ගුවන්විදුලි නාළිකාවලට නිර්මාණශීලි සන්නිවේදකයන් මිස මාලගිරවියන්, ගිරා පෝතකයන් අවශ්‍ය නොවේ

වසර 1921 දී උපන් ලංකා ගුවන්විදුලිය එම වකවානුවේ හැඳින්වූයේ 'Colombo Radio' නමිනි. 'කොළඹින් කතා කරමි' යනුවෙන් ශ්‍රාවකයා ඇමතූ ගුවන්විදුලිය ආරම්භ වී මේ වනවිට සියවසක් සපිරීමටත් ආසන්නය. එවක ලංකාවේ ප්‍රබලම මාධ්‍ය ගුවන්විදුලිය විය. එලෙසම එහි බලවත්කම සහ ඒ තුළින් ලාංකේය ජීවිතයට කළ හැකි බලපෑම ගැන දන්නා වූ බුද්ධිමත් පරිපාලනයක් තිබූ බවට දක්නට ලැබිණි. හුදෙක් වාණිජමය වූ පරමාර්ථයන් එහි දක්නට නොලැබිණි.


ගුවන්විදුලියේ මූලික කාර්යභාරය වූයේ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම හා දැනුම ලබාදීමය. ද්විතීයික කාර්යය ලෙස මහජනතාවට වින්දනය කළ හැකි උසස් කලා නිර්මාණ ප්‍රචාරය කිරීමය. එහි අරමුණ හා කාර්යය වූයේ ගුවන්විදුලියට අදාළ කලාවන් ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයෙන් යුතුව පවත්වාගෙන යමින් ප්‍රචලිත කිරීමය.

නමුත් වර්තමානය වනවිට මේ තත්ත්වය ක්‍රමයෙන් ගිලිහී යන බවක් දැකගත හැකිය. හුදු ලාභ අපේක්‍ෂාව පමණක් පෙරදැරි කරගනිමින් අවර ගණයේ නිර්මාණ කිසිදු පැකිළීමකින් තොරව ගුවනට මුදාහරින අයුරු ඇසිය හැකිය. මෙයට හේතුව වී ඇත්තේ වර්තමාන ගුවන්විදුලිය තුළ නිර්මාණශීලි සන්නිවේදකයන්ගේ අඩුවක් පැවතීමය.

ගුවන්විදුලිය, පරිකල්පනය සඳහා වැඩි ඉඩහසරක් පාදාදුන් මාධ්‍යයක් ලෙස දැක්විය හැකිය. මේ හරහා ජනතාවගේ චින්තන ශක්තිය දියුණු කෙරිණි. එහිදී ගුවන්විදුලි නාට්‍ය, ගුවන්විදුලි ගීත සහ බුද්ධිමය සංවාද ප්‍රධාන තැනක් ගනියි. නමුත් වර්තමානය වනවිට මෙවැනි නිර්මාණයන් බිහිවීමේ අඩු ප්‍රවණතාවක් පවතී. නිර්මාණශීලිත්වයෙන් තොර හුදු වාචාල, බහුශ්‍රැතභාවයෙන් තොර නිවේදක නිවේදිකාවන් පිරිසක් උදේ සිට රෑ වනතුරු ගුවන්විදුලිය හරහා දොඩමළු වීමක් පමණක් දැකගත හැකිය. එවැනි දේ හරහා ශ්‍රාවකයාගේ පරිකල්පන ශක්තිය හා චින්තනය දියුණු කළ නොහැකි බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත. මෙවැනි අවර ගණයේ නිර්මාණ බිහිවීමට හේතුව වන්නේ වර්තමාන ගුවන්විදුලිය තුළ නිර්මාණශීලි සන්නිවේදකයන් නොමැති වීමය.

