ආදි මානවයා අපි හිතන තරම් ප්‍රාථමික නැහැ

ලාංකේය පුරවැසියාගේ සංස්කෘතික අනන්‍යතාව කෙරෙහි නවතාවකින් බැලීමේ අවකාශය උදා කරමින් ආදී ඉතිහාසය නියෝජනය කරන ප්‍රාග් ඓතිහාසික හෝමෝ සාපියන්වරුන්ගේ සංස්කෘතික අඛණ්ඩතාව පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් 'දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය' නමින් ක්‍රියාවට නැංවීය. සංස්කෘතික හා තාක්ෂණික වශයෙන් ඔවුන්ගේ දායකත්වය කෙබදු ස්වරූපයක් ගන්නේද පිළිබඳ මේ යටතේ අධ්‍යයනය කෙරුණු අතර, එයින් අනාවරණය අතීත ඥානය මෙන්ම පරිවර්තනය ක්‍රියාවලියද පැහැදිලිව හඳුනාගැනීමට අපට හැකිවිය. මේ පිළිබඳ 'අද' හමුවේ අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා අපේ මුතුන්මිත්තන්ගේ සංක්‍රාන්ති සමය පිළිබඳ සවිස්තරාත්මකව ඉදිරිපත් කළේ මෙලෙසිනි. 


8

'අපේ රටේ ඉතිහාසයේ අඛණ්ඩතාව පිළිබඳ තිබුණු හිඩැස් පුරවාගැනීම සම්බන්ධයෙන් අපට මුල සිටම නොයෙක් ගැටලු පැනනැගී තිබුණා. අපේ රට පිළිබඳ හදාරන ඕනෑම කෙනෙකුට ඉතිහාසය ගැන ප්‍රධාන යුග දෙකක් හඳුනාගන්න පුළුවන්. එකක් තමයි අපි කවුරුත් දන්න අපි ඉගෙනගත් ඉතිහාසය. අනෙක අපේ පුරාවිද්‍යාඥයන් විසින් අපට එක්කළ දැනුම. පුරෝගාමී මානව විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයන් රැසක් මේ රටේ කලියුගයේ මිනිසුන් ගැන විශාල දැනුමක් මේ වනවිට ඉතිහාසයට එකතු කර තිබෙන බව නොරහසක්. 
මේ ගල් යුගයේ මිනිසුන් ගැන අපි ඉගෙනගත් දේ සහ අපි නොදත් දේ අතර, සම්බන්ධතාව කිනම් ස්වරූපයක්ද යන්න වටහා ගැනීම අපට අපහසු කාරණාවක්. එය භෞතික විද්‍යාවෙන් %කළු අවකාශයක්^ වශයෙන් අර්ථකථනය කළ හැකිය. අපේ ඉතිහාසය ජනප්‍රවාද, මිථ්‍යා කතා සහ තාවකාලික පැහැදිලි කිරීම් මගින් පුරවා තිබෙනවා. 

නමුත් සැබෑ ඉතිහාසය ගවේෂණය කිරීම සඳහා මීට වසර 19කට ප්‍රථම කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය මගින් %දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය^ නමින් පර්යේෂණ මාලාවක් ආරම්භ කෙරුණා. මේ යටතේ ගවේෂණය කරන්නේ ගල් යුගයේ මිනිසුන් සංක්‍රාන්තියක් ලැබුවේ කෙසේද යන්න පිළිබඳවයි. 

