තියෙන අර්බුද මදිවට ඇති කරන අර්බුද

Suhuru

රටක් මිලදී ගන්න ඕනෙ නම් විකුණන්න අය ඉදිරිපත් වෙනවා* මෙහෙම කිව්වේ පැනමාවේ හිටපු නායකයෙකු වූ මැනුවෙල් නොරියේගාය. මැනුවෙල් නොරියේගා සම්පූර්ණයෙන්ම බටහිර ගැත්තෙකු විය. නමුත් ඔහුට මිය යන්නට සිදු වුණේ ඇමෙරිකාවේ හිර ගෙදරකය. මොහුගේ ප්‍රකාශය ඉතාමත් බැරෑරුම්ය. දේශපාලනිකව හිතන පතන අයට නම් මෙහි ඇති ගැඹුරු හරය වටහා ගන්නට එච්චර අපහසු වන්නේ නැත. ඇත්තටම ලෝකය පුරාවටම තමුන්ට උපක්‍රමිකව වැදගත්කමක් ඇති රටක් වේ නම් තමන් සතු සියලු ශිල්ප පෙන්නා එම රටවල් උපායශීලී ලෙස අත්පත් කර ගැනීමට බටහිර ඉතා දක්ෂය. මේ සියලු ලෝක අර්බුදවලට පසුබිම් කතාවක් ඇත. මෙය නිර්මාණශීලී ව්‍යාකූලතාවක් ලෙස හඳුන්වයි. 

අප රටවල් මෙන් නොව ඇමෙරිකාව වගේ බටහිර රටවල්වල විදේශ ප්‍රතිපත්තියක් හදන්නේ ඉදිරිය බලාය. ලෝක බලවතුන් වීමට නම් ඔවුනට සම්පත් අවශ්‍යය. සම්පත් ලබා ගැනීමට එරෙහි වන්නන් මර්දනය කළ යුතුය. ඒ සඳහා යුදෝපායමාර්ගිකව වැදගත් වන්නාවූ භූමි ප්‍ර‘දේශ අවශ්‍යය. එම රටවල් බලෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ අබ්බගාත කර බටහිර රූකඩ ලෙස තබා ගන්නා බව නොරහසකි.

ලෝක යුද්ධයෙන් පසුව බටහිරට මහත් ගැටලුවක්ව පැවතුණේ මැදපෙරදිග හා ආසියානු මුස්ලිම් රටවල් දැඩි ලෙස ප්‍රගතිශීලී ආණ්ඩුවලින් පාලනය කිරීමයි. ඛනිජ තෙල් සම්පත් ඇති අරාබි රටවල් වේගයෙන් සමාජවාදී කොමියුනිස්ට් මතවාදයන්ට කෙමෙන් නැඹුරු වන්නට පටන් ගත්තේය. විශේෂයෙන්ම ඉරානය තුළ තෙල් ඒකාධිකාරය පැවතුණේ %British Petroleum Corperation^ එකටය. නමුත් එවකට ඉරාන අගමැති වූ එමෙන්ම ප්‍රගතිශීලී නායකයකු වූ මොහොමඩ් මොසඩේ (Mohommad Mosaddegh) තෙල් සම්පත් ජනසතු කළේය. එවකට තෙල් ඒකාධිකාරය පැවැති බටහිරට මේ හේතුවෙන් කේන්ති ගියේය. 1951 සිට 1953 දක්වා බලයේ සිටි මොහොමඩ් මොසඩේව ඇමෙරිකානු හා එංගලන්ත ඔත්තු සේවාවල ආධාරයෙන් බලයෙන් පහකළ බව නොරහසකි. විවෘත ආර්ථිකයේ සතුරා යනු ජනසතු කිරීමයි. සූවස් ඇළ යනු ආර්ථික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයකි. එය නැව් ගමන්ගන්නා වටිනාම ඇළ මාර්ගයකි. මෙම සූවස් ඇළ අයිති වන්නේ ඊජිප්තුවටය. 1869 සිට බ්‍රිතාන්‍ය හා ප්‍රංශය මගින් පාලනය වූ සූවස් ඇළ 1956 ජූලි 26 වැනි දින ජනසතු කළේ එවකට ඊජිප්තු ජනාධිපතිවරයාව සිටි අබ්ඩෙල් නසර්ය. (Gamal Abdel Nasser) සූවස් ඇල පිළිබඳව ලෝක බලවතුන් රත්විය. මෙය අර්බුදයක් නිර්මාණය කළේය. ඊශ්‍රා‘යෙලය කුලප්පු කළ බටහිර ජාතීහු ඊජිප්තුවට පහර දුන්හ. ඊජිප්තුව අස්ථාවර කළහ.