ගුවන්විදුලි මාධ්‍ය තුළ ශ්‍රී ලංකා ගුවන්විදුලිය පමණක් තිබූ සමයේ සහාය නිවේදකයෙකු වීමට පවා බොහෝ විට සංකීර්ණ සම්මුඛ පරීක්‍ෂණ වට තුන හතරක් පසුකර යෑමට ඔහුට හෝ ඇයට සිදුවිය. මේ ක්‍රියාවලිය අතරතුර ඔවුන්ගේ සාහිත්‍ය දැනුම මෙන්ම ලෝකය සහ සමාජය පිළිබඳ දැනුමද පරීක්‍ෂා කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ ඇසූපිරූ අය පමණක් ගුවන්විදුලියේ සේවයට ගැනීමය.

RadioStations

පොදුවේ ගත් කල මේ සියලු දෙනා සිංහල සාහිත්‍ය, ලංකාවේ ජන විඥානය පිළිබඳ දැනුමෙන් පෝෂණය වී සිටීම නිසා ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යාහැකි ගීත නිර්මාණයටද ඔවුන්ට අපහසු නොවිණි. නිවේදක පරපුරට තම කාර්යයන් අතික්‍රමණය කරමින් ගීත රචකයන් වීමට ඔවුන්ගේ වෘත්තීය පරිසරය තුළම මග සැලසී තිබිණි. එලෙස නිවේදක වෘත්තිය අතරතුර ගීත රචනයට පිවිසි අය අතර, කරුණාරත්න අබේසේකර, මඩවල එස්. රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන, දයා ද අල්විස්, යමුනා මාලනී වැනි දක්‍ෂයන් කැපීපෙනේ. මහගම සේකර සූරීන් මුලින් ගීත රචකයෙකු වී පසුව ගුවන්විදුලියේ ඇතැම් කලා වැඩසටහන් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

මේ අනුව පෙනී යනුයේ අතීතයේ ගුවන්විදුලියට බඳවා ගත් සන්නිවේදකයන් බොහෝ ඇසූපිරූ අය බවයි. එවැනි සන්නිවේදකයන් හරහා බිහිවූ නිර්මාණ හරහා එම යුගය තුළ ශ්‍රාවක ප්‍රජාව තුළ ඉහළ රසවින්දනයක් ගොඩනැගුණි. නමුත් වර්තමානයේ ගුවන්විදුලිය සඳහා බඳවා ගන්නා සන්නිවේදකයන් මෙම පුද්ගලයන් හඳුනනවාද යන්නද ගැටලු සහගතය. බොහෝ විට පෞද්ගලික නාළිකා රැසකම බොහෝ නිවේදක පිරිස් ඔවුන්ගේ ප්‍රකාශවල තේරුම ඔවුන්වත් නොදනී. එවැනි සන්නිවේදකයන් පිරිසක් සිටින විට අතීතයේ මෙන් නිර්මාණ බිහි නොවීම පුදුමයට පත්විය යුතු කරුණක් නොවේ. ඒ අනුව පෙනී යන්නේ ගුවන්විදුලියට නිර්මාණශීලි සන්නිවේදකයන්ගේ අවශ්‍යතාවක් පවතින බවයි. එම නිසා අතීතයේ මෙන් ඇසූපිරූ පුද්ගලයන් ගුවන්විදුලියට බඳවා ගැනීම හරහා විශිෂ්ට ගණයේ නිර්මාණ වර්තමානය තුළද ඇසීමට හැකියාව ලැබෙනු ඇත.

වර්තමානයේ මෙන් නොව බඩ වඩවා ගැනීමේ කාලයක් එකල නොතිබූ බැවින් මේ මහා නිර්මාණකරුවන් ශ්‍රාවක මනසට කලාවෙන් දෙන්නට හැකි හොඳම දේ තිළිණ කරන්නට සෑම විටම උත්සුක වී තිබිණි. උදාහරණයක් ලෙස ගතහොත් කරුණාරත්න අබේසේකර සූරීන් හින්දි තනුවලට සිංහල වචන යොදා හින්දි ගීතයේ සිංහල අනුවාදනයන් එකතු කළද, සිංහල සරල ගීතය ක්‍රමයෙන් පරිණාමය වනවිට ස්වතන්ත්‍ර නිර්මාණවලින් ශ්‍රාවකයා පිනවීමට අමතක නොකළේය.