Grains

ලංකාවේ ජනාවාස බිහිවීම කෙරෙහි නොයෙකුත් මත අදත් සමාජය තුළ ගොඩනැගී තිබෙනවා. අවුරුදු එක්ලක්ෂ විසිපන්දාහකට ප්‍රථම හෝමෝ සාපියන් ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළාසන්න ප්‍රදේශවලට සෙන් දුවූ බවට වාර්තා ඉදිරිපත් කර තිබෙන අතර, මෙය අහඹු සිදුවීමක් නම් නොවේ. හෝමෝ සාපියන්වරු අප්‍රිකාවෙන් පිටත් වූ පසු ඉන් ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අපේ රටටත් සේන්දු වුණා. මෙතෙක් කර ඇති පුරාවිද්‍යා සාක්ෂි මගින් සනාථ වන්නේ ඔවුන් ලංකාවට ළඟාවී අඛණ්ඩව ලංකාවේ සිය ජීවිතය ගතකළ බවයි. 
මේ බව කාලනිර්ණය කර සොයාගත් දෙයක්. නමුත් ලංකාවේ කාලනිර්ණය කිරීම සඳහා පහසුකම් නොමැති නිසා වෙනත් රටවලට සාම්පල යැවීම මගින් එකී කටයුතු සිදුකරනවා. එනිසා අපක්ෂපාතීත්වය පිළිබඳවද ගැටලුකාරී තත්ත්වයන් ඇතිවන්නේ නැහැ. 
ආදි මානවයා පිළිබඳ කතා කළොත් අපි හැමෝම බලන්ගොඩ මානවයා පිළිබඳව තමයි කතා කරන්නේ. බලන්ගොඩ මානවයා අවසන්වී ඉන්පසුව ආ ඉන්දීය සංක්‍රමණිකයන්ගෙන් අපි සංස්කෘතිකරණය වුණා යන කාරණය සම්මත වශයෙන් පාසල්වල සහ විශ්වවිද්‍යාලය තුළ ඉගෙනගන්නා පොදු කාරණයක්. නමුත් එය එසේ නොවේ. 

3800 ගණනින් බලන්ගොඩ මානවයා අවසන් වන්නේ අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකට පෙර මෙරට ජීවත් වුණු ප්‍රජාවගේ අවසානය සනිටුහන් කරමින්. ඉන්පසුව ඉතිහාසය අලුත් මුහුණුවරකින් ආරම්භ ‍ෙවනවා. 
1833 ඉතිහාසය පිළිබඳ පළමුවරට ලේඛනගත කළේ ජොර්ජ් ටර්නල් නම් යටත් විජිත භාර පරිපාලන නිලධාරියා. ඔහු %සිලෝන් අල්වමැක්^ ප්‍රකාශනයට පත්කළේ ලංකාවේ ඉතිහාසය පිළිබඳ ලිඛිත මූලාශ්‍රයක් ලෙසින්. ඔහු එලෙස කියූ දිනයේ සිට අප ඉතිහාසය ලෙස එය ඒ අයුරින් ඉදිරියට රැගෙන පැමිණෙනවා. 

මෙවැනි තත්ත්වයක් තුළ අපි අංශක 90ක් ආපසු හැරී වෙනත් දිශාවකට මේ ඉතිහාසය නමැති යානය හරවන්න හැකිද යන්න පිළිබඳ යම් උත්සාහයක් ගනු ලැබුවා. සම්මත ක්‍රමයෙන් බැහැරවී වෙනත් දිශාවක් ගමන් කිරීම බෙහෙවින්ම අපහසු ක්‍රියාවක්. 1940 දශකයේ පළ කළ ජි.සී. මෙන්ඩිස්ගේ %ලංකාවේ ආදි ඉතිහාසය' යන කෘතියේ පළමු පරිච්ඡේදයේ මෙලෙස සටහන් කරනවා.'1505 පෘතුගීසින් ආ පසු මෙරට පෘතුගීසි යුගය ලෙසින් හඳුන්වනවා. ලන්දේසි පැමිණි විට ලන්දේසි යුගය ලෙස හඳුන්වනවා. ඉංග්‍රීසින් පැමිණි විට ඉංග්‍රීසි යුගය ලෙස හඳුන්වනවා. එසේ කළහැකි නම් පෘතුගීසි පැමිණීමට ප්‍රථම පෙර යුගය හැඳින්විය යුත්තේ ලංකා ඉතිහාසයේ ඉන්දීය යුගය ලෙසින්' ය. 
ඒ නිසා අපි කරන්නට ආරම්භ කළ පර්යේෂණයේ මූලාරම්භය නම් ඒ අයුරින් නොසිතා අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසක් තිස්සේ මෙරට සිටි මිනිසුන්ට තමන්ගේ බුද්ධිය, ප්‍රජානනය සංස්කෘතිය තාක්ෂණය  මගින් අඟල් භාගයක් හෝ ඉදිරියට යන්න බැරි වුණාද? එසේ නොහැකි වුවානම් ඒ ඇයි? එහෙම නැතිනම් පුළුවන් වුණාද? පුළුවන් වුණානම් ඒ කොහොමද? යන කාරණය ගවේෂණය කිරීමයි. එය ඉතාම වැදගත් දෙයක්. අපේ ඉතිහාසය යම් දෙයක් ආරම්භ කළාද ඒ දක්ෂතාවේ සියලුම බීජ නිදන්ගත කර තිබෙන්නේ ඒ සංක්‍රාන්තික කාලපරිච්ඡේදය තුළයි. 

