දේශපාලන කාන්තා නියෝජනය 25% කිරීම අවශ්‍යද? නැද්ද?

දේශයක් පාලනය කිරීම හෙවත් දේශපලානය වෙනුවෙන් ලොව සියලුම රටවල් පාහේ ගැහැනු පිරිමි භේදයකින් තොරව ඉදිරිපත් වනුයේ විවිධ කරුණු කාරණා පෙරදැරිව ඇති වූ සම්බන්ධතා මතය. ලොව දියුණු වෙත්ම පිරිමින් හා සමාන්තරව නොවුණද කාන්තාවන් දේශපාලනය ලුහුබැඳීමේ වැඩි වර්ධනයක්  දැකගත හැකි වීම සුවිශේෂී කරුණකි. මේ  දිනවල ශ්‍රී ලංකාව තුළද කාන්තා දේශපාලන නියෝජනයේ වර්ධනයක් පිළිබඳ කතාවක් ඇතිව තිබේ. ලොව පළමු අගමැතිනිය මෙන්ම ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහි කළ ශ්‍රී ලංකාව තුළ කාන්තා දේශපාලන නියෝජනය 25%ක් කිරීම සම්බන්ධව පවතින විවිධ මතිමතාන්තර අතුරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයුර සමරකෝන් මෙන්ම ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මේ  පිළිබඳව අදහස් පළකළේ මෙසේය. 


25%ක නියෝජනයක් ලබාදීම කිසිම ආකාරයකින් ඵලදායී වෙනවා කියල හෝ කාන්තාවන්ට විමුක්තියක් ලැබෙනවා කියලා මම සිතන්නේ නැහැ 

මාහාචාර්ය මයුර සමරකෝන් සමාජ විද්‍යා අධ්‍යයන අංශය ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මෙවර මැතිවරණයේ නාමයෝජනා ලබාදීමේදී සෑම නාමයෝජනා ලැයිස්තුවකම 25%ක කාන්තා නියෝජනයක් අනිවාර්යය කරලා තිබෙනවා. නමුත් මෙතන ගැටලුව තිබෙන්නේ 25% ක කාන්තා නියෝජනයක් තිබීම තුළින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එකයි. කාන්තාවන්ගේ පාර්ශ්වයෙන් සහ මේ ප්‍රතිපත්ති සම්පාදනය කළ අයගේ පාර්ශ්වයෙන් කියවෙන්නේ කාන්තාවන්ගේ සුවිශේෂී ප්‍රශ්න කතා කරන්න කාන්තා නියෝජනයක් අවශ්‍ය බවයි. නමුත් ගැටලුව තිබෙන්නේ ජීව විද්‍යාත්මක කරුණු කාරණා බැහැර කළාට පස්සේ සමාජීය වශයෙන් කාන්තාවන්ට තිබෙන පිරිමින්ට නැති සුවිශේෂී ප්‍රශ්න මොනවාද කියන කාරණය සම්බන්ධයෙනුයි. එහෙමනම් මේ නියෝජනයන් ඉදිරි කාලයේදී කාන්තාවන්ට, පුරුෂයන්ට, සංක්‍රාන්ති ලිංගිකයන්ට, සමලිංගික පිරිස්වලට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආදී වශයෙන් තව තවත් වැඩි කරන්න සිදුවෙනවා. මොකද ඔවුන්ටත් ප්‍රශ්න තිබෙනවා. 02

