ගුත්තිල කාව්‍යය කියන්නේ දේශපාලනිකව ගැඹුරු අන්තර්ගතයක් ඇති නාට්‍ය නිර්මාණයක්

'හිනාවෙලා මිනිත්තුවක්', 'ගිරිකූඨ කාශ්‍යප', 'ඌ වීරයා' වැනි සම්මානනීය වේදිකා නාට්‍ය නිර්මාණය කළ අකිල සපුමල්ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන්නේ 'ගුත්තිල කාව්‍යය' වේදිකා නාට්‍ය නිර්මාණයයි. එහි මංගල දර්ශනය මෙම මස 11 වැනිදා සවස 7ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී පැවැත්වෙයි. අනතුරුව මෙම මස 18 මීගමුවේදීත්, 19 බොරැල්ල නාමෙල් මාලනී රඟහලේදීත් වේදිකාගත කිරීමට නියමිතය. මේ කතාබහ එම නාට්‍යය ගැනය.


guththila 1

Q ගුත්තිල කාව්‍යය වේදිකා නාට්‍යය ගැන මුලින්ම අපි කතා කරමු

මේක සංගීතමය නාට්‍යයක්. සමාජයේ ඉතාමත්ම ජනප්‍රිය ගුත්තිල කාව්‍ය කෘතිය පදනම් කරගෙන තමයි මේ නාට්‍යය නිර්මාණය කළේ. මේ නාට්‍යයට ගුත්තිල කාව්‍ය කියන නමමයි යොදා ගත්තේ. %හිනාවෙලා මිනිත්තුවක්^, 'ඌ වීරයා', 'ගිරිකූඨ කාශ්‍යප', 'රාවණ' වැනි නිර්මාණවලට වඩා වෙනස් රංග ආකෘතියක් භාවිත කරන සංගීතමය නාට්‍යයක් තමයි ගුත්තිල කාව්‍යය කියන මෙම නාට්‍යය. වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයේ අන්තර්ගත ප්‍රශස්ත කාව්‍ය නිර්මාණ ඔස්සේ ගලාගෙන යන ගැඹුරු තේමාවකින් යුත් නාට්‍යයක් කියලා මේ නාට්‍යය නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්.

ගුත්තිල කාව්‍යය තුළ අන්තර්ගත බොහෝදෙනා දන්නා කතා තේමාවක් වේදිකා නාට්‍යයට යොදා ගත්තේ ඇයි