Picture1

3830න් අපේ ඉතිහාසය ඉවර වුණේ නැහැ. අපි පසුගිය වසර 09 පුරාවට ඒ බව සනාථ කර තිබෙනවා. අපේ රටේ දීර්ඝ කාලයක් සිටි දඩයක්කාර, ආහාර එකතු කරන මිනිසුන් ගැන අප සිතුවේ ඔවුන් අශිෂ්ටයි, ඔවුන් හුදු දඩයක්කරුවන් පමණක් වන අය බවටයි. ඔවුන් ඉතිහාසයේ වැදගත්ම  කොටසක්. 

ඉතිහාසය ගැන කතා කිරීමේදී ඔවුන් අපට දායාද කළ දැනුම පිළිබඳ අපි කිසිවිටකත් සඳහන් කළේ නැහැ. අපි කතා කළේ උතුරු ඉන්දියාවෙන් හෝ දකුණු ඉන්දියාවෙන් ජනපදකරණ ව්‍යාපාරය තුළ අපි අත්පත් කර තිබුණු දේ ගැන පමණයි. 
අපි මෙම ව්‍යාපෘතිය වසර 15කට පමණ සිට සැලසුම් කළ දෙයක්. නමුත් අපි තවම ඒ පිළිබඳ සෑහීමකට පත්වන්නේ නැහැ. අප සතුව ඇත්තේ දිනවකවානු ඉතා සුළු ප්‍රමාණයක්. අවම වශයෙන් විද්‍යාත්මක දිනවකවානු 25ක් වත් ස්ථාපනය කරන්න අපට හැකිනම් ඊට සාපේක්ෂව ඒ මිනිසුන්ගේ ද්‍රව්‍යමය සංස්කෘතිය සහ ඒ සංස්කෘතිය කිනම් ආකාරයේ ස්වරූපයක් ගනීද යන්න අපට සාක්ෂි සහගතව තහවුරු කරන්න පුළුවන්. 

ගල් යුගයේ මිනිසුන් ලෙස අපගේ මනසේ මැවෙන්නේ, දීර්ඝ කාලයක් සතුන් පසුපස හඹා ගිය පිරිසක් ලෙසින්. එයින් හඳුන්වාදෙන්නේ ආසියාවේ සංස්කෘතිය හරිම සරල දෙයක් ලෙසිනි. නමුත් අපි මොනදේ සිදුකරන්නත් මේ පිළිබඳ ඇති ජාතික මානසිකත්වය ශක්තිමත් කළ යුතුයි. අනන්‍යතාවන්, නිෂ්පාදන බලවේග උත්පාදනය කරන්න සමාජයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ධෛර්ය වූ මේ ඓතිහාසික උරුමය පිළිබඳ අපි අනාවරණය කළ යුතුයි. මෙවැනි උරුමය ගැන පැවසෙන විද්‍යාත්මක දින නියම කිරීමද එතරම් පහසු කටයුත්තක් නොවේ. වන ළැහැබ තුළට ගොස් මෙවැනි ස්ථාන හඳුනාගෙන ඒවායේ භූමිය කැණීම් කර, නිවැරදිව නියැදිකරණය කර, නිවැරදිව ඇසුරුම් කර, විදේශීය විද්‍යාගාරවලට යවා, විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරමින් තමයි මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ. මිලිග්‍රෑම් 09ක් ඒ.එස්.එම්. ක්‍රමයෙන් කාලනිර්ණය කිරීමට ඩොලර් 595ක්වත් අඩුම වශයෙන් වියදම් වෙනවා. ඒ වගේම කැණීමකදී අවම වශයෙන් දින තුනක්වත් ලබාගත යුතු නියැදිද තිබෙනවා. ඇතැම් කැණිම් මගින් ලබාගත හැක්කේ එක් සාම්පලයක් පමණයි. මෙසේ කාලනිර්ණය සිදුකිරීමට අවම වශයෙන් ඩොලර් 650ක්වත් යනවා. ඒවගේම මෙම සමස්ත ක්‍රියාව ඉතාම දීර්ඝ කාලීන ක්‍රියාවලියක්.