රැකියා අර්බුදය, නිවාස අර්බුදය, අධ්‍යාපන පද්ධතියේ ප්‍රශ්න ආදී මේ සියලු ප්‍රශ්න සමස්ත සමාජයට පොදු වුණු ගැටලු. මේ ගැටලු ගැන කතා කිරීම වෙනුවෙන්  ප්‍රාදේශීය සභා මට්ටමින්, පළාත් සභා මට්ටමෙන් හෝ පාර්ලිමේන්තු මට්ටමින් කාන්තා නියෝජනයක් ඇති කළා කියලා විශාල බලපෑමක් සිදුවෙන්නේ නැහැ. මොකද සමස්ත සමාජයම සංවර්ධනයට ලක්වුණොත් කාන්තාවන්ට හිමි සංවර්ධිතභාවය නිරායාසයෙන්ම ලැබෙනවා. උදාහරණයක් විදියට රටේ නීතිය නිසි ආකාරයෙන් බලපැවැත්වුණොත් ඒ නීතිය ස්ථාපිත වීම හරහා කාන්තාවන් අරඹයා සිදුවන විවිධ අකටයුතුකම්, අඩන්තේට්ටම් ආදිය වළක්වා ගන්න හැකියාව තිබෙනවා.  

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපතිවරියක් අපි බිහිකරලා තිබෙනවා. ඒ වගේම මෑත කාලයේදිත් පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු කාන්තා නියෝජනයක් පවතිනවා. ඒ හරහා වුණත් කාන්තාවන් විදියට අත්පත් කරගත් විශේෂ විමුක්තියක් හෝ දිනාගත් දෙයක් තිබෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. අපිට දැනෙන ආකාරයට සමාජීය කාරණා සහ සමාජීය අර්බුද පිළිබඳව යම් යම් අණපනත් ගෙන ඒමේදී හෝ ඒවායෙන් සිදුවන සමාජ හානි පිළිබඳව ඔය කියන කාන්තා නියෝජනයෙන් හඬක් නැඟුණේ නැහැ. හොඳම උදාහරණයක් විදියට පසුගිය රජය සමයේදී හිටපු අගවිනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායක මහත්මියව පාර්ලිමේන්තුව විසින් ධුරයෙන් ඉවත් කරපු අවස්ථාවේ ඒ වෙනුවෙන්වත් මේ කාන්තා නියෝජනය හඬ නැඟුවේ නැහැ. කාන්තා දේශපාලන චරිතයක් විදියට සමාජයට දැනෙන යමක් කළා කියල අපේ මතකයේ තිබෙන්නේ විවියන් ගුණවර්ධන කියන චරිතය  පමණයි. ඉන් එහාට මෑතකාලීන කාන්තා දේශපාලනය තුළ එවැනි චරිතයක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙම මතක තිබෙනවා නම් තිබෙන්නේ දුරදිග නොබලා දුන් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වෙලා කුමක් හෝ මෝඩ ප්‍රකාශයක් කරපු එහෙම නැත්නම් මෝඩ ක්‍රියාවක් කරපු නිළියන් හෝ රූපසුන්දරියන් යැයි කියාගන්න අයගේ නම් පමණයි. අනෙක් අතින් ශ්‍රී ලාංකික ජන සමාජය ඇතුළේ තවමත් කාන්තාවන් සිටින්නේ තවත් කාන්තාවකගේ අයිතිවාසිකමක් වෙනුවෙන් තබා අඩුම තරමේ තමන්ට සිදුවන අයිතිවාසිකම් ගැනවත් එළියට ඇවිත් කතා කරන්න මැළිකමක් දක්වන තත්ත්වයක. ඒ වගේම මේ තිබෙන සමාජ අර්බුදයන් ගැන කතා කරන්න කාන්තාවන්ට නිසි දැනුවත්භාවයක් තිබෙනවාද කියල ප්‍රශ්නයක් තිබෙනවා.  

