දූෂණයෙන් තොර ගමක් බ්හි කළ හැකිද?

1948 වර්ෂයේ සිට මේ දක්වා අප ලැබූ නිදහසට වසර 70ක් ගතවී හමාරය. එකී කාලය තුළ මෙරට සමාජ, දේශපාලන, ආර්ථික ආදී නොයෙක් දිශාවන්ගෙන් අගතියට පත් වූ බවක් නම් නිසැකයෙන් මේ වනවිට පෙනෙන්නට තිබේ. අද වනවිට අපේ රට විශාල ණය බරකින් පෙළීම එයට කදිම උදාහරණයකි. දූෂණය, වංචාව සෑම තැනකම රජකර වන්නේය. මෙනිසා %දූෂණයෙන් තොර ගමක්^ යන තේමාව යටතේ වෙනසක ඇරඹුම පළාත් පාලන මැතිවරණයෙන් අරඹීම සඳහා පැවති මාධ්‍ය හමුවක් පසුගියදා තැපැල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. පවත්නා පක්ෂ පිළිබඳවත් මෙවර පැවැත්වෙන මැතිවරණය පිළිබඳවත් ඒ හා සමගාමීව තමන්ගේ මතය කුමක්ද යන්නත් සමාජයේ නොයෙක් ක්ෂේත්‍රවල නියුතුවන්නන්  සහභාගී වූ මෙහි ආරාධිත දේශකයන් ස්වකීය පෞද්ගලික අදහස් හුවමාරු කර ගත්තේ මෙලෙසිනි. 


'හොරකම් කරන මොන්ටිසෝරිය කියන්නේ ප්‍රාදේශීය සභාව' ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා

sunil perera copy' පුංචි ඡන්දය කියන්නේ මහා විශාල පරිවර්තනයක් සිදු කරන ආණ්ඩු පෙරළන ඡන්දයක් නෙමෙයි. මෙතෙක් කලක් ක්‍රියා කළ ආකාරය වෙනස් කරමින් වෙනසක් ඇති කරන්න සමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් ඡන්දයක් දෙන්න පුළුවන්.
අපි හැමෝටම අවශ්‍ය මේ රටට හොඳක් වෙනවා දකින්න.  නමුත් පක්ෂ දෙකක් 1948 වර්ෂයේ ඉඳන් අවුරුදු 70ක් මේ වෙනකම් රට පාලනය කරලා තවත් ඒ සඳහා අවස්ථාව දෙන්න කියලා ඉල්ලනවා. මම නම් කියන්නේ මේ පක්ෂ දෙකට නම් මෙවර ඡන්දය දෙන්න එපා කියලයි. අවුරුදු 70ක්ම ඡන්දය දීපු අයට නොදී අඩුම ගානේ ගම රැකෙන්නවත් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නොත් මම විශ්වාස කරන අයුරින් නම් හොරකම් කියන ඒවා යම්කිසි ලෙසකට නැති කරන්න පුළුවන්. ප්‍රාදේශීය සභා සඳහා පත්වන අය තනිකර එන්නේම හොරකමයි. මොන ජනාධිපති කෙනෙකුගෙන් හරි, ඉහළ පැලැන්තියෙ කෙනෙකුගෙන් හරි තමා ශක්තියක් ලබනවා නම් ඇත්තෙන්ම තමා ඒ පිළිබඳව ලැජ්ජා වෙන්න ඕන. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වුණත් තමන්ට ලබා ගන්න අවශ්‍ය හැමදේම ඔහු  ලබා ගන්නවා. නමුත් මිනිස්සුන්ට කිසිම සේවයක් කරන්නේ නැහැ. මෙයද රටේ සැබෑ තත්ත්වය. රටේ අසරණ මිනිස්සුන්ට තමයි මේ සියලුදේ සිදුවන්නේ. 
මේ ළඟකදී ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයාට දඩයක් නියම කර තිබෙනවා බෝට්ටුවකට නැග ජීවිත ආරක්ෂක ජැකැට්ටුව පැලඳි නැති නිසා. ඒ රටේ ක්‍රියාත්මක වෙන වෙනම ක්‍රියාපටිපාටියක් තිබෙනවා. හැම කෙනාම ඒ ක්‍රමය අනුගමනය කළ යුතුයි. අගමැතිවරයා වුවත් ඔහු වැරැද්දක් කර තිබේ නම් ඒ දේට දඬුවම් හිමිවෙනවා. 