නමුත් වර්තමානයේ ගුවන්විදුලිය හරහා මෙවැනි දක්‍ෂ නිර්මාණශීලි සන්නිවේදකයන් බිහිවීම දැකගත නොහැකිය. වර්තමානයේ බිහිවන ගීත හරහා ශ්‍රාවකයා පිනවීමට නොහැකිය. කිසිදු තේරුමක් නොමැති පදවැල් බොහෝ විට දැකගත හැකිය. ඒවා හරහා උසස් රසවින්දනයක් ශ්‍රාවකයා තුළ ඇතිකළ නොහැකිය.

එමෙන්ම අතීතයේ තිබූ සාහිත්‍ය හා දේශපාලන වැඩසටහන් වර්තමානය තුළ දැකගත නොහැකිය. බොහෝ විට සවස් කාලයේම ඇසෙන්නේ හාස්‍ය වැඩසටහන් යැයි ඔවුන් කියා ගන්නා අවර ගණයේ වැඩසටහන්ය. ඒවා අසන ශ්‍රාවකයාගේ උසස් රසවින්දනයක් නොව කුඩා දරුවාගේ සිට රසවින්දන ශක්තිය මොට කරන වැඩසටහන්ය. ඒවා නිර්මාණය කරන්නන්ගේ බුද්ධි මට්ටම අපට සිතාගත නොහැකිය. ඇත්තෙන්ම මේවා අසන මිනිසුන්ට අද සල්ලි දීම සාධාරණය. සල්ලි දී ගුවන්විදුලිය අස්සවා ගැනීමට තරම් අද එම නාළිකා බංකොළොත්ය. ඔවුන්ට හොඳ වැඩසටහන් නොමැති වීම නිසා බොහෝ විට නිවේදක නිවේදිකාවන් විවිධ නිමිති සාදාගෙන වෙළෙඳ ප්‍රචාරය සිදුකිරීම බොහෝ ගුවන්විදුලි නාළිකාවල ස්වභාවයයි. 

නමුත් අතීතයේ ගුවන්විදුලිය හරහා සාහිත්‍ය, දේශපාලන වැඩසටහන් බහුල වශයෙන් නිර්මාණය විය. ඒ හරහා තරුණ ප්‍රජාව තුළ ප්‍රබල වෙනසක් ඇතිකිරීමට හැකියාව ලැබිණි. එදිරිවීර සරච්චන්ද්‍ර, මහගම සේකර, මඩවල එස්. රත්නායක, එච්.ඒ. ගුණසේකර වැනි අතිදක්‍ෂයන් ඉදිරිපත් කළ දේශපාලන හා සාහිත්‍ය වැඩසටහන් හරහා ශ්‍රාවක ප්‍රජාව තුළ ඇතිකළ වෙනස හරහා බොහෝ දෙනෙක් නිර්මාණකරණයට එකල යොමු වූහ.

Good news

එමෙන්ම ගුවන්විදුලි නිවේදක නිවේදිකාවන් කිසිදු පාර්ශ්වයකට ගැත්තන් සේ ක්‍රියා නොකළ යුතුය. සමබර විය යුතුය. එහිදී සමාජයේ සත්‍යය නිර්මාණශීලිව ජනතාවට ගෙන යා යුතුය. අතීතයේ ගුවන්විදුලි නිවේදකයන් තුළ මෙවැනි ලක්‍ෂණ තිබිණි. ඔවුන්ගේ කටහඬ ඇසූ සැණින් හඳුනා ගැනීමේ හැකියාවක් ශ්‍රාවකයාට තිබිණි. ඔවුන්ට එලෙස සමීප වීමට හේතු වූයේ ඔවුන්ගේ දක්‍ෂතාවයි. නමුත් වර්තමානය තුළ එවැනි පිරිස් නැත. වර්තමානයේ සිටින ඇතැම් පිරිස් නිර්මාණශීලිත්වය කුමක්ද යැයි පවා නොහඳුනති. එම නිවේදක නිවේදිකාවන් හඳුන්වන්නේද අනුවර්තන නාමයන්ගෙනි. 