සමාජයේ තිබෙනවා විද්‍යාත්මක මත සහ ජනප්‍රිය මත කියලා කොටස් දෙකක්. මෙතනදි සිදුවෙලා තිබෙන්නේ විද්‍යාත්මක මතය යටගිහින් ජනප්‍රිය මතය ඉස්මතු වීමයි. මේ කාරණාවෙදිත් සිදුවෙලා තිබෙන්නේ එයමයි. කාන්තාවන්ට වෙනම ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා කාන්තා නියෝජනයක් විශේෂයෙන් තිබිය යුතුයි කියලා කිව්වාම අනිත් අයත් ඒක හිස්මුදුනින් පිළිගන්නවා. සමස්ත ලාංකික සමාජයම දුවන්නේ විද්‍යාත්මක පදනමක් මත නොවෙයි ජනප්‍රිය මත පදනම් කරගෙන. එවැනි සමාජයක මෙවැනි දේ සිදුවීම සාමාන්‍යයි. අපි විශ්වවිද්‍යාල මට්ටමින් විවිධ ප්‍රදේශවලදී සිදුකරන අධ්‍යයනවලදී අපි කාන්තාවන්ගෙන් විමසා තිබෙනවා පිරිමින්ට නැති කාන්තාවන්ට පමණක් ඇති සමාජ ප්‍රශ්න මොනවාද කියලා. ඒ කිසිම අවස්ථාවකදි අපිට තවමත් හරි පිළිතුරක් ලැබිලා නැහැ.  පැහැදිලිවම මේ ප්‍රශ්න සමස්ත සමාජයටම පොදු ප්‍රශ්න මිසක් කාන්තාවන්ට පමණක් ආවේණික ප්‍රශ්න නොවෙයි. 

ඇත්තටම මෙතනදි අවශ්‍ය වෙන්නේ පොදුවේ සමස්ත සමාජය වෙනුවෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. එතනදි කාන්තාවන්ට අසාධාරණයක් වෙනවා නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය අභියෝගයට ලක්කරන්න හැකියාව තිබෙනවා. අඩුම තරමින් ඒ සඳහාවත් නිසි කාන්තා සංවිධානයක්වත් නැහැ. අද තියෙන බොහෝමයක් කාන්තා සංවිධාන පිහිටුවාගෙන තිබෙන්නේ නිකන් ඉන්න බැරිකමට. නාගරිකව සිටින කාන්තාවන් කිහිපදෙනෙක් එකතු වෙලා කෑම දිරවගන්න වගේ පිහිටුවා ගත්තුවා මිසක් සමාජ ගැටලු පිළිබඳවත් කාන්තා ගැටලු පිළිබඳවත් කතා කරන්න තිබෙන ඒවා නෙවෙයි. බොහෝමයක් පක්ෂ තමන්ගේ නාමයෝජනාවලට කාන්තාවන් ඇතුළත් කරලා තිබෙන්නේ 25%ක ප්‍රතිශතය සම්පූර්ණ කරගන්න මිසක් ඔවුන්ට දේශපාලනයට නිසි පසුබිමක් හෝ දැනුමක් තිබිලා නෙවෙයි.
විශ්වවිද්‍යාලවලින් වසරකට උපාධිධාරිනියන් විශාල පිරිසක් බිහි වෙනවා. ඒ පිරිස යම් සැලකිය යුතු සමාජ මෙහෙවරක් ඉටුකිරීමට හෝ සමාජය වෙනුවෙන්  යම් හඬක් නඟන්න කටයුතු කරලා තියෙනවාද? මම දකින්නේ මේ විශේෂයෙන් කාන්තා නියෝජනයක් ලබාදීම හරහා සිදුවෙලා තිබෙන්නේ නියෝජනයන් තුළ අසමතුලිතභාවයක් නිර්මාණය වෙලා වගේම අනෙක් අතින් ප්‍රබල හඬක් නැඟිය හැකි පිරිස්වලට සමහර අවස්ථාවලදී ඒ අදාළ ආයතනවලට යාමට ඇති හැකියාව අහුරා තිබෙනවා. මෙතනදි සිදුවිය යුත්තේ කාන්තාවන් සහ පුරුෂයන් ලෙස වෙන් වෙන්වූ අනුපාත ඇති කිරීම නෙවෙයි. අද මේ ඉන්න බොහෝ චරිතවලට පාර්ලිමේන්තුව තුළ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ දේශපාලනයේ නිරතව සිටි ස්වාමිපුරුෂයා මියයාම නිසා, ස්වාමිපුරුෂයා දේශපාලඥයෙක් නිසා, පියාගේ පරම්පරාවෙන් බූදලයක් සේ ලැබෙන දේශපාලන බලපුළුවන්කාරකම් මත එහෙමත් නැත්නම් නිළියක් හෝ රූපසුන්දරියක් වීම නිසා. එහෙම නැතුව ජනතාව විසින් තමන්ව නියෝජනය කරන්න කියලා පාර්ලිමේන්තුවට පත්කරපු කැරිස්මා නායකත්වයකින් යුතු කාන්තා දේශපාලන චරිතයක් වර්තමාන දේශපාලනය තුළ අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. මෙවැනි පිරිස් නඩත්තු කිරීම වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවෙයි. එවැනි තත්ත්වයක් යටතේ 25%ක නියෝජනයක් ලබාදීම කිසිම ආකාරයකින් ඵලදායී වෙනවා කියල හෝ කාන්තාවන්ට විමුක්තියක් ලැබෙනවා කියලා මම සිතන්නේ නැහැ. 