untitled
නමුත් මෙසේ කාලනිර්ණය කිරීම මගින් අපට හැකිවුණා අපේ ඉතිහාසයේ හිඩැසක් නොමැති බව ප්‍රත්‍යක්ෂ කිරීමට. අපේ ඉතිහාසය දිර්ඝ කාලයක් තිස්සේ පැවත එන්නක්. මීට අවුරුදු 5900කට පමණ ප්‍රථම ඇටසැකිල්ලක් අපට සොයා ගැනීමට හැකි වූයේ සීගිරිය අවට කැණීම් කටයුතුවලින්. ඒ නිසා හෝමෝ සාපියන්වරුන්ගේ ආගමනය හුදු කතාවක් පමණක් නොවේ. මේ ඉන්නේ අපේ සැබෑ මුතුන්මිත්තන්. මේ අයගේ ජානමය උරුමය අපට තිබෙන බව දැන් සනාථ කර තිබෙන්නේ මේ හා සම්බන්ධව පැවැත්වූ පර්යේෂණ රැසක් තුළින්. මේ අයයි, අපේ ආදිවාසීන් අතරයි ඒවගේම ලාංකේය සමාජයේ ජනයා අතරයි ඇති පැහැදිලි සම්බන්ධය පිළිබඳ සාක්ෂි තහවුරුවී තිබෙනවා. 

දෙස් විදෙස් පර්යේෂකයන් විසින් මෙම පර්යේෂණ සිදුකර තිබෙන බැවින් මෙයින් නිගමනය කළ සෑම කරුණක්ම ඉතා අපක්ෂපාතීව ඉදිරිපත් කිරීමට අපට හැකියි. 
බලන්ගොඩ ප්‍රදේශයේ ඉලුක්කුඹුර ලුණුගල්ගේ ගල්ගුහාව පර්යේෂණ කටයුතු සඳහා යොදා ගත් වැදගත් ගල් ගුහාවක්. මේ ගල් ගුහාවේ කැණීම් කටයුතු අපට ඉතාමත් වැදගත් සාක්ෂි රැසක් හමුවුණා. අපට එහිදී පළමු වතාවට අපේ මිනිස්සු, ඒ දඩයක්කරුවන් ශාක ආහාර භුක්තිවිඳි බවට සාක්ෂි හමුවුණා. පිළිස්සු දික් කැකුණ ඇට එකී ගවේෂණ මගින් සොයාගත් දෙයක්. මෙලෙස පිළිස්සී ගිය ඇට බොහෝ කාලයක් ඉතිරිව පවතිනවා. එමගින් අපට අනාවරණය වන්නේ දඩයක්කරුවන් තවදුරටත් දඩයක්කාරයන් ලෙස සදාකාලිකව ජීවත් වූයේ නැති බව. යම්කිසි ලෙසකින් ඔවුන් ශාක ආහාර වැඩිපුර පරිභෝජනය කළ බවට එය එක් සාක්ෂියක් පමණයි. 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රේමතිලක මහතා පුරා දේශගුණික විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්. ඔහු හෝර්ටන්තැන්නේ සිදුකළ පර්යේෂණ මගින් අනාවරණය කරගැනීමට සමත් වූවා පසුගිය වසර 10000 මෙහා කාලයේ ඇතිවූ ගෝලීය උණුසුමට මිනිසුන් ප්‍රතිවාර දැක්වූයේ කෙසේද? අනුවර්තනය වූයේ කෙසේද? යන්න පිළිබඳව. ඒ අනුව ආචාර්යවරයා සොයාගත් කරුණ වන්නේ මෙකල ඔවුන් දඩයමෙන් මදක් ඈත්ව ගොස් ශාක ආහාරවලට යොමුවී ඇති බවයි. මේ දත්ත අපි කාලනිර්ණය කර තිබෙනවා. මේ සියල්ල ක්‍රි.පූ. 4500ට වගේ කාලයකට අයත් වන්නක්. එය දින වශයෙන් ගත්තොත් වසර 6400ක වගේ කාලයක්. එමගින් සනාථ වන්නේ අපේ රටේ මිනිසුන් එවකට අලුත් ප්‍රවණතාවක් ඇති කරගෙන තිබෙන බවයි. නමුත් අපි කවුරුත් ඒ පිළිබඳ දැන සිටියේ නැහැ. 
මෑතකදී සොයා ගත් ධාන්‍ය වර්ග කිහිපයක් පිළිබඳ පර්යේෂණ කටයුතු කිරීම සඳහා අපිට ගන්නෝරුව ජාන පර්යේෂණ මධ්‍යස්ථානය සහාය දක්වනවා. මෙම ධාන්‍ය වර්ග පිළිබඳ වැඩිදුර ගවේෂණය කිරීම ඉතාම වැදගත් දෙයක්. මොකද, මේවායේ අති විශේෂත්වය වන්නේ, මේ අතර තිබෙනවා වල් වී වර්ග. අපි මීට අවුරුදු 6000කට ඉහතදී කැලෑවල තිබෙන වල් වී වර්ග පරිභෝජනය කිරීමට පටන් ගත්තා. අපි හිතන්නේ අපිට වී වගාව පැවත එන්නේ ඉන්දියාවෙන් කියා. 

