දත් කැකුළු පාලා සුරතල් සිනා දීලා ‍බොළඳ බස් දීලා කෙළියි සියො ළඟ දූලි ගාලා

 

 

Suhuru situwili

නිපුන් ඒ්කනායක

'මාව හිරේ දැම්මත් මේ සංවර්ධනය කරගෙන යනවා. පළාත් පාලන ඡන්දය නිසා ගෙවල් හදන එක නවත්තන්නෙ නෑ'  මේ සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයකි.සජිත් ප්‍රේමදාස වගේම තවත් මැති ඇමතිවරු මෙන්ම ආණ්ඩු පක්ෂ හා විපක්ෂ දේශපාලඥයෝ ඡන්දය ඉලක්ක කරගනිමින්, භාණ්ඩ බෙදීම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව නොරහසකි. මැතිවරණ කොමිසම නිදිද, වැඩක් නෑ, මේ ජනතාව කියන කතාය.
 
19 වැනි සංශෝදනයෙන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කළද එයින් කිසිදු ප්‍රයෝජනයක් ඇතිවී නොමැති බව ජනතාවගේ මතයයි. මේ පිහිටු වූ කොමිෂන් සභාවලට පත් කරන්නේ විශ්‍රාම ගිය පරිපාලන නිලධාරීන් වන අතර, ඔවුන් කරන්නේ තමන්ගේ පැලැන්තිය ආරක්ෂා කර ගැනීමයි. එනම්  ඔවුන් හා සම මට්ටමේ විධායක නිලධාරීන් ආරක්ෂා කරගැනීමයි. 
 
පසුගියදා පත්කළ එක් ස්වාධීන කොමිසමක් වන පොලිස් කොමිසමේ නිලධාරියෙකුට අල්ලස් චෝදනා එල්ල වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. කොමිසමත් අල්ලස් ගන්නවා නම් කවර කතාද? මේ වනවිට රාජ්‍ය සේවා, පොලිස්, මැතිවරණ,ප්‍රසම්පාදන කොමිසන්ද පත්කළාට මේ වනවිට ඉන් ජනතාවට ලැබුණු සෙතක් නැත. මේවාට විශ්‍රාම ගිය නිලධාරීන් පත්කර කොමිෂන් සභා විහිළුවකට ලක් නොකර කළ යුත්තේ කාර්යක්ෂම හා ඵලදායී අත්දැකීම් ඇති විශ්‍රාමික නිලධාරීන් පමණක් පත්කර මෙම කොමිෂන් සභා පණ ගැන්වීමයි.
 
මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දක්ෂ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරයකි. ඔහු කොන්ද කෙළින් තබාගෙන වැඩකිරීමට කැමති නිලධාරියකු වුවද, සජිත් ප්‍රේමදාසලා කරන ප්‍රකාශවලින් හා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලඥයන් කරන ප්‍රකාශවලින් කෙළින් කරන්නට යන කොන්ද නැවත දෙකට නැවීමට සිදුවේ. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද දේශප්‍රිය මහතා පැවසූයේ මැතිවරණ නීතිය උල්ලංඝනය කරනවා නම් දණහිසින් පහළට නොව හිසටම වෙඩි තබන ලෙසයි. නමුත් පසුව ආණ්ඩු මාරු වී තිබෙන මේ මැතිවරණයේදී ඔහු කියන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවකි. &ජනතාවට භාණ්ඩ බෙදා දීමට රජයේ තීරණය අනුව හැකි බවත්, ඒවා බෙදීමට තීරණය ගන්නේ මැතිවරණයට පෙර නම් ඊට විරුද්ධ විය නොහැකි බවත්* හෙතෙම පවසයි.
 