අපේ රටේ ඉන්නේ පට්ටපල් හොරු. නමුත් මම නම් ප්‍රකාශ කරන්නේ දඬුවම නියමිත අයුරින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මේ රටේ නීති පද්ධතියක් ස්ථාපිත විය යුතුයි. දූෂණය නැති කරන්න නම් නීතිය නිවැරදි ලෙස ස්ථාපනය කළ යුතුයි. ඒ අනුව  ඉහළ සිට පහළට දඬුවම් කරන්න ඕන. නැතිව පහළ සිට ඉහළට දඬුවම් කරන්න කවදාවත් බැහැ. 
තමාට වාසි දායක නම් වැරදි ක්‍රමවේදයක් තම ආයතනය අනුගමනය කළත් ඒ වැරදි ක්‍රමය වෙනස් කරන්න දෙන්නේ නැහැ. නිලධාරීවාදී පාලනය කියන්නේ ඒකට. තමා වැඩකරන ආයතනයට අවංක වෙන්න. වැඩකරන ආයතනය පාඩුවට දුවනවා නම් ඒ ගැන දුක්වෙන්න. ආයතනයෙන් ලැබෙන්න ඕන වරප්‍රසාද ගැන ඉහළින්ම කතා කරන නමුත් තමාගෙන් ආයතනයට සිදුවිය යුතු සේවය නිසිආකාරව ලබා දෙන්නේ නැහැ. රාජ්‍ය ආයතන සෑදී තිබෙන්නේ මිනිස්සුන්ට කරදර කරන්නද? මිනිස්සුන්ට සේවය කරන්නද? හොරකම් කරන මොන්ටිසෝරිය කියන්නේ ප්‍රාදේශීය සභාව. ඉන් පසුව තමයි පාර්ලිමේන්තුවට එන්නේ. උගත්කමක් දැනුමක් තියෙන පුද්ගලයන් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. නමුත් පාර්ලිමේන්තුව තුළත් යම්කිසි උගත් මට්ටමක් ඇති කළ යුතුයි. ඉදිරියේදී දැක්මක් තියෙන උගත්කමක් තිබෙන අයයි බිහි විය යුත්තේ. ඉස්සර හොරකම් මෙච්චර තිබුණෙ නැහැ.
අපේ රටේ වෙනසක් කරන්න අපේක්ෂා කරන අයම ඡන්දේ දවසේ අර පක්ෂ දෙකටම කතිරේ ගහනවා. ඉතින් කොහොමද වෙනසක් ඇති වෙන්නේ. වෙනසක් ඇති වෙන්න නම් වෙනසක් සිදුකරන්න ඕන. මම කියන්නේ මේ පුංචි ඡන්දයෙන් ශක්තියක් පෙන්වන්න මේ දෙගොල්වන්ව පොඩ්ඩක් හොල්ලන්න ඕන. ඒ වුණා කියලා ජනතා විමුක්ති පෙරමුණට මැජික් සංදර්ශනයක් ඉදිරිපත් කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ  කියනකොට ජනතාව අතර ඇති කරලා තිබෙන්නේ වෙනස්ම මතයක්. නමුත් එයින් මිදී තමුන්නාන්සේලාගේ දායකත්වය මෙවර අනිවාර්යයෙන් අපි අපේක්ෂා කරනවා. තරුණ ජවය උඩට ගේන්න මෙතක් කල් මේ රජයන් දෙකම අපොහොසත් වී තිබෙනවා.'