අතීතයේ වඩා නිර්මාණශීලිව වැඩසටහන් ඉදිරිපත් කළ පුද්ගලයෙකු ලෙස ප්‍රේමකීර්ති අල්විස් මහතා දැක්විය හැකිය. ඔහු, ඔහුට වන අසාධාරණකම් පවා ඉතා නිර්මාණශීලිව ඉදිරිපත් කළේය. උදාහරණයක් ලෙස ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ විවිධ දේශපාලන කටයුතු නිසා ඔහුව දුෂ්කර සේවය සඳහා යොමුකළ අවස්ථා බොහෝමයකි. එක් අවස්ථාවක එසේ දුෂ්කර සේවයට මාරු කර නැවත ගුවන්විදුලියට පැමිණීමේදී ඔහු වැඩසටහන ආරම්භයේදී පුටුව හයියෙන් බිම දැම්මේය. ඉන් පසු ඔහු මෙසේ පැවසුවේය.

“ඔයාලා හිතුවේ මම වැටුණා කියලා නේද?
නෑ. මම වැටුණේ නෑ.
පුටුවයි වැටුණේ.”

යැයි ඔහු ඉතා නිර්මාණශීලි ලෙස ඔහුගේ අදහස දැක්වීය. මෙවැනි නිර්මාණශීලි සන්නිවේදකයන් අද ගුවන්විදුලි නාළිකා තුළ දැකගත නොහැකිය. 

එමෙන්ම පෞද්ගලික ගුවන්විදුලි නාළිකා මේ වනවිට හැසිරෙන්නේ සෑම දෙයම විකුණා ලාභ ලබාගන්නට හැකි නම් එය සිදුකිරීමේ වරදක් නැත යන සංකල්පයෙන් විය යුතුය. මිනිසුන්ට මෙවැනි දේ ඇසීමට ඇල්මක් නොමැති බැවින් බලෙන් මුදල් ලබාදී ඒවා අස්සවා ගන්නට තරම් ඔවුන් බංකොළොත්ව ඇත.

අතීතයේ පැවැති ලංකා ගුවන්විදුලි සංස්ථාවට වගකීමක් තිබුණද, මේවාට කිසිදු වගකීමක් නොමැත. අතීතයේ නිවේදිකාවක හෝ නිවේදකයෙකු වීමට සාහිත්‍ය දැනුම වැදගත් සාධකයක් වුවද, අද එය අවලංගු කාසියක් වී ඇත. සන්නිවේදන හැකියාව කෙසේ වෙතත් තම උසස් නිලධාරීන්ට ශාරීරික අල්ලස් පවා දීමට කැමැති මාලගිරවියන්, ගිරා පෝතකයන් පිරිස් එෆ්.එම් නාළිකාවල සේවයට එක් වන්නේ මෙවන් පසුබිමක් තුළය.
“අපිත් එක්ක සෙට්වෙලා ෆන් එකක් ගන්න” යැයි ඇරයුම් කරන ඔවුන් අඩුම තරමේ ප්‍රේමකීර්ති අල්විස් වැනි චරිත පවා දන්නේද යන්න සැක සහිතය.

ගුවන්විදුලියේ නිර්මාණශීලිත්වය දෙස අවධානය යොමු කිරීමේදී අමතක කළ නොහැකි මාතෘකාවක් ලෙස ගුවන්විදුලි නාට්‍යය හැඳින්විය හැකිය. ගුවන්විදුලි නාට්‍යය නියත වශයෙන්ම පරිකල්පනය පෙරටු කරගත් කලාවකි. සුගතපාල ද සිල්වා මහතා පවසන පරිදි ගුවන්විදුලි නාට්‍යයක් රචනා කිරීම වූ කලී තමන්ගේ පරිකල්පනය තුළ ලෝකයක් නිර්මාණය කර අසන්නාගේ පරිකල්පනය තුළද එවැනිම ලෝකයක් නිර්මාණය කිරීමය. ගුවන්විදුලි රචකයා මෙහෙය වනු ලබනුයේ අසන්නාගේ චිත්තාක්‍ෂියේ දිගු පළල විසින් පමණි. 