ස්ත්‍රී සහභාගීත්වයට වැඩි ඉඩක් සලසා දීම සඳහා නීති සම්පාදනය කිරීම ඉතා වැදගත් ලෙස කවුරුත් පිළිගන්නා දෙයක්

මොහාන් සමරනායක ප්‍රවීණ දේශපාලන විචාරක

Mohan samaranayake (කිසිදු විවාදයක් නැහැ. ජනගහනයෙන් නියෝජනය වන අනුපාතයට අනුකූලව සමාජ ජීවිතය තුළ කාන්තාවන්ගේ සහාභාගීත්වය අනිවාර්යයෙන් තිබිය යුතුයි. දිර්ඝ කාලයක පටන් අප රටේ මෙන්ම වෙන සමාජවලත් අදහසක් තිබුණා ස්ත්‍රීන් අඩු දක්ෂතා ඇති, අඩු හැකියා ඇති පිරිසක්, ඔවුන් මේ නිශ්චිත කාර්යභාරය සමාජයේ ඉටුකළ යුතුයි කියා. මම සිතන අයුරින් නම් එය පැරණි වැඩවසම් අදහසක්. අද එය බොහෝදුරට සෑම තැනකම වාගේ වෙනස් වී තිබෙනවා. නමුත් සමාජ ජීවිතයේ ස්ත්‍රී සහභාගීත්වය ගත්විට අපේ රටේ ඉතාම සතුටුදායක තත්ත්වයක් තිබෙනවා. අද විශ්වවිද්‍යාල වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව ගත්විට සමස්තයක් වශයෙන් වැඩි අගයක් සිටින්නේ ස්ත්‍රීන්. ගුරු වෘත්තිය වැනි වෘත්තීන් තුළ වුවත් ඔවුන්ගේ සහාභාගීත්වය වැඩියි. නමුත් අපේ රටේ දේශපාලනය සහ ඔවුන්ගේ සහාභාගීත්වය බෙහෙවින් අඩු මට්ටමක තිබෙන්නේ. මේ නිසා ඔවුන්ට වැඩි ඉඩක් සලසා දීම සඳහා නීති සම්පාදනය කිරීම ඉතා වැදගත් ලෙස කවුරුත් පිළිගන්නා දෙයක්. නමුත් එසේ කළ පමණින්ම ස්ත්‍රීන්ගේ සුභසාධනය සැලසෙනවා, ඔවුන්ට සමාජයේ ජන කොට්ඨාසයක් වශයෙන් හිමිවිය යුතු ස්ථානය ලැබෙනවා කියන දෙය මිත්‍යාවක් ලෙසයි මම දකින්නේ. මොකද අපේ රටේ ස්ත්‍රීන්ට දේශපාලන ජීවිතයට පැමිණීමට බොහෝ බාධක තිබෙනවා. අනෙක් කාරණය වන්නේ අපේ රටේ දේශපාලනය මේ වන විට ඉතා අපිරිසුදු, අධම, වසල තැනකට වැටී තිබෙනවා.    අපි නිදර්ශනයක් ගෙන බැලුවහොත් අපේ රටේ විකාශය වන ටෙලිනාට්‍ය ගත්තොත් ඒවා මගින් දේශපාලඥයන් නිරූපණය කරන්නේ හැමවිටම හොරෙක් විදිහට. සමාජයේ දේශපාලඥයා දිස්වන්නේ හොරෙක් ලෙසටයි.