'පැරණි දේශපාලනය තුළ දේශපාලනයෙන් හම්බකර ගන්නවා කියන අදහස තිබුණේ නැහැ' ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

'ග්‍රාමීය පමණක් නොව මුළුමහත් සමාජයම වෙළී පවතින දූෂණය විවිධ මට්ටම්වලින් සමාජය තුළ සාකච්ඡා කළ හැකියි. දේශපාලන තන්ත්‍රයේ සිටින කණ්ඩායම අතිශයින්ම දූෂිතයි. පක්ෂ මාරු කරන එක කලින් කලාතුරකින් තමයි සිදු වූයේ. නමුත් දැන් සමහර පුද්ගලයන් DSC_4837සිටින පක්ෂය පවා දැනගන්න අපහසුයි. දැන් පක්ෂයේ ලේකම්වරුන්ට පවා මාරු වෙන්න පුළුවන්. මොවුන්ට තිබෙන අභිලාෂ එකයි. 1970 ගණන්වල දේශපාලන පන්තිය සමන්විත වී තිබුණේ ප්‍රභූ යැයි කියන පැලැන්තියකට. ඒ අය ඉහළ සමාජ පංතියක් නිරූපණය කළ ධනඋපායක් තිබුණ පිරිස්. ඔවුන්ට දේශපාලනය භාවිත කළේ ධනෝ පායන මාර්ගයක් ලෙසට නොවේ. ඔවුන් ස්වකීය ධනය වැය කරමින් දේශපාලන ප්‍රභූත්වයක් ලැබු අයයි. 
නමුත් නිදහස් අධ්‍යාපනය හරහා, 56 දේශපාලන ක්‍රමය හරහා අපේ සමාජයේ පහළ පිරිස්වලට ඒ සඳහා ඉදිරියට ඒමේ උනන්දුවක්, තරගකාරීත්වයක් ඇති වුණා.මේ නිසා ආර්ථික වශයෙන් පහළ මට්ටම්වල සිටින අය පවා දේශපාලන බලය සඳහා තරග කරන්න පටන් ගත්තා. ඔවුන් දේශපාලන තන්ත්‍රය තුළට පැමිණි විට යම්කිසි ලෙසකින් ජීවත්වීමට අවශ්‍යයි. ඔවුන්ට පවුලෙන් හිමි වූ ධනෝපායන මාර්ග නැහැ. ඔවුන්ට තනතුර නිසා හිමිවන වැටුපෙන් ද මෙය සිදුකිරීම අපහසුයි. මේ නිසා නිතරම ස්ථාවර හිඟයක් තිබෙනවා. මෙය පියවන්න නම්, ඍජුව හෝ වක්‍රව මුදල් දේශපාලන ප්‍රවාහයෙන් උපයා ගත යුතුයි. ඒවගේම ඒ සදහා උදව් කරන අයටත් උදව් කරන්න ඔහුට සිදු වෙනවා. මෙය දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ ස්ථාවර තත්ත්වයක්. දැන් තිබෙන දේශපාන පක්ෂ නියෝජිතයන් වෙන දේවල් සඳහා නොව දේශපාලනයට සහාභාගී වන්නේම මේ සඳහා. පැරණි දේශපාලනය තුළ දේශපාලනයෙන් හම්බකර ගන්නවා කියන අදහස තිබුණේ නැහැ. 
දැන් තිබෙන දේශපාලන තත්ත්වයක් කාලයක් එකලෙසින් පැවතුණ නිසා මෙහි වැඩ කරන ආයතනික පිරිස් තමන්ට අවශ්‍ය ලෙස ආයතනය හදාගන්නවා. 
අපි මේ පිරිස අයින් කරන්න ඕන. අපිට මෙයින් එළියට යා හැකිව තිබන එකම විකල්පය එයයි. එය ඉතා සරල එකක්. මම ඒ නිසා මේ පාර සහයෝගය දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. සමහර පුද්ගලයන් අසන දෙයක් තමයි, ජනතා විමුක්ති පෙරමුණට ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙනවාද යන්න කාරණය. ඉතින් මම අහන්න කැමතියි එක්සත් ජාතික පක්ෂයේ හෝ පොදුජන එක්සත් පෙරමුණේ තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියලා. එහෙම තිබෙනවා නම් මට කියන්න පුළුවන් ජවිපෙ එකට එහෙම එකක් නැති එක ප්‍රශ්නයක් කියලා. එක එතරම්ම අවශ්‍ය දෙයකුත් නෙමෙයි. ගම්වලට පහළ මට්ටමේ කටයුතු කරන්න ලොකු ප්‍රතිපත්ති අවශ්‍ය නැහැ. 