මම කැමතියි මිනිස්සු දන්න කතාවක් වස්තු විෂය කරගෙන වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න. ඒකට හේතුව ප්‍රේක්ෂකයා එන්නේ දන්න කතාවක් බලන්න. ප්‍රේක්ෂකයා වේදිකා නාට්‍ය නරඹා පිටවෙන්නේ දන්න කතාව ඇතුළේ ඇති නොදන්නා බොහෝ දේවල් එක්ක. එහෙම වුණාම කලා නිර්මාණය සිදුකරද්දි ප්‍රේක්ෂකයා දන්න දේවල් හරහා නොදන්න දේවල්වලට ඉතාම ගැඹුරින්, ඉතාම ප්‍රශස්තව නිර්මාණයට ගෙන එන්න හැකිවෙනවා. ගුත්තිල කාව්‍යය හැමදෙනෙක්ම වගේ දන්නවා. ගුත්තිල පඬිතුමා, මූසිල, බරණැස් රජුන්, ශක්‍රයා කියන චරිත මිනිසුන් හොඳින් දන්නවා. මූසිල පරාජයට පත්වෙනවා, ගුත්තිල පඬිතුමා ජයග්‍රහණය කරනවා කියලත් ඔවුන් දන්නවා. දන්න කතාව වේදිකාවට ගෙන ආවොතින් මම නාට්‍යකරුවෙක් වෙන්නෙ නැහැ. මම ගුත්තිල කාව්‍යය පදනම් කරගෙන නව අත්දැකීමක් වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට ලබා දෙනවා. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වෙන්නේ ගුත්තිල කාව්‍යය රචනා කළ වෑත්තෑවේ හිමියන්. වෑත්තෑවේ හිමියන් තමයි ප්‍රේක්ෂකයාට වේදිකාව තුළ වැඩි වේලාවක් දකින්න ලැබෙන්නේ. එහෙම වුණාම වැත්තෑවේ හිමියන් කියන්නේ කවුද? ඒ හිමියන්ගේ ආකල්ප සිතිවිලි කෙබඳුද? කුමන සමාජ පසුබිමක් ඔස්සේද ජීවත් වුණේ කියන කාරණා තුළින් තමයි මේ නාට්‍යය දිගහැරෙන්නේ. වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය ලියන ආකාරය නාට්‍යය තුළ අන්තර්ගත වෙනවා. වෑත්තෑවේ හිමියන්ට කවි සිතිවිලි පහළ වෙන්නේ කෙලෙසකද, හිමියන් මුහුණ පෑ සමකාලීන සිදුවීම් ඒ කාව්‍ය නිර්මාණවලට බලපෑවේ කොහොමද ආදී ලෙස ගුත්තිල කාව්‍යය නම් ප්‍රශස්ත කාව්‍යය අපිට තිළිණ වූ ආකාරය වේදිකාවේ දිගහැරෙනවා. මේ සියල්ල වෑත්තෑවේ හිමියන්ගේ දෘෂ්ටිකෝණයෙන් නිරූපණය වෙනවා. මෙය බාල ගණයේ නාට්‍යයක් නෙමෙයි. සාම්ප්‍රදායිකම කතාවකුත් නෙමෙයි. නව රංග ආකෘතියක් තුළ ගොඩනැගෙන  සියලු දෙනාටම නරඹන්න හැකි, රසවිඳිය හැකි ප්‍රමිතියක් ඇති නාට්‍යයක් බව වගකීමෙන් කියනවා.

IMG_91226 copy

ගුත්තිල කාව්‍ය වේදිකා නිර්මාණය කාව්‍යාත්මක නාට්‍යයක්. මෙවැනි නාට්‍යයක් වේදිකාවට ගෙන ඒමේදී මෙහි ආකෘතිය හා රංග ශෛලිය කොතරම් දුරට ප්‍රේක්ෂකයන්ට සමීප වෙයිද

මම ඒ ගැන අවධානය යොමුකරලා තමයි මෙ නාට්‍යය සිදුකළේ. මෙය ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නා නාට්‍යයක් බවට පත්වෙයි. මෙයට ගුත්තිල කාව්‍ය තුළ ඇති කාව්‍යයන් 55ක් පමණ මම යොදාගෙන තිබෙනවා. ඒ කාව්‍යයන්වල සංගීතය ඉතා මියුරුයි. දිල්ශාන් උමයංග නම් සංගීත අධ්‍යක්ෂකවරයා මෙම නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනවා. නාට්‍යයේ රංග වින්‍යාසයත්, චලනය, රචනයත් මම සිදුකළා. රංග ශෛලිය ස්වාභාවිකයි. ගීතයත් එක්ක මුසුවන සංගීතයන්ට රිද්මයානුකූල චලනයන් භාවිත කරනවා. මනමේ, සිංහබාහු වැනි නාට්‍යවල ඇති රංග ශෛලිය නෙමෙයි මෙම නාට්‍යයට භාවිත වෙන්නේ. මෙම නාට්‍යයට භාවිත වෙන්නේ මිශ්‍ර රංග ශෛලියක් ස්වාභාවික සංවාද සහ ස්වාභාවික ඉරියව් සමග රිද්මයානුකූල චලනයන් භාවිත වෙනවා. සුත්‍රධාර නමින් වෑත්තෑවේ හිමියන් වාසය කළ ග්‍රාමයේ සිටි රූකඩ නටවන්නෙක්ට වෑත්තෑවේ හිමියන් මිත්‍ර නිසා වෑත්තෑවේ හිමියන් ලියන කවි ඔහුට ලබා දෙනවා. සූත්‍රධාර එම කවිවලට තනු නිර්මාණය කර ගම්වැසියන්ට රූකඩ ලෙස එය ප්‍රදර්ශනය කරනවා. වෑත්තෑවේ හිමියන් ලියන කවිවලට ජීවයක් සපයන කෙනෙකු ලෙස සුත්‍රධාර මම ගෙන එනවා. කරත්තෙක තැන් තැන්වලට ගිහින් ගමේ මිනිසුන්ට නාට්‍යය පෙන්නනවා. ගුත්තිල කාව්‍යය කියන්නේ දේශපාලනිකව ගැඹුරු අන්තර්ගතයක් ඇති නාට්‍ය නිර්මාණයක්. එය සුන්දර අත්දැකීමක් වෙයි.

