන් මෙසේ පිටවන වෛරසයන් නිරෝගී අයෙකුට ආසාදනය වුවහොත් රෝග ලක්ෂණ මතුකිරීමට ගන්නා කාලය කෙබඳු දැයි දැන් විමසා බලමු.  මෙය සති 2 ක් 3 ක් අතර කාලයක් වන අතර යම් අයෙකු පැපොල ආසාදිතයෙකුට නිරාවරණයවීමෙන් සති දෙකකට හෝ තුනකට පසු රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගනී. නිවසේ සාමාජිකයන් අතර ද්විතීයිකව  ආසාදනය වීමේ නැඹුරුතාව  සියයට අනූවක් වැනි ඉහළ අගයක පවතී.

යම් ආසාදිත පුද්ගලයෙකුට බිබිලි මතුවීමට ප්‍රථම දින 1 – 2 ක සිට බිබිලි වියළී කබොල්ලා සෑදීම දක්වා කාලය තුළ  (එනම් සාමාන්‍යයෙන් කබොල්ලා නොපෙනී යාමට දින 7-10 ක් අතර කාලයක් ගතවෙන බව ඔබ දන්නා කාරණයකි.) අනෙක් අයෙකුට රෝගය ව්‍යාප්ත කළ හැකිය.  මෙම රෝගය ස්වභාවිකවම ජීවිත කාලයට වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ලබාදෙයි.  එහෙයින් වරක් පැපොල රෝගය වැලඳුන පසු නැවත වතාවක් එම පුද්ගලයන්ට පැපොල රෝගය වැලඳෙන්නේ නැතිබව ඔබ අසා ඇති. අලුත උපන් බිළිඳුන් ප්‍රතිශක්තිය සහිත මවුවරුන්ගෙන් අක්‍රියව සම්ප්‍රේෂණය වෙන ප්‍රතිදේහ තුළින් පළමු මාස කීපය තුළදී රැකවරණයක් ලබයි.

 යම් අයෙකුට පැපොල රෝගය වැලඳුනහොත් නිවසේ සිට කුමක් කළ යුතුද යන්න පිළිබව දැන් අප යම් දැනුම්වත් බවක් ලබාගමු.  ආසාදිත පුද්ගලයන්ගේ නියපොතු කොටට කැපීමෙන් දි බුබුලු කැසීම නිසා ඇතිවිය හැකි ද්විතීයික ආසාදන මගහරවා ගත හැකිය. කැසීම අඩුකිරීමට මෙලමයින් ක්‍රීම් ආලේපනය යම් ප්‍රමාණයකට උපකාරී වෙයි. 

උණ ගතිය සහ ඇස්ප්‍රීන් සහ ඇස්ප්‍රීන්  අඩංගුවන ද්‍රව්‍යයන් භාවිතය නුසුදුසු බව මතක තබාගන්න. පැපොල රෝගය වැලඳුන දරුවන්ට ඇස්ප්‍රීන් භාවිතය නිසා  Rayes syndrome ඇතිවීමට ඉඩ ඇති බැවින් පැරසිටමෝල් වැනි ඇස්ප්‍රීන් නොවෙන බෙහෙත් වර්ග භාවිත කිරීම සුදුසු වේ. පැපොල රෝගය පාලනයට (Acyclovir ) එසයික්ලෝවයර්, නම් වූ ප්‍රති වෛරස් ඖෂධය  බහුලව භාවිත වේ. එමගින් රෝග ලක්ෂණයන්හි දරුණු කම මෙන්ම ඒවා පවතින කාල පරාසයද  අඩුකරගත හැකි බව පෙන්වා දී ඇත.

Capture

යම් අයුරකින් නිවසේ එවන් රෝගියෙකු වෙත්නම් අන් අයට රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා ගත හැකි පියවර කුමක්දැයි අප දැන් විමසා බලමු. යම් කෙනෙකුට රෝගයට නිරාවරණය වීමට පෙර ලබාදිය හැකි අඩපණ කළ එන්නතක් දැනට භාවිතයේ පවතී. එහිදී පැපොල රෝගය නොවැලඳුන මාස දොළහා සිට අවුරුදු දොළහා දක්වා දරුවන්ට මිලි ලීටර් 0.5 එක් මාත්‍රාවක් අධශ්චර්මීයව ලබාදීම කළ හැක.  එක් එන්තත් වේලක් පමණක් ලබාදීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය වසර 10 න් පවතී. 

අවුරුදු 13 ට වැඩි ළමුන් සහ වැඩිහිටියන් සඳහා මි ලි 0.5 ක පළමු මාත්‍රාවට අමතරව සති 4-8 ක කාලයකට පසු දෙවන මාත්‍රාවත් ලබාදිය හැකිය.  රෝගයට නිරාවරණය වූ පසු බෝවීම වැළැක්වීම දුෂ්කර කාර්යකි.  නමුත් නිරාවරණය වීමෙන් දින තුනක් ඇතුළතදී  වැරිසෙල්ලා සොස්ටර් ප්‍රතිදේහ එන්නත් කිරීම තුලින් ප්‍රතිශක්තිය නොමැති පුද්ගලයන්ට තාවකාලික රැකවරණයක් ලබාදිය හැකිය. එමගින් සමීප ඇසුරේ පවතින අයගෙන් රෝගය පැතිරීම අඩු කිරීම හෝ වැළැක්වීම කළ හැකිය.  නොමේරූ ළදරුවන්ට ප්‍රතිශක්තිය හීන පුද්ගලයන් සහ ගර්භිණී මවුවරුන්ට  මෙලෙස ප්‍රතිදේහ අවශ්‍යවීමට පුලුවන.

පැපොල රෝගයට ගොදුරු නොවූ ඕනෑම වයස්ගත පුද්ගලයෙකුට රෝගයට නිරාවරණයවීමෙන් දින 3-5 ක් ඇතුළත එන්නත ලබාගැනීමෙන් සමීප ඇසුරේ සිටින අයගේ රෝගයේ ප්‍රභලතාවය අඩුකිරීම හෝ වළක්වා ගැනීම කළ හැකිය.මේ හැරෙන්නට පැපොල රෝගයේ ආසාදිතයන් බුබුලුවලින් කබොලු මතුවන තුරු අන් අයගෙන් වෙන් කළ යුතුය .ඔවුන් පාසල් රැකියා ස්ථාන සහ අනෙකුත් පොදු ස්ථානයන්ට යාමෙන් වැළකී සිටිය යුතුය. සමීපතමයන් රෝගය බෝවන කාලය තුළ එනම් සති දෙකක් නිරෝධායනය කළ යුතුය නාසයේ සහ උගුරේ ස්‍රාවයන්ගෙන් දූෂිත වූ ද්‍රව්‍යයන් ජීවානුහරණය කළයුතුය.

Capture

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>