ඉබ්බන්කටුව පූර්ව ඵෙතිහාසික මහාශිලා සුසාන භූමිය

සටහන හා ඡායාරූප – අනූෂ නානායක්කාර

මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉබ්බන්කටුව, කලා ඔයේ පෝෂක ශාඛාවක් වූ දඹුලු ඔයේ වම් ඉවුරේ පිහිටා ඇත. මෙය හෙක්ටයාර 18ක ප්‍ර‘දේශයක් පුරා ව්‍යාප්තව පවතින අතර, පූර්ව ඵෙතිහාසික යුගයට අයත් ශිලා මඤ්ජුසා සුසාන (Cist Burial) පෙන්නුම් කරන අද්විතීය සුසාන භූමියකි. පුරාවිද්‍යාත්මක අතින් ඉතා වැදගත් මෙම සුසාන භූමිය ඔබ, ඔබගේ දරුවන් ද කැටුව ගොස් නැරඹිය යුතුම ස්ථානයකි. මෙහි කැණීම් අරඹා ඇත්තේ 1970 වර්ෂයේදීය. ඒ අනුව මෙම සුසාන භූමිය 
ක්‍රි.පූ. 600ට අයත් බව සොයා ගන්නා ලදී.
02

පූර්ව ඵෙතිහාසික යුගය

පූර්ව ඵෙතිහාසික යුගය ලෙසින් හැඳින්වෙන්නේ පූර්ව ඵෙතිහාසික යුගයේ අවසානයේ සිට ඵෙතිහාසික යුගයේ ආරම්භය දක්වා වූ කාල පරිච්ජේදයයි. දඩයම් සහ ආහාර රැස්කිරීමේ ආර්ථික වටපිටාව වෙනුවට කෘෂිකර්මය හා සත්ත්ව පාලනය කෙරෙහි යොමු වීම මෙම යුගයේ ප්‍රධාන ලක්ෂණයයි. මේ ආකාරයට සමාජ සංස්කෘතික ප්‍රගමනය ලෝකයේ විවිධ කලාපවල එකිනෙකට වෙනස් කාල පරාසයන්හිදී සිදුවී ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ නිගමනයයි.

ශිලා මඤ්ජුසා සුසාන

පූර්ව ඵෙතිහාසික යුගයට අයත් ජනතාව සුසාන ක්‍රම සම්බන්ධයෙන් විධි ක්‍රම රැසක් අනුගමනය කර ඇත. ඉබ්බන්කටුව සුසාන භූමියේ සොහොන් නිර්මාණය සඳහා සම්පූර්ණයෙන්ම ගල් පතුරු උපයෝගී කරගෙන ඇත. පුද්ගලයකු මියගිය විට ඔහුගේ භෂ්මාවශේෂ මැටි බරණියක් තුළ තැන්පත්කොට විශාල ගල් පතුරු හතරකින් වටකර උඩින් වැසූ පියන් ගලක් සහිතව හෝ රහිතව සකස් කළ සුසාන ගර්භයක් තුළ තබා මිහිදන් කිරීම මෙම කාලයට අයත් ප්‍රසිද්ධ සුසාන චාරිත්‍රයක් විය. ඉබ්බන්කටුව සුසාන භූමියේ ඇති ගල් පතුරු රැගෙන ඒම සඳහා යොදාගනු ලැබූ ප්‍රවාහන ක්‍රම ඉතාමත් දියුණු මට්ටමක පැවති බවට සැකයක් නැත. මෙවැනි ආකාරයේ සුසාන ඉදිකිරීමේ චාරිත්‍රය සමකාලීන යුරෝපය, දකුණු ඉන්දීය කලාපයන්හි සහ අග්නිදිග ආසියාවේද බහුලව හමුවී ඇත.
මෙම සුසාන තුළ විද්‍යාමාන වන තවත් චාරිත්‍ර ක්‍රමයකි. එනම්, මියගිය පුද්ගලයා විසින් පරිහරණය කරන ලද භාණ්ඩද මැටි බඳුන් තුළ බහා සුසාන තුළ තැන්පත් කිරීමේ චාරිත්‍රයයි. ජීවත්ව සිටින ජනයා ඉන් අපේක්ෂා කළේ මියගිය පුද්ගලයා පුනර්ජීවයක් ලැබීමෙන් පසු මෙලෙස තැන්පත් කළ සියලු භාණ්ඩ ඔහු පරිහරණය කරන බවයි. මේ අනුව ඉබ්බන්කටුව මහාශිලා සුසාන භූමියෙන් පිළිබිඹු වන්නේ එදා ජනතාව මරණින් පසු නැවත ආත්මයක් ලබන බවට තැබූ විශ්වාසයයි. මියගිය පුද්ගලයා පරිහරණය කළ භාණ්ඩ සොහොන් තුළ තැන්පත් කිරීමේ චාරිත්‍රයේ ආරම්භය සනිටුහන් වන්නේ නියැන්ඩතාල් මානවයාගේ යුගයේදීය. මෙම සුසාන චාරිත්‍රයන් පසුකාලීනව ඊජිප්තු ශිෂ්ටාචාරය තුළින් පෝෂණය වී ඇත.
09