ගුවන්විදුලි නාට්‍යයක් ඍජුවම සම්බන්ධ වන්නේ ශ්‍රාවකයා සමගය. ශ්‍රාවකයා ගුවන්විදුලි නාට්‍යය රසවිඳින්නේ නැතිනම් එය ක්‍රමයෙන් ජනතාව අතරින් ඈත්වී යයි. ගුවන්විදුලි සංස්ථාව 1950 දශකයේ පටන් ඒ ශ්‍රාවක සම්බන්ධතාව වර්ධනය වන අකාරයේ නාට්‍යය රැසක් නිර්මාණය කිරීමට අමතරව ඍජු ශ්‍රාවක ප්‍රතිචාර ලබාගැනීමේ නිවැරදි ක්‍රමවේදයක් ලෙස ගොඩනගා ගෙන තිබිණි. ඒ නිසා මුල් කාලයේ පටන් දශක තුනක් පමණ යනතෙක් ගුවන්විදුලි නාට්‍යයට තිබුණේ ඉහළ ඉල්ලුමක් සේම ඉහළ වටිනාකමක්. 

එසේම 60 යුගයේ ගුවන්විදුලියේ නාට්‍යය මාලාව මෙයට ප්‍රධාන උදාහරණයක් ලෙස දැක්වීමට පුළුවන. ඒ යුගයේ සුගතපාල ද සිල්වා නිර්මාණකරුවා ගුවන්විදුලි නාට්‍යය ඉතා වැදගත් සංධිස්ථානයකට ගෙන ආවේය. ඒ හරහා ශිල්පීන් වශයෙන් මෙන්ම ශ්‍රාවකයන්ටද ගැඹුරු පරිකල්පන ශක්තියක් සහිත ගුණාත්මකභාවයෙන් පොහොසත් මෙන්ම රසවත් නාට්‍යය ගණනාවක්ම ශ්‍රාවකයන්ට අසන්නට ලැබිණි. සුගතපාල ද සිල්වා මහතා ගුවන්විදුලිය තුළ අලුත් මිනිසෙක් බිහි කළේය. අලුත් මනසක් බිහි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණකරණයට බොහෝ පිරිසක් එකල එකතු වූහ. 

වර්තමානය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යනුයේ ගුවන්විදුලි නාට්‍යය කලාව ගුවන්විදුලියෙන් ඉවත්ව යන ප්‍රවණතාවකි. එයට බලධාරීන්ගේ සහයෝගයක් නොලැබෙන බවද දැකගත හැකිය. එසේම වර්තමානයේ නිර්මාණශීලි සන්නිවේදකයන් නොමැති වීමද ගුවන්විදුලි නාට්‍ය බිහිනොවීමට හේතු වේ. 

වර්තමානයේ ගුවන්විදුලි නාළිකාවල ප්‍රචාරය වන ගුවන්විදුලි නාට්‍යය බොළඳ ගණයේ නාට්‍ය වේ. ඒවා අසන ශ්‍රාවකයාගේ පරිකල්පනය හෝ බුද්ධිය වර්ධනය වීමක් සිදු නොවේ.
මේ අනුව පැහැදිලි වන්නේ ගුවන්විදුලි නාළිකාවලට නිර්මාණශීලි සන්නිවේදකයන් මිස මාලගිරවියන්, ගිරා පෝතකයන් අවශ්‍ය නොවන බවයි. එසේ නොවුණොත් අනාගතයේ අද මෙන් සල්ලි දී බලෙන් හෝ අස්සවා ගැනීමට නොහැකි වන කාලයක් එළැඹෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>