මහින්ද දේශප්‍රිය මහතා පසුගිය කාලයේ කතා ගොඩක් කීවේය. &වත්කම් බැරකම් නැති අයට මම ඡන්දය ඉල්ලන්න දෙන්නෙ නෑ* යැයි ඔහු පැවසීය. නමුත් කීදෙනෙක් වත්කම් බැරකම් ලබාදී තිබෙනවාද ? ඒවා බැලීමට අපට නොහැක. ඉන්දියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියේ  නම් මේ හැම දෙයක්ම ලබා දැනගැනීමට පුළුවන. ජයලලිතා පටන්  සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි, නරේද්‍ර මෝදිගේ වත්කම් බැරකම් මේ වෙබ් අඩවියේ දැකගත හැකිය. නමුත් ලංකාවේ එසේ සිදුනොවේ. ඉන්දියාවේ මැතිවරණ කොමිසමට ඇති බලය ලංකාවේ මැතිවරණ කොමිසමට නෙමැතිද. විය යුත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවාඩු පාඩුවේ ඉන්න වේලාවට ඉන්දියාවේ මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ගොස් එය හොඳින් අධ්‍යයනය කිරීමය. එහි ඇති බලතල හොඳින් කියවා වටහා ගැනීමය.
 
&මැච් එකට අපි ලෑස්ති. පිච් එක තාම නෑ* සභාපතිවරයා විටෙක කීවේය. පිච් එක දෙන්නේ ආණ්ඩුවෙනි. මැතිවරණ කොමසාරිස්වරයා මේ බලතල අතට ගත යුතුය. ස්වාධීන කොමිසමෙන් කරන්නේ එයයි. පිච් එක හදලා දෙන්නෙ නැතිනම් පිච් එක සාදා මැච් එක ගැසීමට ඉඩ සාදා දිය යුත්තේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාය. රජයට වාසි සහගත විකට් සාදා ගැනීමට දෙනකම් බලා සිටීමට තරම් ස්වාධීන කොමිෂන් සභාපතිවරයකු පහළට වැටීමට වුවමනා නැත. ඉන්දියාවේ ජාතික මැතිවරණවලදී වගේම ප්‍රාන්ත මැතිවරණවලදීත් දින තීරණය කරන්නේ ඉන්දියානු මැතිවරණ කොමිෂන් සභාවය. නමුත් අපේ රටේ මුලින්ම ඡන්දය තිබෙන දිනය ගැන මුලින්ම මාධ්‍යයට පැවසූයේ පී. හැරිසන් මන්ත්‍රීවරයාය. මෙලෙස දේශපාලඥයන්ට අවැසි ආකාරයට මාධ්‍යයට දින දීමට ගිය විට සිදුවන්නේ කොමිෂම හෑල්ලු වීමය.
දැන් මැච් එක පටන් ගෙන ඇත. මහින්ද දේශප්‍රිය මහතා අතින් කැච් එකක් දෙකක් ගිලිහී තිබේ. නමුත් ඉදිරියේදී කැච් මිස් කර නොගැනීමට ඔහු වග බලාගත යුතුය.
 
මැතිවරණ කොමිසමට සිය බලය ක්‍රියාවේ යෙදවීමට කාලය එළඹ තිබේ. පළාත් පාලන එසේත් නොමැති නම් පුංචි ඡන්දය කීවාට අත්තටම මෙය තීරණාත්මක ඡන්දයකි. මෙය පක්ෂවල බලය උරගා බලන මොහොතකි. ආණ්ඩුව අවුරුදු 03ක් ඡන්දය තිබ්බේ නැත. මෙය ආණ්ඩුවේ වැඩ ගැන ජනතාවගෙන් ලබා ගන්නා %රිපෝට්^එකක් වැනිය. ඇත්තටම කිව්වොත් මෙය  ගල උඩ සටනකි. මේ ඡන්ද සෙල්ලමෙන් ජයගැනීමට ආණ්ඩුව මෙන්ම විපක්ෂයද තම උපරිම ශක්තිය යොදවන බව නොරහසකි. ඒ සඳහා යෝකර්, බවුන්සර්, ගුග්ලි මේ හැම පන්දුවක්ම දැමීමට මෙවුහු සූදානමින් සිටිති. 
 
පිච් එක සාදා ගැනීමට ග්‍රව්න්ඩ් එක බුක් කර ගැනීමට බැරි වූ මහින්ද දේශප්‍රියට දැන් කැච් මිස් නොකර පක්ෂවලින් දමන යෝකර්, ගුග්ලි හරියට සීමාවේ සිට දාමනවාද බැලීමට අවස්ථව උදා වී තිබේ. ගුග්ලි යැයි පවසා නිපන්දු දමනවා නම් එයට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටද හෙතෙම වග බලාගත යුතුය. මේ ස්වාධීන කොමිෂන් සභාවක් යටතේ පවත්වන පළමු මැතිවරණය බැවින් ජනතාව ඒ දෙස බලා සිටී. ඒ නිසා දැඩි පීඩනයක්ද දේශප්‍රියට එල්ල වී ඇත.
 
