දේශපාලනයේ වැරදි තීරණ තීන්දු හේතුවෙන් රසිකයාට ගීතයක් රස විදීමට මනස නිරවුල් නැහැ

දශක එකහමාරකට පමණ පෙර කර මත එල්ලාගත් බෑගයක බහා කැසට් පට අලෙවි කිරීමේ නියැළී සිටි අජිත් සුනිල් නම් තරුණයෙකුගේ හදවත් රෝගයක් සඳහා සිදු කරන ශල්‍යකර්මයකට රුපියල් ලක්ෂ දෙකක් පමණ අවශ්‍ය විය. ඒ සඳහා මුදල් සෙවීමේ අරමුණින් සියලුම ගායන ශිල්පීන් අය කිරීමකින් තොරව ගී ගයන ගී ප්‍රසංගයක් මෙම තරුණයා කැසට් පට නිෂ්පාදකයන්ගේද සහාය ඇතිව ලුමිබිණි රඟහලේ පැවැත්වීමට සංවිධානය කළේය. එහිදී නිර්මාණය කළ ප්‍රචාරක පෝස්ටරයේ එක්තරා විශාරද ගායන ශිල්පියෙකුගේ නම ඉදිරියෙන් 'විශාරද' යන්න  සඳහන් නොකර තිබීම හේතුවෙන් එම තරුණයාට එය නිවැරදි කර යළිත් වරක් පෝස්ටරයක් මුද්‍රණය කර ඇලවීමට සිදුවිය. දෙවැනි වර එකල තරුණ ගායකයෙකුගේ නමට ඉහළින් එකල නවක ගායකයෙකුගේ නම පළ වීම පිළිබඳ එම ගායකයා විරෝධය පළකළෙන් පෙර කී තරුණයාට එම පෝස්ටරය තෙවැනි වරටද සංශෝධනය කර මුද්‍රණය කර ඇලවීමට සිදුවිය.

පසු දිනෙක මෙම ලියුම්කරුට එම තරුණයා වූ අජිත් සුනිල් හමු වූ අවස්ථාවේ ඔහුට උපදෙස් දෙනු ලැබුවේ ජිප්සීස් කණ්ඩායම මෙම ප්‍රසංගයට ගෙන්වුවහොත් අතිවිශාල පිරිසක් ශාලාවට ගෙන්වාගත හැකි බවයි. ඒ අනුව ඔහු ජිප්සීස්හි සුනිල් පෙරේරා හමු වී ඔහුට ඇරයුම් කළද, එවන් දැවැන්තයන් තම ආධාර ප්‍රසංගයට එතැයි අපේක්ෂා නොකළෙන්, ඒ බව යළි පෝස්ටරයකින් ප්‍රචාරය කිරීමට තරම් ඔහු උනන්දු නොවූයේ මූල්‍ය වත්කමක් නොතිබීම හේතුවෙනි. එහෙත් ප්‍රසංගය පැවැත්වූ දින සවස පහ වනවිට ජීප්සීස් කණ්ඩායම එහි පැමිණ සිය සංගීත උපකරණද සවිකර ගී ගැයීමට වේදිකාව සූදානම් කර තිබිණි. එහෙත් එදින ඒ පිළිබඳ පූර්ව ප්‍රචාරයක් කර නොතිබුණෙන් අතිවිශාල රසික පිරිසක් පැමිණ නොතිබිණි. එසේ වුවද කිසිදු වෙනස්කමක් පළ නොකර ජිප්සීස් කණ්ඩායම සිය දායකත්වය එම ප්‍රසංගයට ඉහළින්ම ලබාදීමට සමත් විය.
එවන් සරල ගති පැවතුම් ඇති එහෙත් කිවයුත්ත ඒ ආකාරයෙන්ම පැවසීමට කශේරුකාවක් ඇති ප්‍රවීණ කලාකරුවෙකු වන ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා 'අද' පුවත්පත සමග සංවාදයකට කැඳවා ගතිමු. මේ එම සාකච්ඡා සටහනයි.

Q ඉස්සර නත්තල් සමයක අසන්නට ලැබෙන ගායන ශිල්පීන්ගේ නව ගී නිර්මාණ කිසිවක් මෙවර රසික සමාජයට තිළිණ වන ආකාරයක් දක්නට ලැබුණෙ නැහැ නේද