නොයෙකුත් භාණ්ඩ

මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත්කොට තිබූ කළු සහ රතු මැටි භාජනවලට අමතරව සුසානවල තිබූ නොයෙක් ආකාරයේ භාණ්ඩ රැසක්ද හමුවී ඇත. ඉන් එකල පැවති සිරිත්විරිත් සමුදායක් ගැඹුරින් විශ්ලේෂණය කිරීමට හැකි වී තිබේ. විශේෂයෙන්ම එම භාණ්ඩ අතර නොයෙක් වර්ගයන්හි මැටි භාණ්ඩ, විවිධ වර්ගවල පබළු (කානේලියන්, ටෙරාකොටා, ඇගේට්, ඇත්දත් ක්වාට්ස් ද්‍රව්‍යයන්ගෙන් නිර්මිත) යකඩ අවශේෂ, වෘක්ෂලතා අවශේෂ සහ යබොර කැබලි ප්‍රධාන තැනක් ගනී.
සකපෝරුවේ සාදා පිළිස්සූ මැටි භාණ්ඩ හමුවීමෙන් තහවුරු වන්නේ තාක්ෂණික වශයෙන් මෙම යුගය විශාල වෙනසකට ලක්ව තිබූ බවයි. විවිධ වර්ණයන්ගෙන් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් පබළු හමුවීමෙන් එකල පැවති ශරීර අලංකරණ ගති පැවතුම් මනාව පැහැදිලි වේ.

තවත් වැදගත් චාරිත්‍ර

එකල පැවති සිරිත්විරිත් ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී ඉස්මතු වන තවත් වැදගත් චාරිත්‍රයක් වන්නේ මෘත ශරීර පිළිස්සීමට ලක්කොට ඇති බවයි. කැණීම් බිම තවදුරටත් ඉතා සියුම්ව විමර්ශනයට ලක් කිරීමේදී අපූරු චාරිත්‍රයක් අවබෝධ කරගැනීමට හැකිවී ඇත. එනම් වයස අඩු ළමයින්ගේ අවශේෂ තැන්පත් කිරීමේදී මුහුණට මුහුණලා සිටින පරිදි මැටි බඳුන් ද්වයක් යොදාගෙන තිබීමයි.

ජනාවාස 

ඉබ්බන්කටුව ජනාවාසය දඹුල්ල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සුසාන භූමියට මීටර් 200ක් පමණ දකුණු දිශාවෙන් හඳුනාගෙන ඇත. මෙහි විසූ ජනතාව සොහොන් භූමිය සමග සම්බන්ධතා පවත්වා තිබේ. මෙම ස්ථානය ප්‍රථමවරට සොයාගනු ලැබුවේ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ජර්මනියේ කාවා ව්‍යාපෘතිය මගිනි. ඒ 1998 වසරේදීය. මෙරට මුල් යකඩ යුගයට අයත් ජනාවාසයක් සහ සුසාන භූමියක් එකට හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
මෙම ජනාවාසය විශාල භූමි ප්‍රදේශයක් තුළ පැතිර ඇත. වර්තමානයේ පවා විශාල ප්‍ර‘දේශයක මතුපිට භූමියෙහි මැටි බඳුන් කැබලි විසිරී පවතින ආකාරය දැකගත හැකිය. මූල ඵෙතිහාසික යුගයට අදාළව ගැමි ජනාවාස සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.
11
 
කාලරක්ත මැටි බඳුන් හා රතු වර්ණ මැටි බඳුන් මෙම කැණීම් මගින්ද සොයාගැනීම විශේෂ කරුණකි. හමුවී ඇති තිත්මුවා සහ ඌරන්ගේ අස්ථි අවශේෂ මගින් අවබෝධ වන්නේ ගෘහස්ථකරණය හා ඔවුන්ගේ ආහාර පරිභෝජන රටාවේ සම්බන්ධතාවයයි. සත්ත්ව ගෘහාශ්‍රිතකරණය මේ යුගයේදී මිනිසාගේ ආර්ථික සංවිධානයට බෙහෙවින්ම සම්බන්ධ වී තිබූ ඉදිරිගාමී ක්‍රියාවලියකි.

සංචාරක ආකර්ෂණය

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පුරාවිද්‍යා ස්ථාන කළමනාකරණය සහ සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ස්ථානයක් ලෙස ඉබ්බන්කටුව සුසාන භූමිය තෝරාගෙන වර්තමානයේ දක්නට ලැබෙන අන්දමට එම ස්ථානය සකස් කිරීම හා නඩත්තු කටයුතු සිදුකිරීම ප්‍රශංසාවට ලක්විය යුතුය.
 
පාසල් පෙළපොතටද මෙම සංස්කෘතික යුගයේ තොරතුරු ඇතුළත් කර ඇති බැවින් නැවත අධ්‍යයනය කිරීමට මෙහිදී ඉඩ ප්‍රස්ථා සැලසීමෙන් න්‍යායික සහ ප්‍ර‘යෝගික වශයෙන් දැනුම ලබා ගැනීමට දරු දැරියනට හැකි වී තිබේ.
පුරාවිද්‍යාත්මක අතින් ඉතා වටිනා මෙවන් ස්ථාන අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සතු පරම යුතුකමකි.
20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>