මෙහි ඇති විශේෂත්වය නම් ජනතා විමුක්ති පෙරමුණෙන් පත්වන පුද්ගලයන් දූෂිතයන් බවට පත්වීමට කල් ගත වීමයි. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයේ අධීක්ෂණය යටතේ. ඒනිසා එවැනි දූෂිත ක්‍රියා කිරීමට ලැබෙන ඉඩකඩද අඩුයි. අනික් ප්‍රධාන පක්ෂ තුනේම එලෙස සිදුවන්නේ නැහැ. දැන් ඔය ප්‍රතිඥා දුන්නට ඡන්දය ඉවර වුණාම ඔවුන්ට කිසිම පාලනයක් හිමිවන්නේ නැහැ. ඔවුන්ගේ තිබෙන අරමුණුවල පරස්පරතාව නිසා එහෙම කරන්නත් බැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වී ඇති ආකාරය තුළ තිබෙනවා තමන්ගේ පක්ෂය තුළින් පත්වන මහජන නියෝජිතයා කෙරේ යම් කිසි පාලනයක්. ඇමෙරිකාවේ වුවත් මහජනයා හා ඒ කොමියුනිටි එකත් අතර තිබෙන සම්බන්ධය ඉතාම වැඩියි. නමුත් එරට වගේ ලංකාවේ ජනයාගෙන් මොවුන් පාලනය වන්නේ නැහැ. මොවුන් ජනයාගෙන් පාලනය වන්නේ නැතිනම් වෙනම යාන්ත්‍රණයක් තිබෙන්න අවශ්‍යයි මොවුන් පාලනය වන්න. ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන වැදගත් දෙය වන්නේ එහි සිටින පාලකයන් පක්ෂයෙන් පාලනය වන එක. අනික් පක්ෂ තුනේම එහෙම පක්ෂයෙන් පාලනයක් සිදුවන්නේ නැහැ. ගම් මට්ටමේ දූෂිත ක්‍රමය නැති කරන්න දැන් තිබෙන එකම ක්‍රමය තමයි මේ ඉන්න ප්‍රභූ පිරිස වෙනුවට වෙනත් ප්‍රභූ පිරිසක් ගෙන ඒම. එයට ඉන්න සුදුසුම අපේක්ෂකයන් තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්.*

'අපේ ළමයින්ට පාසලක්, අපේ ගමට පාරක් කියලා හිතන්න පුළුවන් නායකයෙක් පත් කර ගන්න අවශ්‍යයි' නීතිඥ හර්ෂණ නානායක්කාර

DSC_4828'මම අද පැහැදිලිව කියනවා 1957ට වඩා අද වනවිට දූෂණය, අල්ලස් ක්‍රියාවල අඩුවක් පාඩුවක් නැති බව. අපට දූෂණයක් අල්ලසක් කියන දේ ඇසෙත්ම මතකට නැගෙන්නේ බැඳුම්කර වංචාව ගැනයි. ඒවා වැරදි වගේම එවැනි දේ වැළක්විය යුතු බවට මා පිළිගන්නවා. නමුත් ඊට වඩා අපට නොපෙනෙන අපේ මතකයේ අනුමත වන දූෂිතයන් තිබෙනවා. අපි රජයේ යම් කාර්යාලයකට ගිය විට තමන්ගේ වැඩේ ඉක්මන් කර ගන්න කීයක් හරි දෙන්න පෙළඹෙනවා. අපි ඒ දේ කරනවා පමණක් නොව තමා හිතවත් වෙනත් පුද්ගලයන්ටත් එය ඉක්මනින් සිදු කරගන්නා ආකාරය පිළිබඳ පවසනවා. එයින් සිදුවන්නේ අප විසින් නොසිතාම අල්ලස් ගැනීම සඳහා මාර්කට් එකක් සකස් කර දීමයි. 