”රටක පිබිදීමක් ඇති වන්නේ එහි පාලකයන්, එහි ජනතාව ප්‍රීති ප්‍රමෝදයෙන් තබන පාලනයක් රටක් තුළ ක්‍රියාත්මක කරන අවස්ථාවල පමණයි. එය ඈත ඉතිහාසයද, මෑත ඉතිහාසයද පිරික්සීමෙන් අවබෝධ කරගත හැකියි. රටේ ජනතාවට සැහැල්ලුවෙන් ගීතයක් රස විඳිය හැක්කේ එවිටයි. ලේඛකයෙකුට පොතක් ලිවිය හැක්කේ, කවියෙකුට නිර්මාණයක් කළ හැක්කේ, සිත්තරෙකුට හොඳ සිතුවමක් නිර්මාණය කළ හැක්කේද එවිටයි. එසේම හොඳ සිනමා නිර්මාණයක්, වේදිකා නාට්‍යයක් නිර්මාණය වීමටද එම පසුබිම බලපානවා. අද එවන් තත්ත්වයක් රට තුළ නැහැ.
හිටපු පාලකයන්ගේ හොර මැරකම් හෙළි වනවිටම, වත්මන් පාලකයන්ගේද මහා පරිමාණයේ මූල්‍ය වංචා හෙළි වෙනවා. එවිට ජනතාවගේ සිත් තුළ පහළ වන්නේ මුන් දෙගොල්ලොම හොරු නම් අපි කාවද විශ්වාස කරන්නේ යනුවෙන්. එවන් සමාජයක අසහනය වැඩි වනවිට මානසික පීඩනය වැඩි වනවිට මුලින්ම ඔවුන් වෙතින් දුරස් වන්නේ කලාවයි. සැහැල්ලුවෙන් කලා නිර්මාණයක් රස විඳීමේ මානසික තත්ත්වය ඔවුන් වෙතින් දුරස් වනවිට මෙම විසකුරු සමාජයේම සාමාජිකයෙක් වන කලා ශිල්පීන් වෙතින් නව නිර්මාණ බිහි වේවිද? මා ඔබව මෙයට වසර දෙකකට පමණ පෙර හමුවන විට පැවසූ උසාවියක විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක් ඇසුරෙන් නිර්මාණය වූ ගීතය අපට තවම වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකි වුණේ මේ සමාජය කය මිස සිත නොමැති මිනිසුන් ලෙස හැසිරෙන තත්ත්වය නිසයි.

IMG_0276

ඔබ කියන්නේ මේ සියල්ල සිදුවන්නේ පාලකයන්ගේ වරදින් කියලද

මට කනගාටුවෙන් වුවත් එය එසේය කියා කියන්න සිදු වෙනවා. දැන් බලන්න අපේ පාලකයන්ට පිරිත් කියා නිම කරන්නේ %රාජා භවතු ධම්මිකෝ^ කියලයි. පසුව අතේ පිරිත් නූල් බඳින්නේ මේ පාලකයන්ට රට යහතින් පාලනය කිරීමට හැකිවේවා කියා සිතමින්. එහෙත් පසුවදා අසන්නට ලැබෙන්නේ මොකක්ද අර පාලකයාගේ අනුග්‍රහය ලබන්නෙකු කළ දූෂණයක් ගැනයි. අර පාලකයා එම දූෂණය කළ අයෙකුට දුන් දඬුවමක් පිළිබඳ අපට අසන්න ලැබුණද? නැහැ? දැන් බලන්න ජාත්‍යන්තර නීතියක් තිබෙනවා. ලොව කිසිදු පුරවැසියෙකුට විදේශ ගමන් බලපත්‍ර දෙකක් තබාගැනීම තහනම් බවට. එහෙත් එම වරද කළ බව කියන කිසිදු දේශපාලකයෙකුට දඬුවම් දුන්නාද? නැහැ. එහෙත් කවුදෝ දුප්පත් කාන්තාවක් ආහාර පිසීමට යාබද ඉඩමකින් අඹ ගෙඩි තුනක් කඩාගත් වරදට නම් දඬුවම් කළා. එසේම ඔය කාලය පුරාම පාලකයෝ රටේ නීතිය ක්‍රියාත්මක කරන බව කියමින් ජනතාවගේ බදු මුදලින් ලක්ෂ ගණනින් දීමනා ලබාගත්තා නේද?
“එහෙනම් පාලකයො තම යුතුකම් සහ වගකීම් පැහැර හරින කොට, පාලකයන් තම දේශපාලන හෙංචයියන්ට විතරක් සලකන කොට රටේ ජනතාවට ගීතයක් රස විඳිමින්, සිනමාපටයක් රස විඳිමින් සිටිය හැකිද? බැහැ. නිදහස් අධ්‍යාපනයෙන් දැනුම වැඩි කරගත් ඒ තරුණයන් අන්තර්ජාලයෙන් දකිනවා ලෝකය පුරා යහපත් පාලකයන් සිටින රටවල ජනතාව නිතරම සතුටින් සිටින ආකාරය. එවිට තම පාලකයන් ජනතාවගේ සම්පත් විදේශයන්ට විකුණා රට කරවන හැටි දකින ඔවුන්ට ඇතිවන කෝපය තමයි විරෝධතා ව්‍යාපාර ලෙස පාර දිගේ අපට දකින්න ලැබෙන්නේ. මේ තරුණයන්ගෙන් අපට ගීතයක් රස විඳින ලෙස ඉල්ලා සිටිය හැකිද? බැහැ. අපි 1997 එළිදැක්වූ %සිඤ්ඤෝරේ^ ගීතය රස විඳි ජනතාව තුළ මෙම දේශපාලන ව්‍යාජයට සිනාසීමට අවශ්‍යව සිටියා. ඔවුන්ගේ මෙම ප්‍රෝඪාවට සිනාසෙන ගී නිර්මාණයක් එළිදක්වනු ඇසීමට ඔවුන්ගේ යටි සිත මහත් ආශාවෙන් සිටියා. තරුණයන් දැන් මෙම දේශපාලනයේ ව්‍යාජය දන්නවා. මේ රැවටිල්ල දන්නවා. මා සිතන්නේ සමහරවිට අපගේ රසිකයා ආදරය ගැන ලියැවෙන ගීතයකට වඩා මෙම ව්‍යාජ දේශපාලනයේ ඇති මායාව සහ රැවටිල්ල ගැන ලියැවෙන ගීත මහත් අභිරුචියෙන් වැලඳ ගැනීමට ඉඩ තිබෙනවා.