'ගිරිකූඨ කාශ්‍යප^ ගත්තත්, 'හිනාවෙලා මිනිත්තුවක්' ගත්තත් ඒ වේදිකා නාට්‍ය වැඩි වාර සංඛ්‍යාවක් වේදිකාගත කරන්න ඔබට හැකියාව ලැබුණේ නැහැ.  ඒ අභියෝගයට උපක්‍රමශීලීව මුහුණ දීමක්ද මේ

'හිනාවෙලා මිනිත්තුවක්^ කියන නාට්‍යය යෞවන නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය බවට පත්වුණා. හොඳම නළුවා, නිළිය සහය නළුවා, සංගීතය, පිටපත, අධ්‍යක්ෂණය ආදී ලෙස සම්මාන දිනපු නාට්‍යයක්. 'ගිරිකූඨ කාශ්‍යප' කියන නාට්‍යයත් එබඳු නාට්‍යයක්මයි. රාජ්‍ය නාට්‍ය උලෙළේ හා යෞවන නාට්‍ය උලෙළේ සම්මාන රැසක් දිනපු ප්‍රශස්ත නාට්‍යයක්. ඒ නිර්මාණ දෙකටම මේ රට තුළ සිටින වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරය තුළ ලොකු ඉඩක් තිබුණේ නෑ. නාට්‍ය නරඹන්න එන බොහෝ දෙනෙක් කැමැත්ත දක්වන්නේ වෙනත් නාට්‍යයවලට. බොහෝ දෙනෙක් මා කළ මේ නාට්‍ය දෙක අගය කළත්, ප්‍රශස්තයි කියලා සඳහන් කළත් එය දුවන රැල්ලේ නාට්‍ය බවට පත්වුණේ නැහැ. ඒකට හේතුව මම කියලා මම හිතන්නේ නැහැ. ඒකට හේතුව මේ සමාජයමයි. නමුත් දැන් මට සිදුව තිබෙන්නේ දුවන(වැඩි දර්ශන වාර සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කළ හැකි) නාට්‍යයක් හදාගන්න. එයට බාල ගණයේ සරල තේමාවක්, ටෙලිනාට්‍ය නළු නිළියන් කිහිපදෙනෙක් යොදා ගැනීම මම අනුගමනය කරන්නේ නැහැ. මේ වෙලාවේදී මම උපක්‍රමයක් තමයි යොදා ගත්තේ. ගුත්තිල කාව්‍ය පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයට අදාළ කෘතියක් බවට පත්ව තිබෙනවා. ඒ කාව්‍ය සංග්‍රහවල අන්තර්ගත කවි ශිෂ්‍යයන් කටපාඩම් කරගත යුතුයි. එහි වර්ණනා රසවින්දනය කළ යුතුයි. නව විෂය නිර්දේශය යටතේ උසස් පෙළ සඳහා ගුත්තිල කාව්‍ය නිර්දේශ වී තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ගුත්තිල කාව්‍යය ඇසුරින් කළ මේ නිර්මාණය පාසල්වල, විශ්වවිද්‍යාලවල සහ සමාජයේම කතිකාවතක් ඇති කළ හැකි ඒ වේදිකාවට යන්න පුළුවන් නිර්මාණයක් බවට පත්වෙනවා. %මනමේ^, %සිංහබාහු^ වැනි නාට්‍යවල දර්ශන වාර වැඩි ගණනක් සංවිධානය වෙන්නේ එය විෂය නිර්දේශ තුළ අන්තර්ගත නිසා කියලා මම හිතනවා. නමුත් රාජ්‍ය නාට්‍ය උලෙළේ හෝ යෞවන නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය ලෙස සම්මාන ගත් අපේ නාට්‍යයක් විෂය නිර්දේශයට එන්නේ නෑ. අන්න ඒ නිසා තමයි මම ගුත්තිල කාව්‍ය නාට්‍යය නිර්මාණය කරන්නේ. ඒ නිසා මේ නාට්‍ය නිර්මාණයට පාසල් මට්ටමෙන්, විශ්වවිද්‍යාල මට්ටමින් හොඳ ඉල්ලුමක් ඇති වෙයි. 