මහින්ද දේශප්‍රිය මහතා විසින් තමාට ඇති බලය පාවිචි කළ යුතුමය. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභාවක බලතල උපරිමයෙන්ම ප්‍ර‘යෝජනයට ගතයුතුය. මැතිවරණ නීති උල්ලංඝනය කරනවා නම් පක්ෂ විපක්ෂ නොබලා දඬුවම් කළ යුතුය. මන්ද නැතිනම් කොමිෂන් සභාවක සභාපතිවරුන් දෙස ජනතාව බලන්නේ විශ්‍රාම ගොසිනුත් ආණ්ඩුවට කඩේ ගොස් වාසි ලබා ගන්නන් හැටියටය. ඉන්දියාව වැනි විශාල රටක මැතිවරණ කොමිෂන් සභා ස්වාධීනව, වැඩි බලයක් සහිතව කරගෙන යෑමට හැකි නම් අපේ පුංචි රටේ නීති ක්‍රියාත්මක කරන්න නොහැකිවීම හාස්‍යයට කරුණකි.
 
ඉන්දියාවේ රැලියක් පවත්වනවා නම් පක්ෂ මහ ලේකම් එයට සහභාගි වන අපේෂකයන්ගේ ලැයිස්තුවට පවා අනුමැතිය මැතිවරණ කොමිසමෙන් ලබාගත යුතුය. මහින්ද දේශප්‍රිය මහතාටද එවැනි බලයක් ලබාගෙන කටයුතු කිරීමට බාධාවක් නැත. මන්ද ඔහු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු බැවිනි. ඕනෑම මාධ්‍යයකින් අසන ප්‍රශ්නවලට හොඳින් උත්තර දීමට මහින්ද දේශප්‍රිය මහතාට පුළුවන. ඔහුගේ කතාව හා සිනහව ආකර්ෂණීයය. මා දැක ඇත්තේ ඔහු සිනා සී සිටින ආකාරයයි. සිනාසෙමින් සිටියාට කාරි නැත. ඉදිරියට ලොකු කාර්යයක් ඇත. ඔහු පැවසූ ආකාරයට වත්කම් බැරකම් ‍නොපෙන්වන අයට ඡන්දය ඉල්ලීමට ඉඩ නොදිය යුතුය. ඒ වාගේම බලතල සියතට ගෙන පිච් එකත් සාදාගෙන මැතිවරණ කොමිසමෙන්ම  මැතිවරණය පැවැත් වීම කළ යුතුය. එමෙන්ම මැතිවරණ කොමිසම අවශ්‍ය බලය ලබාගත යුතුය.
 
නැතහොත් අපට ඔහු ගැන පැවසීමට සිදුවන්නේ 
'දත් කැකුළු පාලා 
 සුරතල් සිනා දීලා 
‍බොළඳ බස් දීලා
කෙළියි සියො ළඟ දූලි ගාලා' යනුවෙනි.      

 

One thought on “දත් කැකුළු පාලා සුරතල් සිනා දීලා ‍බොළඳ බස් දීලා කෙළියි සියො ළඟ දූලි ගාලා

  1. Deepal Nirosh

    මා දැනුවත්ව නම් ඔය එක කොමිසන් සභාවක්වත් ස්වාධීන නැහැ. මහින්ද දේශප්‍රිය හෝ වෙන කවුරු හෝ කොතරම් දක්ෂ එඩිතර නිලධාරියෙක් වුව ද අනභිනත පුද්ගලයෙකු වීමට ඇති අවකාශ අති අවමයි. අනෙක ඔහු පසුගිය කාලෙ මැතිවරණ කොමසාරිස් වශයෙන් තනි තීරණ ගතහැකි පුද්ගලයෙක්. එහෙත් අද කොමිෂමක් වශයෙන් සාමූහික තීරණ ගැනීමට බැඳි සිටින අයෙකි. ඇත්ත වශයෙන්ම අපේ රටට ගැලපෙන්නෙ කොමිසමකට වඩා බලගතු එක් තනතුරක්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>