මේවැනි දූෂණ ක්‍රියා මගින් ඔවුන් දෙන සේවාවේ ගුණාත්මක බව අඩු වීම සමාජයට ලැබෙන එක් අහිතකර ප්‍රතිඵලයක්. එය නගර සභාව, අධිකරණ පද්ධතියේ, රෝහල්වල, විදුලිබල මණ්ඩලයේ , නගර සභාවේ ආදී සෑම තැනකම සුළු කාර්යමණ්ඩලයේ සිට මෙවැනි දේ දැකගන්න පුළුවන්. ඇත්තෙන්ම මිලියන 500 දුෂණ ක්‍රියාවලට වඩා බරපතළයි මේ කියන තත්ත්වය. දූෂණය නිසා රැකියා අවස්ථාවන් පවා නැති වෙනවා. අනෙක් කාරණය තමයි දූෂණය වංචාවෙන් පිරි රටවල්වල මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉක්මනින් පිරිහෙනවා. එයට හේතුව නම් පිරිසුදු වතුර ටිකක් බීමට හැකියාවක් නොතිබීම, හරි පාරක් හෝ ප්‍රමිතියකින් යුතු වාහන නොතිබීම. මම එසේ පැවසීමට කාරණා කිහිපයක්ම තිබෙනවා. යම් කර්මාන්ත ශාලාවක් විසින් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවා නම් ඒ අපද්‍රව්‍යවලින් පරිසරයට වන හානිය වළක්වන්න කටයුතු කරලයි මුදා හැරිය යුත්තේ. යම් කර්මාන්ත ශාලාවකින් දුමක් හෝ ශබ්දයක් පිටවෙනවා නම් එය තත්ත්ව පාලනයකට යටත්ව සිදුවිය යුතුයි. ඒවා පාලනය කරන නිලධාරීන් විසින් එවැනි ක්‍රියා සඳහා යම් මුදලක් අය කරගත් විට ඒවා වළකන්න කවුරුත් නැහැ. අපේ භාවිතයට එන්නේ අපිරිසුදු ජලය, විෂ දුම ආදියයි. අපි ලොකු ලොකු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට බැණ බැණ හිටියට අපි මේ මට්ටම ගැන බලනවා අඩුයි. නමුත් අපි එතැනයි බැලිය යුත්තේ. මෙවන් තත්ත්වයක් යටතේ රටක නීතියක් පමණක් තිබීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අල්ලස, දූෂණය නැවැත්වීමට නම් අපිටත් උනන්දුවක් අවශ්‍යතාවක් තිබිය යුතුයි. අපි අපේ මනස තුළ මෙවන් වංචනික ක්‍රියා අනුමත කරන තාක්කල් අල්ලස දූෂණය නවතින්නේ නැහැ. වර්තමාන ආණ්ඩුව බහුලව කතා කරනවා අයෝජන ගැන. නමුත් කිසිම කෙනෙක් අයෝජන ගැන කතා කරන්නේ නැහැ දූෂණය තියෙන තැන. කිසිම විශ්වාසනීයත්වයකුත් නැහැ. එනිසා මෙවන් රටවලට විදේශීය විනිමය අයෝජනය කිරීමක් හෝ රැකියා අවස්ථාවන් සඳහා ඉඩකඩ විවරවීමක් සිදුවන්නේ නැහැ. ඒවගේම පසුගිය දිනවල්වල පුවත්පත්වල ප්‍රකාශයට පත් වූ දෙයක් තමයි එක් එක් අමාත්‍යාංශවල මුදල් භාවිත නොකර නැවත ඒවා භාණ්ඩාගාරයට ලබා දීම පිළබඳව. රෝහලට ගිය මිනිසුන්ට බෙහෙත් නැත්නම්, මිනිස්සු ඇඳන් යට නිදියන්න වෙනව නම්, පාසල්වල ඩෙස් පුටු නැතිනම්, ගුරුවරු හිඟනම් කෙහොමද භාණ්ඩාගාරයට මේ ලෙසින් මුදල් ඉතිරි වන්නේ. දූෂණය නිසා සමාජයට සිදුවන බරපතළ ප්‍රශ්නයක් මෙය. දූෂණයට පුරුදු වුණාට පසුව වංචාවට හුරු වුණ කෙනෙකුගේ එය නොමැති විට අතපය දුවන්නේ නැහැ. හැබැයි මේ තත්ත්වය ඇති වන්නේ රුපියල් 100 ගන්න කම්කරුවගේ ඉඳලයි. මේ විදිහට රටක් සංවර්ධනය වේවිද? ඒ නිසා මතක තබාගත යුතු දෙයක් වන්නේ මහා පරිමාණ වංචාවන් ඇතුළේම අපගේ සිත තුළ අනුමත වන දේවල්වලින් පවා වංචා දූෂණ සිදුවන බව. 