guththila 5

රංගන ශිල්පීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය පවා ඔබ සිදුකළ නිර්මාණවලට වඩා වෙනසක් දකින්න පුළුවන්

ඔව් ඒක ඇත්ත. %හිනාවෙලා මිනිත්තුවක්^ සහ %ගිරිකූඨ කාශ්‍යප^ නාට්‍යය නිර්මාණය කරද්දි මම අවධානය යොමු කළේ රංගන ශිල්පියාගේ උපරිම දක්ෂතාව පමණයි. ඔහුගේ ජනප්‍රියතාව ජනතා ආකර්ෂණය ගැන මම අවධානය යොමු කළේ නැහැ. මම පෙර අවධානය යොමු කළේ මම වේදිකාවේ සිදුකරන පර්යේෂණාත්මක රංගයට නර්තනයෙන්, ගායනයෙන්, රංගනයෙන් ආදී හැකියාවෙන් යුතු ශිල්පීන්  දායක කර ගැනීම පමණයි. නමුත් ගුත්තිල කාව්‍ය නාට්‍ය නිර්මාණය කිරීමේදී පෙරට වඩා වෙනස් ක්‍රමවේදයක් රංගන ශිල්පීන් තෝරා ගැනීමේදීත් සිදුකළා. ප්‍රේක්ෂකයන් දන්න රංගන ශිල්පීන් කීපදෙනෙක් යොදා ගන්නවා. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් වන චන්ද්‍රසෝම බින්දුහේවා ප්‍රධාන චරිතයකට යොදා ගන්නවා. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය රංගන ශිල්පියෙක් ලෙස දායක වෙනවා. පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය බවට පත්වූ දිනුපා කෝදාගොඩ වගේම %සිංහබාහු^, %මනමේ^ නාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කරන ජයනාත් බණ්ඩාර වැනි ශිල්පීන් බොහෝදෙනෙක් මම යොදාගෙන තිබෙනවා. වේදිකා පරිපාලනය සමන් ලියනආරච්චි සහ ඔහුගේ කණ්ඩායමෙන්, අං‘ග රචනය චාමර අනුදත්, රංගන ශිල්පීන් ලෙස ටෝනි කෙවිටියාගල, ලකීෂා, ඉරේෂා ආදී පහළොස් දෙනෙකුගෙන් යුත් රංගන ශිල්පීන් පිරිසක් මෙයට දායක වෙනවා. සංගීතයත් සජීවීවයි පැවැත්වෙන්නේ. එම නිසා පෙර නාට්‍යවලට වඩා වැඩි ජනතා ඉල්ලුමක් ඇතිවෙයි කියලා හිතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>