දෙස් විදෙස් සංචාරකයන්ට ආදිවාසීන්ගේ ආහාර අලෙවි කරන සහෝදරියෝ

ආදිවාසීන්ගේ ආහාරපාන භුක්ති විඳීමට ඇල්මක් දක්වන දෙස් විදෙස් සංචාරකයන්ට ඒ සඳහා ස්ථානයක් මෑතක් වන තුරුම දඹාන ආදිවාසී ගම්මානයේ නොතිබීමේ අඩුව පුරවමින් දඹාන ආදිවාසී ගම්මානයේ තරුණියන් දෙදෙනෙකු එහි ආදිවාසී ආහාර ද්‍රව්‍ය අලෙවි සැලක් ආරම්භ කර තිබේ. මෙසේ මෙම අලෙවි සැල ආරම්භ කර ඇත්තේ ඌරුවරිගේ අරුණී හා ඌරුවරිගේ සුමනාවතී යන දෙදෙනාය.


1 (3)

දඹාන ආදිවාසී ගම්මානයේ පිහිටි ආදිවාසී ජන උරුම කේන්ද්‍රයට යාබදව ඔවුන්ටම ආවේණික වූ කටුමැට්ටෙන් තැනූ මඩුවක  පවත්වාගෙන යන මෙම වෙළෙඳ සැලෙන්  පිසූ ආහාර මෙන්ම අාහාර සැකසීමේ  විවිධ කළමනා වර්ගද පහසු මිලට ලබාගැනීමේ පහසුකම් සලසා තිබේ.

කුරක්කන් පිට්ටු, කුරක්කන් රොටි, මඩු පිට්ටු, වන්ඩු, බෙලිමල් ඇතුළු විවිධ ඖෂධීය පාන වර්ග, මැල්ලුම් වර්ග, ඇතුළු ආදිවාසීන්ට ආවේණික වූ ලුණු මිරිස් ඇතුළු පිසින ලද ආහාර වර්ග රැසක්ම නැවුම් බවින් යුතුව මෙම අලෙවි සැලෙන් මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.
මීට අමතරව කුරක්කන් පිටි, මඩු පිටි, කැකිරි, පිපිඤ්ඤා, ආදී ආහාර වර්ග මෙන්ම ඇටමාල, සත්ත්ව ඇටවලින් තැනූ මුදු වළලු , ගල් දුනු , ඊතල ආදී ආදිවාසීන්ගේ ආභරණ හා ආයුධ වර්ගද, මීපැණි ඇතුළු විවිධ ඖෂධ වර්ගද මෙම වෙළෙඳ සැලින් මිලදී ගැනීමට පහසුකම් සලසා තිබේ.

සිය වෙළෙඳ සැල ගැන අදහස් දැක් වූ ඌරුවරිගේ අරුණී අප සමග මෙසේ අදහස් දැක්වූවාය.
දඹානේ ආදිවාසී ගමට විශාල පිරිසක් දිනපතාම එනවා. හැබැයි ඒ අය නගරේ ඉඳල මෙහෙට එන්නේ මේ පැත්තේ තියෙන සිරිත්විරිත් සංස්කෘතික අංග දැක බලාගෙන අපේ ආහාරවලත් රස බලාගෙන යන්න.
හැබැයි මෙහෙට එන පාර දෙපැත්තේ කොච්චර කඩ තිබුණත් ඒ හැම කඩේකම තියෙන්නේ නගරේ තියන බිස්කට් පැණිබීම වගේ දේවල්  . මිනිස්සු ඒවට කැමැති නැහැ. මෙහෙට ආවම අහන්නේ අපේ කෑම වර්ග තියෙනවද කියලා.
මායි සුමනයි සහෝදරියො.  අපි දෙන්න පාසල් ගිහින් ඉවර වෙලා නිසා නිකම් හිටියේ . ඒ නිසා තමා අපි දෙන්න මේ වගේ වැඩක් කරමු කියල පටන් ගත්තේ . අපේ තාත්ත වගේම අම්මත් අපිත් එක්ක මේ වැඩේ කරගෙන යනවා. අම්ම ගොඩක් කෑමජාති හදල දෙනවා. තාත්තත් උදව් කරනවා. කුරහන් පිටි වගේ දේවල් අපිට පිටින් ලැබෙනවා. 1 (1)

මේ කෑම හුඟක් දේවල් ආදිවාසීන්ගේ  කෑම. මේ විදිහේ කෑම වෙන කොහේවත් කන්න ලැෙබන්නේ නැහැ. ඉස්සරහ පිල්කොටේ වාඩිවෙලා නිදහසේ ඕනි කෙනෙකුට මේ කෑම රස බලන්න පුළුවන්. අඩුම තරමේ අපි පිඟන් කෝප්පවත් පාවිච්චි කරන්නේ නැහැ. පොල්කටු කෝප්ප, කැන්ද කොළ, අතුල්පත් වගේ දේවල්වලට තමා කෑම දෙන්නේ. හුඟක් දුර ඉඳල එන අය හරිම ආසාවෙන් කෑම මිලදී ගන්නවා. ඒ වගේම රසයි කියල කනවා. 

පිරිසිදුකම ගැනත් මිනිස්සු ඇහැ ගහගෙන ඉන්න නිසා අපි ඒ ගැනත් සැලකිලිමත් වෙනවා. අපි දෙන්න හොඳට ඉගෙන ගෙන තියෙන නිසා මේ හැමදේම හරියට කල්පනාවෙන් කර ගන්නවා. 

අපි කෑම හදල සීතල වෙන්න ගොඩකරල තියන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඉවර වෙන ප්‍රමාණයට ටික ටික තමා හදල දෙන්නේ. මේ නිසා උණුවෙන්ම කන්න පුළුවනි. ඒ වගේම පිරිසක් ඇවිත් කෑම ඇණවුම් කළොත් හදල දෙන්නත් අපි ලෑස්තියි.  
මේ වෙළෙඳ සැල අද වෙනකොට දෙස් විදෙස් සංචාරකයෝ අතර හරිම ජනප්‍රියයි. දඹානට එන ඕනම කෙනෙක් මෙතන්ට ඇවිත් පොල්කට්ටෙන් බෙලිමල් එකක් හරි බීල යන්න අමතක කරන්නේ නැහැ. අපි දෙන්නත් අම්මත් එක්ක එකතුවෙලා හැම වෙලාවෙම ඒ අයට උසස් සේවාවන් දෙන්න මහන්සි ගන්න නිසාද කොහෙද හුඟක් වෙලාවට මෙතන්ට එන අය අපිට ස්තුති කරල යන්න අමතක කරන්නේ නැහැ. කොහොම වුණත් රටේ කොහේවත් නැති පදමට හදපු අපේ කෑම රටේ මිනිස්සුන්ටත් කන්න දෙන්නට ලැබීම ගැන අපි හරියට සතුටු වෙනවා.

මීගහකිවුල – එන්. කේ. නිශ්ශංක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>