මේ කියන සියලු ප්‍රශ්න විසඳීමට නම් ගම් මට්ටමේ සිට අවංක නායකත්වයක් අවශ්‍යයි. අවුරුදු 70ක සිට තිබූ පක්ෂවලින් ප්‍රශ්න විසඳීමට වඩා තිබූ ප්‍රශ්න වැඩි වූ බව අපි දන්නවා. ඒ නිසා අපේ ජීවිත සමෘද්ධිමත් කර ගැනීමට අපට විශාල වගකීමක් තිබෙනවා. මෙය කිරීම එතරම් අපහසු නැහැ. ආත්මාර්ථකාමී නොවී සමාන්‍ය බුද්ධියකින් තොරව තමන්ගේ ඡන්ද අපේක්ෂකයා තෝරා ගත යුතුයි. මගේ ළමයාට පාසලක්, මගේ ගෙදරට පාරක් වෙනුවට අපේ ළමයින්ට පාසලක්, අපේ ගමට පාරක් කියලා හිතන්න පුළුවන් නායකයෙකු පත් කර ගන්න අවශ්‍යයි. ඒ නිසා අවංක, වැදගත් පුද්ගලයන්ට පමණයි අප ඡන්දය දිය යුත්තේ. 

නිලධාරීන්, දේශපාලඥයන්ගේ රූකඩ තත්ත්වයට පත් කර ගෙන ගම සංවර්ධනය කරන්න බැහැ' හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර

'දූෂණයෙන් තොර ගමක් යන තේමාව යටතේ නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව මා කතා කිරීමට කැමතියි.එයට හේතුව මමත් වසර 40කට ආසන්න කාලයක් නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ නිසයි. DSC_4833
රටක නීතිරිතී පද්ධතියක් සකස් කර තිබෙනවා කිසියම් රාමුවක් ඇතුළත. මේ තුළ නිලධාරීන්ට තිබෙන රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට ඉඩදෙනවා නම් දූෂණය කියන දෙය ගොඩක් අඩුකර ගන්න පුළුවන්. දීර්ඝ කාලයක් කැපවීමෙන් ජනතාවට සේවය කළ නිසා ඒ අත්දැකීම මට තියෙනවා. යම් නීනියක් අවශ්‍ය වූ විට වෙනස් කිරීමට මෙන්ම ඇතැම් විට එය ඉක්මවා ගොස් කටයුතු කිරීමට සිදුවන අවස්ථා ද තිබෙනවා. නමුත් දශක කිහිපයක් තිස්සේ සිදු වී තිබෙන්නේ ජාතික මට්ටමේ හෝ වේවා දිස්ත්‍රික් පළාත් මට්ටමේ හෝ වේවා ග්‍රාමීය මට්ටමේ හෝ වේවා නිලධාරීන්ට ඔහුගේ රාජකාරිය නිසි ආකාරව ඉෂ්ට කරන්න හරි ආකාරව ඉඩ ප්‍රස්ථා හිමි නොවීමයි. අපි කුඩා කාලයේ ජීවත් වූ ගම බැලුවහොත් නොයෙක් මලින් පිරි ජලාශ තිබුණා. නමුත් අද වනවිට ඒවා ජපන් ජබර, සැල්වීනියා පැතිරුණු  හබරල, වල් ආදියෙන් ගහන වූ ජලාශ බවට පත්ව තිබෙනවා. මෙතෙනට කවුද ගම ගෙනගියේ. 