ඡන්දය දිනන්න නම් මැරකම් කරන්න අවශ්‍යයි. බොන්න දෙන්න ඕන. මෙන්න මේ හේතු ස්ත්‍රීන්ගේ සහාභාගීත්වය අඩු වීමට හේතුවක් වෙනවා. අනෙක් පැත්තෙන් මේ තිබෙන ආර්ථික දුක්ගැනවිලි මැද මෙවැනි දේශපාලන ක්‍රියාකාරීත්වයකට ඒමට පුළුවන්කමක් ලැබෙන්නේ යම්කිසි ආර්ථික පදනමක් ශක්තියක් තිබෙන පවුල් නියෝජනය කරන ස්ත්‍රීන්ට පමණයි. එනිසා මම දකින්නේ කාන්තා නියෝජනය සතුටුදායක මට්ටමක තබාගැනීම සඳහා නීති සම්පාදනය කිරීම ප්‍රශස්ත පියවරක්. නමුත් එමගින් පමණක් මේ අපේක්ෂිත අරමුණ ඉටුවෙනවා යැයි කීම මිත්‍යාවක්. ඒ අරමුණු සපුරා ගැනීමට නම් මීට සමගාමීව යහපත් සාධාරණ සමාජයක් ගොඩනැගිය යුතුයි. මේ මැතිවරණ නීතිවල පවා යම් යම් අඩුපාඩු තිබෙනවා. මගේ දැක්මේ හැටියට නම් මේ නීති සම්පාදනය කිරීමේදී සිදුවන්නේ බලයේ සිටින ඒ දේශපාලන පක්ෂවල බලය රැකගැනීම සඳහා වූ න්‍යාය පත්‍රයකට අනුකූල නීති සකස් කිරීමයි. 

කාන්තාවන්ට පළාත් පාලන මට්ටමේ 25%ක කෝටාවක් ලබාදීම පුළුල් ජනතා සංවාදයට ලක් වූ කාරණාවක් නොවේ. ස්ත්‍රී නියෝජනය ඉහළ දැමිය යුතුයි වගේම ස්ත්‍රී නියෝජනය නිශ්චිත අනුපාතයකට ගෙන ආ යුතුයි යන්න  පිළිබඳව සමාජයේ පොදු අදහසක් තිබුණා. එසේ වුවත් ඒ ස්ත්‍රී නියෝජනය ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයේ ක්‍රමවේදයකින්දැයි කියන එක පිළිබඳව සමාජයේ පුළුල් කතිකාවතක් තිබුණේ නැහැ. ඒවා සම්මත වෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ මහජනයා දැනුවත් වෙන්නේ පාර්ලිමේන්තුවේ පනත් ආවට පස්සේ. මෑතකාලයේ ඒ පනත් සම්මත කිරීම පවා බලයේ සිටින ආණ්ඩුවල බලය රැකගැනීම අරමුණු කර දේශපාලන න්‍යාය පත්‍රයට අනුවයි සිදු වී තිබෙන්නේ.  එය ඇත්තෙන්ම විකෘතියක්. අනෙක් කාරණය වන්නේ නිශ්චිත අනුපාතයක් නියම කළ පමණින්ම අක්‍රීය දේශපාලනයට ස්ත්‍රීන් ඇදගැනීම එතරම් පහසු වන්නේ නැහැ. එය පැහැදිලිවම පළාත් පාලන මැතිවරණයේදී දකින්නට තිබෙන දෙයක්. මොකද සිදුවුණේ කිසිම දේශපාලන අත්දැකීමක් පරිචයක් නැතිව ස්ත්‍රී නියෝජනය සපුරාලීම සඳහා තමන්ගේ හිතවතුන්, දේශපාලනයේ නියුතු වූවන්ගේ දූවරුන්, බිරින්දෑවරුන් ගෙනැල්ලා දාලා තියෙනවා. 