සිරියාව යනු මැදපෙරදිග ඇති විශිෂ්ට රටකි. එය උපක්‍රමික වශයෙන් වැදගත් භූමියකි. විශේෂයෙන්ම තෙල් සම්පත වගේම යුරේෂියාවට තෙල් ප්‍රවාහනය කරන නළ පිහිටා ඇත්තේද යේමනය හා සිරියාව හරහාය. වසර ගණනක් තිස්සේ සිරියාව අස්ථාවර කර තිබේ. 1954 සුක්‍රී අල් ක්වාට්ලි රජය අර්බුදයකට පත්කළදා පටන් අද වනතුරු සිරියාවට ගැලවීමක් නොමැත. සිවිල් යුද්ධවලින් සිරියාව ව්‍යාකූල කර තිබේ. නමුත් බටහිර ගැති නැති බෂාර් අල් අසාඩ් (Bashar al-Assad)ට එරෙහිව නොයෙකුත් අවලාද නගන්නේ එහෙයිනි. ජනාධිපති බසාර් අල් අසාඩ් තමන්ගේ ජනතාවටම බෝම්බ ගසන්නේ යැයි මඩ ප්‍රචාර බටහිර මාධ්‍ය දියත් කරමින් සිටී. එදා 1954දී එවකට සිරියාවේ ඇමෙරිකානු තානාපතිවරයා ඇමෙරිකානුවන් සිරියාවේ අර්බුධ නිර්මාණය කරන විට පවසා තිබුණේ &මේ කරන්න යන්නේ වැරදි දෙයක්. මේ දේ කරන්න එපා කියාය* හැබැයි එදා ව්‍යාකූල කළ සිරියාවට අද වනතෙක් ගොඩ ඒමක් නැත.

රුසියාවට විරුද්ධව එදා පාවිච්චි කළ ඇෆ්ගනිස්තානයටද වූයේ ඇමෙරිකානු ග්‍රහණයට යට වීමටය. ඇෆ්ගනිස්තානයට පහරදී බටහිරට අවශ්‍ය වූයේ වෙන කිසිවක් නොවේය. ඇෆ්ගනිස්තානය යනු මධ්‍යම ආසියාව වගේම අප්‍රිකානු හා ආසියාතික රටවල්වලට හොඳ පිවිසුමකි. ඒ වගේම යුරේෂියාවටද පිවිසුම් මාර්ගයකි. ඇෆ්ගනිස්තානයට එක පාරටම පහර දෙන්නට ඇමෙරිකාවට බැරි විය. මුලින්ම තලෙයිබාන් යන ත්‍රස්තවාදීන් සංවිධානයක් ඇතැයි ලොව පුරා ප්‍රචාරය කළේය. එකල තලෙයිබාන්වරුන්ට ලෝකය සමග තියා කිසිදු විදෙස් මාධ්‍යයක් සමග හෝ ගනුදෙනුවක් නොවීය. නමුත් ලෝකයේ ජනප්‍රියතම ප්‍රවෘත්ති නාළිකාවන් මගින් ඇෆ්ගනිස්ථානයේ බාමියාන්හි ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේලා විනාශ කර දමන අයුරු ප්‍රචාරය කළේය. මෙයින්  වූයේ ඇෆ්ගනිස්තානය කෙරෙහි ආසියානු බෞද්ධ ප්‍රජාව තුළ දැඩි අප්‍රසාදයක් ඇති වීමයි. මේ සමගම සැප්තැම්බර් 11දා ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල විය. පෙන්ටගනයට උඩින් මැස්සෙකුටවත් යන්නට බෑ කියපු ඇමෙරිකාවට මෙම ප්‍රහාරය එල්ල වීම ගැනත් ඇත්තේ සැකයකි. එනම් ඇෆ්ගනිස්ථානයට පහරදීමට තවත් මාර්ගයක් සදා ගැනීමට මෙම ප්‍රහාරය ඔවුන්ම සැලසුම් කළාද යන්නයි. මන්ද ඇෆ්ගනිස්ථානය යනු ලෝකයේ දේශපාලනික මෙන්ම ආර්ථිකමය වශයෙන්ද මර්මස්ථානයක් බැවිනි. ඇෆ්ගනිස්ථානයට පහර දුන් බටහිර රටවල් කළේ ලක්ෂ දෙකක හමුදාවකින් සමන්විත ඉදිරි පෙළක් (Front Line) එකක් නිර්මාණය කර ගැනීමයි. මේ මගින් ඕනෑම අවස්ථාවක මධ්‍යම, දකුණු ආසියාවට වගේම අප්‍රිකාව හා රුසියාවටද තර්ජනයක් වීමට පුළුවන.

