ඉන්දියාවේ වයස්ගතම හස්තියා මෙළොව හැරයයි

ලෝකයේ ජීවත් වූ වයස්ගතම හස්තියෙකු ලෙස සැලකෙන ඉන්දියාවේ ඉන්ද්‍රා ඇතින්න මියගිය බව එරට වනජීවී නිලධාරීහු පවසති.

රෝගී තත්ත්වයේ පසුවී ඇති ඉන්ද්‍රා ඇතින්න මෙම වසර ආරම්භයේ සිට ආහාර ගැනීම අත්හළ බවද පැවසෙයි.

දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පශු වෛද්‍යවරයෙකු මෙම ඇතින්න වෙනුවෙන් ප්‍රතිකාර සිදුකර ඇති අතර, මිය යනවිට ඇය වයස අවුරුදු 85 – 90ත් අතර වයසේ පසුවූ බව සැලකෙයි.

සාමාන්‍යයෙන් හස්තියෙකුගේ ආයු කාලය අවුරුදු 70ක් පමණ වෙයි.

දැනට වාර්තා වී ඇති ආකාරයට හීලා අලි ඇතුන් අතර වයස්ගතම හස්ථියා ලෙස සැලකෙන්නේ තායිවානයේ, තායිපේ සත්වෝද්‍යානයේ සිටි ලින් වැන්ග් හස්තියාය. 2003 වසරේදී ජීවිතක්ෂයට පත්වන විට එම හස්තියාගේ වයස අවුරුදු 86ක් ලෙස වාර්තා වී තිබුණි.

ඉන්දියාව තුළ මේ ආකාරයේ දීර්ඝ වයසකින් යුතු තවත් හස්තියෙකු කේරළ ප්‍රාන්තය ආශ්‍රිතව ජීවත් වන බවද වාර්තා වෙයි.

ඉන්ද්‍රා හස්තියා කර්නාටක ප්‍රාන්තයේ සක්‍රේබයිලූ අලි අනාථාගාරය හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇත්තේ මීට වසර 50කට පමණ පෙරය.

ඇගේ ආහාරය සඳහා පළා වර්ග මෙන්ම කොළ සහිත එළවළු වර්ග ලබාදීම ඇගේ ආයුෂය වැඩිවීමට හේතුවක් බවද වනජීවී නිලධාරීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>