ගොතය රෝගයක්ද රෝග පෙර නිමිත්තක්ද ?

ගොතගැසීම  අප බොහෝවිට සමාජයේ බහුලව දකින තත්ත්වයක්. එමෙන්ම ගොත ගැසීම යම් යම් අවස්ථාවල එය නිරන්තරයෙන්ම නොපවතින පුද්ගලයන් වෙතින්ද දැකිය හැකියි. කිසියම් අවස්ථාවක මානසික කැළඹීමකට පත්වූ අයෙක් බියට පත් වූ අයෙක් සහ අනපේක්ෂිත කිසියම් පීඩනයකට ලක් වූ අයෙකුට එසේ තාවකාලිකව ගොතයක් ඇතිවෙන්නට ඇති හැකියාව අප හොඳින් දන්නා දෙයකි. නමුත් නිරන්තරයෙන්ම පවතින ගොතය ඔබට ඇතිවී ඇත්තේ කොහොමද කියන ගැටලුව තවමත් අප අතර ඉතිරිව පවතින නිසා අප අද සෞඛ්‍ය පිටුව තුලින් ඒ පිළිබඳව සොයාබලන්නට අදහස් කළා. බලන්න ඔබේ ගැටලුවට මෙහි පිළිතුරක් සැපයෙනවාද,?


1498722463_435647_1498746776_noticia_normal

 ගොත ගැසීම අපේ තල්ලේ හෝ උගුරේ නැති නම් තොල්වල ඇතිවන ආබාධයක් නිසා මතුවෙන්නක් නොවේ.  මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ අනුව තහවුරු වී ඇත්තේද  ගොත ගැසීම සඳහා විශේෂයෙන්ම බලපානු ලබන්නේ මානසික තත්ත්වයන් බවයි. කේන්තිය කළකිරීම ආදී මනෝ මූලික තත්ත්වයන්  ගොත ගැසීම ඉහළ නැංවීමට සමත් හේතූන් බව ඔබ දැනසිටීම ඉතාමත් අවශ්‍යය.  

ගොත ගැසීම ඇතිවෙන්නේ කොහොමද?

 ගොත ගැසීම ඇතිවෙන්නට බලපාන ශාරීරික හේතුව කුමක්ද යන්න දැන ගැනීමට ඔබ කැමති ඇති. ගොත ගසන යම් කෙනෙක් කතා කරන විට ඔහුගේ හෝ ඇයගේ  උගුරේ පේෂී වඩාත් සංකෝචනය වෙන බව නැතිනම් හැකිලී යන බව ස්කෑන් පරීක්ෂණවලදී  තහවුරු වෙන තත්ත්වයක්.  කතාව හිරවී යාමට මොහොතකට පෙර  ඒ අයගේ ස්වර තන්ත්‍ර වඩාත්ම තදවෙන බව  ද ඒ අනුව හෙළිවෙන්නක්. මේ හේතුව නිසාවෙන් නිවැරදි කථනයක් සඳහා  වූ ප්‍රාශ්වාස වාතයට  බාධාකාරී ලෙස හැසිරෙන බවද  එයින් අනාවරණය වී තිබෙනවා. නමුත් මෙය වෙනස් කරගත හැකි තත්ත්වයක්. එයට අවශ්‍ය වෙන්නේ ඉතා සරල ස්වසන අභ්‍යාස කීපයක්.

කුඩා ළමයින් නම් තම දෙමවුපියන්ගේ අවධානය තමන් වෙත ලබා ගැනීමට යම් තරමක ගොතයක් පෙන්වන්නට හැකියි. කෙසේ නමුත් ඔබට අවවාද කළ යුත්තේ කිසිවිටෙක ගොත ගසන්නෙකු අනුකරණය නොකරන ලෙසයි. එසේ කළ හොත් කල් යත්ම එය ඔබේ පුරුද්දක් බවට පත් වී හොඳින් කතාකළ අයෙකු වුවත් ගොතයක් පෙන්වන්නට ඉඩ තිබේ.  ගොත ගසන අයෙකුට 'ගොතයා' යන නමින් කතාකිරීමද  කෙනෙකු ගොතයෙකු බවට පත්කිරීමට ඉවහල් විය හැකිය. මේ නිසා එවන් අයෙකු විහිලුවට ලක්කිරීම තුළ ඔවුන් එම පුද්ගලයාගේ ගොතය  තහවුරු කරවන්නට සමත් වෙයි. එම වරද ඔබ වෙතින් කිසිවිටෙක නොවන්නට වග බලාගන්න.