අග්නිදිග ආසියාවේ මියන්මාරය, තායිලන්තය මේ වන විට ජීවත් වන්නේ බෞද්ධ අන්තවාදීන් ලෙසට යැයි ප්‍රචාර ගෙන යමින් පවතී. පැසිෆික් සාගර කලාපය කේන්ද්‍ර කොටගත් ආර්ථිකයක් දැන් ඉන්දියානු සාගර කලාපය කේන්ද්‍රකර ගනිමින් නිර්මාණය වෙමින් තිබේ. ඒ නිසා ඉන්දියාව, ලංකාව හා අග්නිදිග ආසියානු රටවල් බටහිරට අත්‍යවශ්‍යව තිබේ.

හයිටි රාජ්‍ය මෙන්ම චිලී රාජ්‍යයද මෙවැනි බටහිර අතපෙවීම් හේතුවෙන් ව්‍යාකූල වූ රටවල්ය. සැල්වදෝර් අයන්ඩේ එවකට චිලී රටේ නායකයාය. මාධ්‍ය පාවිච්චි කර ප්‍රගතිශීලී නායකයෙකු වූ අයන්ඩේට මඩ ගසා ඇමෙරිකන් ගැති ඔගස්ටෝ පිනෝෂේ බලයට පත්කළේය. චිලී රටද දැන් නැත්තට නැතිවී ගොසිනි. හයිටිය සීනි නිෂ්පාදනය අතින් ඉහළ මට්ටමක සිටි රටකි. ඒ වගේම කැරිබියන් දූපත් ආශ්‍රිතව තිබූ ස්වයංපෝෂිත රාජ්‍යයකි. නමුත් බටහිර රූකඩ පාලකයන් හයිටිය විනාශ කළේය.

බටහිර රාජ්‍ය අර්බුද මවන්නේ ඔවුනට වාසි වන භූමි උපක්‍රමශීලීව අල්ලා ගැනීමටය. එම නිසා අපේ දේශපාලඥයන්ද මේ ගැන සැලකිලිමත් විය යුතුය. බලය සදාකාලික නොවේ. හැබැයි ජනතාව තාවකාලික වන්නේ නැත. ජීවත් වන්නට රටක් ඉතිරි විය යුතුය. එබැවින් බටහිර නූල් සූත්තරවලට හසු නොවී රටත්, ජනතාවත් බේරා ගෙන ඉදිරියට යෑම ජනතා ඡන්දයෙන් තේරී පත් වූ ජනතා නියෝජිතයන්ගේ වගකීමය. අපට තවත් හයිටිය මෙන් රටක් වීමට වුවමනාවක් නැත.

නිපුන් ඒකනායක

 

One thought on “තියෙන අර්බුද මදිවට ඇති කරන අර්බුද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>