pendent

එවැනිම කැණීම් මගින් අපට සොයා ගැනීමට හැකිවුණා හිරු එළියෙන් වියළාගත් වළං කැබලි. ඒවාට ජලය දමා භාවිතයට ගත නොහැකියි. එනිසා ඇතැම් විට ඒවා ධාන්‍ය වර්ග දැමීම සඳහා යොදාගන්නට ඇති. ඔවුන්ගේ ඒ ගබඩා කිරීම පිළිබඳවද සාක්ෂි ගණනාවක් මේ වනවිට හමුවී තිබෙනවා. මේ ගුහාවල බටු මීයන්ගේ ඇට කැබලි හමුවුණා. මෙවැනි බටු මීයන්ගේ කටු බහුල වීම, ඔවුන් ගුහා තුළ ධාන්‍ය ගබඩා කිරීමේ එක් සාක්ෂියක්. එමෙන්ම එහි හමුවූ ඇබරුම් ගල් ධාන්‍ය කරල්වල ඇට ඉවත් කිරීම සඳහා භාවිතයට ගත් දේවල් ලෙස අනුමාන කළ හැකියි. ඒවගේම ගිනි දල්වා ගැනීමට භාවිත කළ ගල් පතුරුද මෙහිදී හමුවී තිබෙනවා. මෙවැනි ගල් 50ක් 60ක් එකතැන තිබීම මගින් පැහැදිලි වන්නේ ස්ථීරවාසීන් ලෙස ඔවුන් දිවිගෙවූ බවට. ග්‍රාමීය ජීවිතයේ මුලම චර්යාත්මක ලක්ෂණය තමයි ඔවුන් ඒ ප්‍රදර්ශනය කළේ. හොලෝසීන භූ අවධියේදී වැසි සහ උණුසුම් ද්විත්වාකාර දේශගුණයක් පැවතියා. 

‍මොවුන් වැසි කාලයේ ආහාර සඳහා ගස් ගොළුබෙල්ලන් ආහාරයට ගෙන තිබෙනවා. මෙය ආර්ථික වශයෙන් ඉතාම වැදගත් දෙයක්. මේවායේ ප්‍රෝටීන් ප්‍රමාණයද ඉතා අධිකයි. විදේශ විද්‍යාඥයන් කළ පර්යේෂණ මගින් අනාවරණය කර තිබෙන්නේ, මෙම ගොළුබෙල්ලන්ගේ ඉතාම වැදගත් අසංතෘප්ත මේද අම්ල 02ක් තිබෙන බව. 

ඊට සාපේක්ෂව ඔවුන්ගේ මෙවලම් භාවිතය ඉතා සියුම් කාර්යක්ෂමතාවට පත්ව තිබෙන බවට මේ වනවිට හමුවී ඇති උපකරණ පිරික්සීමේදී පැහැදිලි වෙනවා. අපි මෙම පර්යේෂණය මගින් පමණක් නොව ලංකාවේ සිදුකළ පර්යේෂණ ගණනාවක් මගින් සොයාගනු ලැබූ උපකරණ මොනවාද යන්න පිළිබඳව වැඩිදුර පර්යේෂණ කටයුතු සිදුකරමින් යනවා. ඇතැම් ඇට කැබලිවලින් සකස් කළ උපකරණද ඒ අතර අපට හමුවුණා. වෙනත් රටවලින්ද මෙවැනි උපකරණ හමුවී තිබෙන අතර, ඒ විද්‍යාඥයන්ගේ මතය නම් හඬක් උත්පාදනය කිරීම සඳහා මෙවැනි උපකරණ යොදා ගත් බවයි. බලන්ගොඩ පමණක් නොව නාරම්මල ප්‍රදේශයෙන්ද මෙවැනි උපකරණ සොයාගෙන තිබෙනවා. ඒ අනුව පැහැදිලිවන්නේ මෙය කිසියම් ප්‍රමිතිගත දෙයක්, සම්මුතියක් ලෙස පැවති බවයි. ඔවුන් සංගීතමය හඬක් උත්පාදනය කිරීමට සමත් වුණාද යන්න පිළිබඳවත් අපි ඉදිරීයේදී අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරනවා. 