ඔබ ජිප්සීස් කණ්ඩායමේ නායකයා ලෙස උපහාස ගීත ගැයීමට රුචියක් දක්වනවාද

උපහාස ගීත කලාව ලෝකය පුරාම රැල්ලක් ලෙස පැතිර තිබෙනවා. එය වරදක් නොවේ. වරදක් වන්නේ අපහාස ගීත සමාජගත කිරීමයි. උපහාස රසය චාලි චැප්ලින්ද එයාගේ නිහඬ චිත්‍රපටවලින් පෙන්නුවා. බොබ් මාලේ වැනි ගායකයන්ද භාවිත කළා. ගායකයා සහ කලාකරුවාද මේ සමාජයේම සාමාජිකයෙක්. ඔහුටත් රටේ ජනතාව විඳින පීඩාව මෙන්ම පවතින දේශපාලනයේ ව්‍යාජ ස්වරූපය පෙනෙනවා. එවිට එම ජනතා කෝපය අපගේ ගීත නිර්මාණවලට භාවිත විය හැකියි. වෙනස තිබෙන්නේ අප එය සම්භාව්‍ය ගීතයක් ලෙස භාවිත නොකර විනෝද ගීතයක් ලෙස භාවිත කිරීමයි. මොකද අපි ගීත නිර්මාණය කරන්නේ විනෝද ගීත ඉල්ලන රසික සමාජය ඉලක්ක කරගෙනයි. අපි එම විනෝද ගීත සඳහා එවන් අරුත්බර අදහස් ඇතුළත් සරල පදවැල් එක්කරන කොට සමාජයට විනෝදය මෙන්ම සමාජයට පවතින සැබෑ යථාර්ථයද තවරා දෙනවා. එයත් හරියට නිකම් බටර් ගා පාන් පෙත්තක් දෙන්නේ නැතිව එය සැන්ඩ්විච් කරලා දෙනවා වගේ කාර්යයක් යැයි කීවොත් නිවැරදියි.
අපි ආරම්භයේදී ගැයූ %ළිඳ ළඟ සංගමය^ සහ %පහසුවටත් ලෙහෙසියටත්^ වැනි ගීතවල සිට අපි යම් තරමකට උපහාසය මිශ්‍ර කළා. කොහොමටත් එකල %විනෝද සමය^ ගුවන්විදුලි වැඩසටහනින් සැමුවෙල්, ඇනස්ලි, බර්ටි, ගැමුණු සමාජයේ දුර්වල තැන් උපහාසයට ලක්කරන ආකාරය ගැන මගේ විශාල පැහැදීමක් තිබුණා. ඒ නිසයි ඔවුන් සමග ගීතයක් නිර්මාණය කළේ. එය අපේ රසිකයන් මහත් ආදරයෙන් පිළිගත් බව පෙනුණු නිසා, ඒ ශෛලිය අපිත් මහත් විශ්වාසයකින් වටහාගත්තා. අපගේ %කුරුමිට්ටෝ^ ගීතයේද අපි එම උපහාස රසය ඇතුළත් කළා. කොහොමත් අද උපහාස රසය බලෙන් ඇතුළත් කරලා ගීත නිර්මාණය කරන්න ඕන වෙන්නෙ නැහැ. අපේ දේශපාලනයේ ඕන තරම් උපහාසය දනවන සිදුවීම් දැන් සිදු වෙනවනේ.

ඔබ වරක් මට කිව්වා ඔබ ඇමෙරිකාවට ගිය අවස්ථාවක එහි සිටි ශ්‍රී ලංකා තානාපතිවරයාට ඉංග්‍රීසි කතා කිරීමට හෝ දැනුමක් තිබුණේ නැහැ කියලා

ඔව්, එය එකල තිබූ දේශපාලන නායකත්වය විදේශ සේවය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව කළ දෙයක්. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකි වීම අපේ රටට විශාල කැළලක්. කොහොමත් දේශපාලකයන් කවුරුත් සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැනේ. ඒකෙන් වෙන්නෙ මේ රටට දක්ෂයන්, බුද්ධිමතුන් අහිමිව යෑමයි. ඔවුන්ට පිටරටවල ඉහළ පිළිගැනීමක් තිබෙනවා. රට දවසින් දවස අගාධයට යනවා, එච්චරයි.

ගාමිණි සරත් ගුණවර්ධන

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>