 සුළු ගොතගැසීමක්  වැඩි දියුනු වෙන්නේ කොහොමද?

 ක්‍රම ක්‍රමයෙන්  තමන්ගේ ගොතය පිළිබඳ සිතන්නට එවන් තැනැත්තෙකු පෙළඹේ. එවිට තමන්ගේ කතාව පැටලැවෙන බවත් ගොත ගැසෙනබවත් එම පුද්ගලයා විසින්  විශ්වාස කරන්නට පෙළඹෙයි. එය ගොතය වර්ධනයවීමට ප්‍රභල හේතුවක් ලෙසද ක්‍රියාත්මක විය හැකිය. සමහර අකුරු සහ එම අකුරුවලින් පටන්ගන්නා වචන  තමන්ට උච්චාරණය කළ නොහැකි බව ඔවුන් අදහස් කරයි.  එවිට ඔවුන් කරන්නේ සංඥා යොදාගැනීමය.  නැති නම් එම වචන මග හැර කතාකරන්නට පෙළඹීමය. ගොත ගැසීම් එදිනෙදා සිදුවෙන සිදුවීම් සමග අඩු වැඩි වශයෙන් දැනෙන්නට ඉඩ ඇති බව  දැකිය හැකි එක් තත්ත්වයකි. ඇතැම් විට ගොතය සඟවාගන්නට ඔවුන් වැඩිපුර කතානොකර ඉන්න තත්ත්වයන්ද පැවතිය හැකිය.

ගොත ගසන්නන්ට වඩාත් සුලභව පවතින තත්ත්වයන්.. 

බෙහෝවිට බස් රථයේදී ප්‍රවේශ පත්‍රයක් ඉල්ලා සිටීම, කඩයකින් බඩු ගැනීම  දුරකථනයට පිළිතුරු දීම ආදි අවස්ථාවන්ට සමහරුන්ට මුහුණ දෙන්නට අපහසුවිය හැකිය. නමුත්  නුපුරුදු ස්ථානවලදී  නුපුරුදු පුද්ගලයන් අතරදී මෙය වඩාත් වැඩිවිය හැකිය. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් ඇසුරේදී මේ තත්ත්වය වඩාත් වැඩි විය හැකිය.

ගොත ගැසීම සඳහා පවතින ප්‍රතිකාර ගැන සොයා බලමු.  

මේ සඳහා නියමිත කථන ප්‍රතිකාර ශිල්ප ක්‍රම අනුගමනය කළ යුතුයි.  කථාව හැසිරවීමේදී  මොළයේ මට්ටමින්ද ඊට දායකත්වයක් සැපයෙයි.  කතාකරන වචන එම පුද්ගලයාගේ තොල් අතරින් පිටකිරීමට පෙර  එම වචන  මොළය මට්ටමින් සකස් කිරීමක් සිදුවෙනවා.  බොහෝ ගොත ගසන පුද්ගලයින්ගේ වචන සොයා ගන්නට දක්වන හැකියාවේ ප්‍රමාදය  කොහෙත්ම ඔවුන්ගේ බුද්ධි මට්ටමේ අඩුවක්  නෙවෙයි. චතුර ලෙස කතාකිරීමට  අවශ්‍යවන වචන  මොළය මට්ටමින් සොයා දීමේ ප්‍රමාදයක් පමණයි.  ඔවුන්  සමග සරල ලෙස සංවාදයේ යෙදීමත්  සරල ලෙස ප්‍රශ්න ඇසීමත්  දීර්ඝ උච්චාරණයත්  ප්‍රතිකාර ආරම්භයේදී  අනුගමනය කරනු ලබන සාර්ථක පියවරී කීපයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>