සත්‍ය නම් ආර්ථික ක්‍රියාකාරීත්වයේදී ඕනෑම රටක ජාතික නිෂ්පාදනයේදී කාන්තාවන්ගෙන් වන දායකත්වය පිරිමින්ගෙන් වෙන දායකත්වයට වඩා වැඩියි. ස්ත්‍රීන්ගේ දායකත්වයේ බොහෝ පැතිකඩයන් ගණන් බැලෙන්නේ නැහැ. ගෘහිණියක් වශයෙන් සිදුකරන සේවයත් ආර්ථික නිෂ්පාදනයේම කොටසක්. නමුත් ඒ සඳහා ගණන් බැලීමක් සිදුවන්නේ නැහැ. මෙය ලෝක පරිමාණයෙන් ගත් විට අතිවිශාල මුදලක්. එහෙමනම් සමාජය යථාර්ථය දේශපාලනයේ තීරණ ගැනීමේ ක්‍රියාදාමයේදීත් ස්ත්‍රියට ඒ සහාභාගීත්වය තිබිය යුතුයි. ඒ සඳහා විවාදයක් තිබිය නොහැකියි. අමු අමුවේ කරන සැත්කමක් ලෙසටයි මෙය සිදුවන්නේ. 

මා විශ්වාස කරන්නේ මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද පිළිබඳව සමාජයේ කතිකාවක් මෙන්ම විවිධ කොටස්වල අදහස් අරගත යුතු බවයි. ස්ත්‍රීන්ට ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න අවශ්‍යයි. අප දන්නවා ගෘහිණියක් වශයෙන් ඇයට කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය ඉටුකිරීම සඳහා විකල්ප වැඩපිළිවෙළවල් මේ සමාජයේ ඇත්තේ නැහැ. බොහෝවිට ස්ත්‍රීන්ට සිදුවෙනවා වයෝවෘද්ධ වියේ පසුවන සිය දෙමාපියන් බලා ගැනීමට. එවැනි වයෝවෘද්ධ පිරිසට සලකන පොදු ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ.
කුඩා දරුවන් රැකබලා ගැනීමේ ප්‍රශ්නය ස්ත්‍රීන්ට තිබෙනවා. ඒ සඳහා මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් සිදුකරන ආයතන හැරුණම පොදු වැඩපිළිවෙළක් ඇත්තේ නැහැ. 
ඒ නිසා සාධාරණ, යහපත් සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට සමගාමීව මෙය සිදුවිය යුතු යැයි මම විශ්වාස කරනවා. 

සෑමවිටම ස්ත්‍රීන් සූරා කෑමට ලක්වන සමාජ ක්‍රමයක් තමයි ලොව බොහෝ රටවල තිබෙන්නේ. අපි කියනවා ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ බලවත්ම ආර්ථිකයක් ඇති, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ජනපදයක් ලෙසින්. නමුත් තවමත් එහි ජනාධිපතිනියක් පත් වී නැහැ. ඊට වඩා ගොඩාක් පහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාවේ 1960 වර්ෂයේදී අගමැතිවරියක් පත්කර ගැනීමට හැකි වුණා. පසුගිය ඇමරිකානු ජනාධිපති තරගයේදී ඒ පදවිය සඳහා හිලරි ක්ලින්ටන් තරග කළා. ඒ එරට ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ස්ත්‍රියක් ජනාධිපති අපේක්ෂිකාවක් ලෙසින් තරග කළේ. නමුත් එහි වුවත් ජනගහන අනුපාතයට ස්ත්‍රී නියෝජනයක් ඇත්තේ නැහැ. එනිසා සෑම රටකම වාගේ මේ පිළිබඳ පොදු ගැටලු තිබෙනවා. 

 

නඳුන් ශ්‍යාමාල් / ෂෙහානි දිල්රුක්ෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>