ඒවගේම අපට හමුවුණා කහඳ පතුරකින් නිර්මාණය කරගත් පෙන්ඩන්ට් එකක්. 6.5ක දැඩියාව තිබෙන ගලක් රැගෙන හදවතක හැඩය කපා උඩින් සිදුරක් විද ඔවුන් මෙය පලඳාගෙන තිබෙනවා. එය ඇත්තෙන්ම සංකේතාත්මක ලක්ෂණයක්. සංකේතාත්මක දේවල් නිෂ්පාදනය ලෝක පුරාණයෙන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. නමුත් අපේ බලන්ගොඩ මානවයා හරිම සරලයි, ප්‍රාථමිකයි, අපි ඉන්දියාවේ සංස්කෘතිය රැගෙන දියුණු වුණා යැයි ඉතිහාසය පිළිබඳ තිබෙන ප්‍රධාන මතයට මෙය අභියෝගාත්මක සාක්ෂියක්. 
අපේ අනන්‍යතාව ගැන පොදු ගැටලුවක් අපට තිබෙනවා. ඒ නිසා රටේ ඓතිහාසික අනන්‍යතාව පිළිබඳ අනිවාර්යයෙන් පැහැදිලි කළ යුතුයි. මේ පර්යේෂණ ව්‍යාපෘතියෙන් සංස්කෘතික අනන්‍යතාවන් සහ සංස්කෘතිය අඛණ්ඩව තහවුරු කිරීමටයි අපට අවශ්‍ය වූයේ. 
අපි අකුරු කරන්නට ආරම්භ කළේ මෞර්ය අධිරාජ්‍යය කාලයේ එහෙන් පැමිණි බ්‍රාහ්මීය අක්ෂරවලින්. අපි කවුරුත් ඒ ගැන දන්නවා. අපි අද ලියන සිංහල අකුරු පැවතගෙන එන්නේ එයින්. නමුත් ඒ අකුරු පැමිණීමට ප්‍රථම, අතීතයේ සිටි අපේ මුතුන්මිත්තන් රූපාක්ෂරයෙන් යම් දෙයක් ඉදිරිපත් කිරීමට උත්සාහගෙන තිබෙන බව පුරාවස්තු කැණීම්වලින් පැහැදිලිව සනාථ වෙනවා. මෝරෙක්ගේ දතක් බෙල්ලේ එල්ලා ගැනීමට ඔවුන් එහි සිදුරක් විදලා තිබෙනවා. නමුත් මේ ගල් ගුහාව තිබෙන්නේ මුහුදට ආසන්න ප්‍රදේශයක නොවේ. නමුත් මැරුණු මෝරෙකු කවදාවත් ගොඩට ගලන්නේ නැහැ. මෝරා මැරුණු පසු මුහුද යටට ගිලා බහිනවා. එවැනි මැරුණු මෝරුන්ගෙන් මේ දත් ලබා ගත්තානම් ඔවුන්ට ගැඹුරු මුහුදේ කිමිදීමට හැකිවෙන්න ඕන. එසේ නොමැතිනම් මෝරු දඩයම් කරන්න අවශ්‍යයි. නමුත් මොවුන් මුහුදේ සිට කිලෝමීටර් 40ක් රට අභ්‍යන්තරයට මෝර දත් ගෙනවිත් තිබෙන අතර එහි සිදුරු කර නැති මෝර දත් 03ක්ද තිබෙනවා. 