නමුත් නැවතත් අපට ඒ ජලාශය තිබූ තැනටම ගෙනියන්න පුළුවන් නම් මම හිතනවා අපි සාර්ථකයි කියලා. ඒසේ වීමට නම් දේශපාලඥයා දේශපාලඥයාගේ වැඩ කොටස නිසි අයුරින් සිදුකරන්න අවශ්‍යයි. දේශපාලඥයා රාජ්‍ය තන්ත්‍රයේ සිට රාජ්‍ය යන්ත්‍රයේ සිටින නිලධාරියාට ඒ වැඩ කොටස කිරීමට දෙනවා නම් එතැන ගැටලුවක් ඇති වන්නේ නැහැ. ග්‍රාම නිලධාරිවරයා ගම් මට්ටමේ සිටින වැදගත්ම නිලධාරියයි. අද ඔහුගේ ස්වාධීනත්වය ද නැහැ. එකල මිනිසුන් විසින් ඇති කරගත් ග්‍රාම සමිති තිබෙනවා. ඒවා නගා සිටුවීමට පවා ග්‍රාමෝදය මගින් පියවර ගත්ත ද එයටත් දේශපාලය ඇතුළු වීමෙන් මිහිපිට නොමැති සමිති සමාගම් පවා පිහිටුවා ගන්නට යෙදුණා වාසි අපේක්ෂාවෙන්. 
මෙය විනාශයක්. හැමතැනම දේශපාලනය. ඉතාම යහපත් චේනතාවෙන් සකස් කළ ග්‍රාමෝදය මණ්ඩලයට ටෙන්ඩර් කැඳවන්නේ නැතිව කොන්ත්‍රාක් කරන්න දුන්නා. ඔවුන් දේශපාලඥයන්ගේ කොන්ත්‍රාත් කටයුතු කරන දේශපාලන අතකොලු බවට පත් වුණා. මෙයින් සිදුකරන වැඩ සඳහා මුදල් වෙන් කරාම එහෙම් පිටින්ම කුට්ටියක් යනවා දේශපාලඥයන්ට. මේක තමයි යථාර්ථය. ඒ නිසා මම කියන්නේ දූෂණයෙන් තොර රටක් හදන්න නම් ගම් මට්ටමේ හෝ ජාතික මට්ටමේ සේවය නියුතු සෑම නිලධාරියෙකුගේම ස්වාධීනතාව තහවුරු කළ යුතුයි. එසේ නොමැතිව දේශපාලඥයන් අතට මේ සියල්ලම රැගෙන නිලධාරීන් ඔවුන්ගේ රූකඩ තත්ත්වයට පත් කර ගෙන ගම සංවර්ධනය කරන්නත් බැහැ. ගම දියුණු කරන්නත් බැහැ. අපි ඉහළ තලයේ නිලධාරීන් සිටි අවධියේදී අපට කෙතරම් බලපෑම් ඇවිත් තිබෙනවාද? නමුත් මම නම් ඒ එකකටවත් ඔළුව නමලා නැහැ. මේ දූෂණය කියන දෙය උඩ ඉඳලයි පහතට ගලාගෙන යන්නේ. පහත ඉඳලා ගලාගෙන එන එකක් නෙමෙයි. ඒනිසා මගේ මතය නම් නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කළ හැකි ඔවුන්ගේ වැරදිවලට දඬුවම් දෙන ලෙස රටේ පාලන තන්ත්‍රයත් යාන්ත්‍රයත් හැඩගැසී නිවැරදිව පාලනය කරන දේශපාලඥයන් සෑම මට්ටමකටම පත් කරන්න අවශ්‍යයි යන්නයි.* 

'ප්‍රධාන පක්ෂ සියල්ලම වාගේ ස්ත්‍රීන් පාචිච්චි කරන්නේ තමන්ගේ ලැයිස්තුව ලස්සන කරන සැරසිල්ලක් වගේ' මහාචාර්ය ලියනගේ අමරකීර්ති

'මම ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙක් නෙවේ. නමුත් ඔවුන් සමග නිරන්තර විචාරත්මකව සිටින කෙනෙක්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුනකට කැඩී තිබුණත් රනිල්, මෛත්‍රී, බැසිල් යන දේශපාලන ප්‍රභූන් අත්‍යන්තයෙන්ම දූෂිතයන් බව අපි කවුරුත් දන්නවා. ඒ දේශපාලනික දූෂිත භාවය පෙන්වන ආචාර ධාර්මික ධර්මනය තමයි ජනතා විමුක්ති පෙරමුණ. අපි හොරෙක් නොවේ කියා මහජන ඇසකින් පිළිඹිබු වේ නම් අපි හරි බයයි ඒ මහජන දර්පණයට. ඒ දර්පණයට අසුවන ආචාර ධර්මනය වන ජනතා විමුක්ති පෙරමුණ බව මෙවර මැතිවරණයේදී අපි පෙන්විය යුතුයි. අපි ගමින් ගමට ගොස් මිනිසුන්ට මේ පණිවුඩය කියන්න අවශ්‍යයි. 
