චීන වෙළෙඳ පොළ සඳහා SME ව්‍යවසායක අවස්ථා

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මහජන චීන සමූහාණ්ඩුවේ ගොඇන්ෂුහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ‍ජෙනරල් කාර්යාලයේ සහයෝගීත්වයෙන් පැවති 14 වැනි චීන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය සහභාගීත්වය 4 වැනි වරටත් සංවිධානය කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 10දා සිට 13දා දක්වා ගොඇන්ෂුහි පැවති මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා තායිලන්තය, මැලේසියාව, රුසියාව, ග්‍රීසිය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක් සහභාගී වී ඇති අතර, චීනය සහ අනෙකුත් රටවල් නියෝජනය කරමින් 4,000කට අධික ප්‍රදර්ශනකරුවන් විවිධ නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කර ඇත.

අගය එකතු කළ තේ, පාවහන් සහ නිමි ඇඳුම්, කුළුබඩු, පොල්  සහ කොහු ආශ්‍රිත නිශ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, සැකසූ ආහාර සහ පාන වර්ග, අත්කම් නිෂ්පාදන ඇතුළුව, සුළු හා මධ්‍ය පරිමාණ අපනයන සමාගම් 21කට ශ්‍රී ලංකා ප්‍රදර්ශන මණ්ඩපයේදී සිය නිෂ්පාදන ප්‍රදර්ශනයට මෙමගින් අවස්ථාව උදාවී තිබේ. විශේෂයෙන්ම 2020දී අපනයනකරුවන් 2,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ උතුරු පළාත ඇතුළු අනෙකුත් පළාත් නියෝජනය කරමින් තෝරාගත් ව්‍යවසායකයන් 06දෙනකුද ඇතුළුව සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් 21 දෙනෙකු එම ප්‍රදර්ශනයට සහභාගී වූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ ශ්‍රී ලාංකේය ප්‍රදර්ශකයන්ට සඳහා ප්‍රතිලාභ රැසක් හිමිව ඇති අතර, ඇ.ඩො.13,100ක පමණ අලෙවියක් ප්‍රදර්ශනය තුළදීම ලැබී ඇති බවත්, කුරුඳු, ගම්මිරිස්, කොහු ආශ්‍රිත නිෂ්පාදන, කලාත්මක බිත්ති සැරසිලි සඳහා ඇනවුම් රැසක් ලැබුණු අතර, එහි වටිනාකම ඇ.ඩො.20,000ක් පමණ වන බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

එමෙන්ම, ශ්‍රී ලාංකේය ප්‍රදර්ශකයන්ට විවිධ රටවල ගැනුම්කරුවන් හමුවීමට අවස්ථාව හිමිවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ධීවර නිෂ්පාදන, ප්‍රතිචක්‍රීය කඩදාසි ආශ්‍රිත අත්කම් භාණ්ඩ නිෂ්පාදන, ඇඟලුම්, මැණික්, සැහැල්ලු ලී බඩු, තල්‍ කොළ ආශ්‍රිත නිෂ්පාදන, කෙසෙල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, අගය එකතුකළ තේ, පොල් ආශ්‍රිත වයින් කොහු සහ කොහු බත් ආශ්‍රිත නිෂ්පාදනවලට, චීනය, රුසියාව, නයිජීරියාව, තායිවානය, වැනි රටවලින් වෙළෙඳ විමසීම් ලැබී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මීට අමතරව මෙම ප්‍රදර්ශනයට සහභාගීවීම තුළින් අනෙකුත් රටවල අපනයන නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් ලබාගැන්මටත්, එම ප්‍රදර්ශකයන්ගේ නිෂ්පාදන හා තරග කිරීමටත්, ජාත්‍යන්තර මට්ටමෙන් භාවිත කරන ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කිරීමට හා ජාත්‍යන්තර වෙළෙඳ පොළට අවශ්‍ය ප්‍රමිතිකරණය, ඇසුරුම්කරණය හා ලේබල්කරණය පිළිබඳ දැනුවත්වීමටද ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට මෙමගින් අවස්ථාව හිමිවූ බවත් ඔවුහු පවසති.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය නියෝජනය කරමින් වෙළෙඳ කුටි දෙකක්ද, ශ්‍රී ලංකා ප්‍රදර්ශන මණ්ඩපය තුළ සංවිධානය කර තිබේ. මෙම ප්‍රදර්ශනය මහජන චීන සමුහාණ්ඩුවේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සහ ගොන්ඩොන් පළාතේ මහජන රජයේ අනුග්‍රහයෙන් පැවති බවත්, ප්‍රදර්ශනය සඳහා සම දායකත්වය ලබාදෙන ලද්දේ දකුණු අප්‍රිකානු රජය බවත් ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම, ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකේය සහභාගීත්වය ලබාදීමේදී ගොන්ෂුවාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල්වරියගෙන් ලැබුණු සහයෝගයද ඉතාමත් වැදගත් වූ බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>