ඒවගේම අමු මැටි ගුලියකින් ඇඹූ සුනඛයෙකුගේ මුහුණක්ද අපට කැණීම් කටයුතුවලදී හමුවුණා. මෙය ක්‍රි.පූ. 4500 ගණන්වලට කාලනිර්ණය වීමේදී අපට පැහැදිලි වන්නේ ඒ කාලය තුළද සුනඛයන් අපේ රටේ සිටි බව. බෙල්ලන්විල පැලැස්සේ පුරාවිද්‍යා කැණීම් මගින් බල්ලන්ගේ ඇටකටු හමුවුණා. සුනඛයා අපේ රටේ සතෙක් නොවේ. ප්‍රථම වතාවට සුනඛයන් ගෘහාශ්‍රිත කළේ යුරෝපයේ සහ අග්නිදිග ආසියාව තුළයි. අපේ රටේ සුනඛයන් සිටියා නම් එය අග්නිදිග ආසියාවෙන් පැමිණි ජන සංක්‍රමණ පෙන්නුම් කිරීමට එය කදිම නිදසුනක් වෙනවා. ඒ අනුව ඉන්දියාවෙන් පමණක් නොව ජන සංක්‍රමණ අග්නිදිග ආසියාවෙන්ද සිදුවුණා. 

අපි කතා කරන භාෂාවෙන් පවා ඒ බව හඳුනාගන්න පුළුවන්. අපි කතාකරන භාෂාවෙන් බහුතරයක් පාලි, සංස්කෘත භාෂා. නමුත් අපේ පුරාණ සංස්කෘතික සෙල්ලිපිවල සඳහන් වෙන වචන බොහොමයක් මෙකී භාෂා ආභාසයට නොගත් වචනයි. ඒ වචන අයිති වෙනත් භාෂා පවුල්වලට. සෙනරත් පරණවිතාන මහතා ඒවා පැහැදිලි කළ නොහැකියි කියා ඉතිරි කර දමා තිබෙනවා. 

මුණ්ඩා භාෂාවත් එවැනිම භාෂාවක්. 'බෝයාව', 'ටොක්ක' යන වචනයන් හින්දු ආර්යය භාෂාවේ නැහැ. අන්දමන් දූපත්වල අය %ටොක්ක^ ලෙස හඳුන්වන්නේ වැරෙන් හිසට පහරදීමයි. අපි මේ වචන අහනවා. අපි ඒවා භාවිත කරනවා. එයින් පැහැදිලි වෙන්නේ අපේ ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙන අයුරින් අපේ ඉතිහාසය සරල දෙයක් නොව ඉතා ගැඹුරු දෙයක් බවයි. මෙය අතීශය සංකීර්ණ දෙයක්. පසුගිය අවුරුදු 7000ට කලින් ඉන්දියාවෙන් වෙන් වී අප වෙනම භූමියක් අත් කරගැනීමට පෙර ගොඩබිමින් අපේ රටට නොයෙක් සංක්‍රමණ සිදුවුණා. මේ කැණීම් අතර අපට වියපු වට්ටියක් හමුවුණා. මෙය වසර 5000ක් පමණ පැරණි වට්ටියක්. මෙය තිබුණේ පොළෝ මට්ටමේ සිට මීටර එක හමාරක් පමණ ගැඹුරින්. මෙය මෙපමණ කාලයක් දිරාපත් නොවීමට හේතුවක් වූයේ මෙහි දෙපැත්තෙන්ම යම් ද්‍රව්‍යයක් ආලේපනය කර තිබෙන නිසයි. වට්ටිවල බෙලි ගාන සිරිතක් ලංකාවේ ඇර වෙන කිසිම රටක දකින්නට ලැබෙන්නේ නැහැ. මේ සිරිත අපි අවුරුදු දහස් ගණනක අතීතයකින් ගෙන එන්නක් මෙහි ජාන 22ක් දැනට හඳුනාගෙන තිබෙනවා. 
මේ සියල්ලන්ගෙන්ම පැහැදිලි වන්නේ අපට අතීතයෙන් උරුම වූ සංස්කෘතියක් තිබෙන බවයි. ජෛව විද්‍යාත්මක වශයෙන් උරුමයක් අපට තිබෙනවා.
කෙනෙකුට අවශ්‍ය නම් සැබෑ ඉතිහාසය දැනගැනීමට ඉදිරියේදී කැලණිය විශ්වවිද්‍යාලය මගින් සාධනීය විද්‍යාත්මකව ඒ අවස්ථාව ලබාදීමට ඉදිරියේදී අපේක්ෂා කරනවා.' 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>