මහජන දේපොළ, මුදල් හොරකම් කරන එකට වඩා අපිට නොහැකිද මේ දූෂණය කියන වචනය මේ මැතිවරණ සටනේ වැදගත්, අර්ථවත් විභවතාවක් ලෙස ගෙන බලන්න. මම හිතන්නේ පුළුවන්. මේ මැතිවරණ සටන ඇතුළේ දූෂණ ක්‍රියා ප්‍රධාන පක්ෂ සියල්ලම වගේ සිදුකරනවා. ස්ත්‍රී නියෝජනය වැඩි වී තිබෙනවා මෙවර මැතිවරණයේදී. නමුත් ප්‍රධාන පක්ෂ සියල්ලම වාගේ ස්ත්‍රීන් පාචිච්චි කරන්නේ තමන්ගේ ලැයිස්තුව ලස්සන කරන සැරසිල්ලක් වගේ. ස්ත්‍රීන් කියන්නේ අපේ දේශපාලනය සරසන සැරසිල්ලක් නෙමෙයි. 
ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් මෙවැනි මැතිවරණයකදී ස්ත්‍රීන්ගේ කාර්යය ශක්තිය, තර්ක කිරීමේ ශක්තිය, සහාභාගීවීමේ ශක්තිය, ප්‍රශ්න කිරීමේ ශක්තිය සහ මේ රටේ ආර්ථිකයට ස්ත්‍රීන් දෙන දායකත්වයේ ශක්තිය සමරන්න. එවැනි ස්ත්‍රී ක්‍රියාධාරිනියක් නිර්මාණය කරගන්න පුළුවන් මේ මැතිවරණයේදී, එය දූෂණයෙන් තොර ගමක් යන අර්ථකථනය පළල් කිරීමේ එක අංගයක්. 
මේ පළාත් පාලනය යන සිංහල යෙදුම ඇත්තෙන්ම දූෂිතයන්ටම ගැළපෙන යෙදුමක්. ඉංග්‍රීසි යෙදුම මම හිතන්නේ ඊට වඩා ප්‍රබලයි. පළාත් පාලන කිව්වහම එහි අර්ථය වැසෙනවා කියලයි මම හිතන්නේ. එදා ඉඳලා කොළඹ ඉන්න ලොකු දූෂිත හෙංචයියන්ගේ පොඩි දූෂිත හෙංචයියන් සිටින තැන තමයි පළාත් පාලන ආයතන කියලා කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අය මෙයින් හම්බකරගන්න හදන පිරිසක් නොවන නිසාම, අර කියන ආචාර දර්පණයෙන් යුක්ත නිසාම ඔවුන්ට පුළුවන් කොළඹ ඉන්න ලොකු හොරුන්ට අභියෝග කරන්න ගමේ ඉඳලා. අන්න ඒක තමයි අපි නියම ලෝකල් ගවර්මන්ට් කියලා කියන්නේ. මේ හැමදෙයක් ගැනම වගකීමක් පාලනයක් තියනවා මේ ජනතා විමුක්ති පෙරමුණට. ඔවුන්ට තිබෙනවා ක්‍රියාධර සංස්කෘතියක්. ඒ නිසා මම සිතනවා හුදෙක් ආර්ථික මෙන්ම මහජන දේපොළ හොරාකෑම වගේ දේවල් වැළැක්වීමට වඩා දේශපාලන සංස්කෘතියක් අලුතින් ගොඩනැගීම ප්‍රජාතන්ත්‍රවාදයට අර්ථයක් දීම සම්බන්ධයෙන් මේ මැතිවරණය භාවිත කරන්න පුළුවන් කියලා.'

සටහන- ෂෙහානි දිල්රුක්ෂිකා/ඡායාරූප – ශාන්ත රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>