අවසන් සටනට පළමුවෙන්ම පූනේ එක්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමේ පළමු තරගය ලෙස මුම්බායිහීදි ඊයේ (16දා) රාත්‍රියේ පැවති තරගයෙන් සත්කාරක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 20ක ජයක් ලැබීමට ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් රයිසිං පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සමත්විය.

වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි නායක රෝහිත් ෂර්මා ප්‍රථමයෙන් පහරදීම සඳහා පූනේ කණ්ඩායමට ඇරයුම් කළ අතර, ඔවුන් පන්දුවාර 20 අවසනදී කඩුලු 04ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත්විය.

මෙහිදී දක්‍ෂ පිතිකරණයක නිරත වූ එම්.එස්. දෝනි පන්දු 26කදී නොදැවී ලකුණු 40ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු අජින්කේ රහනේ ලකුණු 56ක් සහ මනොජ් තිවාරි ලකුණු 58ක් රැස් කිරීමට සමත්වූහ. කෙසේ නමුත් නායක ස්ටීවන් ස්මිත්ට රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.

මෙහිදී ලකුණු 163ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසනදී කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142ක් පමණි. පූනේ කණ්ඩායමේ දක්‍ෂ පන්දුයැවීම ඔස්සේ පාර්තිව් පටෙල් පමණක් ලකුණු 52ක් රැස් කළ අතර, අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 16කට වඩා ලබා ගැනීමට නොහැකි විය.

පූනේ ජයග්‍රහණයේ ප්‍රධාන තුරුම්පුව වූ වොෂින්ටන් සුන්දර් ලකුණු 16කට කඩුලු 03ක් හා ශාදුල් ඨාකූර් කඩුලු 03ක් බිඳ දැමීමට සමත්වූහ. තරගයේ වීරයාට හිමි සම්මානය වොෂිංටන් සුන්දර් විසින් දිනාගනු ලැබීය.

මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ තරගවැදී මුම්බායි ඉන්දීය ක්‍රීඩකයන්ට ජයග්‍රහණය කරා පැමිණිමට නොහැකි වුවත්, ඔවුන් තරගාවලියෙන් ඉවත් නොවේ. මෙම තරගාවලියේ අවසන් සටනට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් අද (17දා) රාත්‍රියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග නැවත තරග වැදීමට මුම්බායි කණ්ඩායමට අවස්ථාව හිමිවේ. එම තරගයේ ජයග්‍රාහකයා එළඹෙන 21 වැනිදා පූනේ සමගන් අවසන් මහා තරගයේදී හමුවෙයි.

පූනේ 162/4 (පන්දුවාර 20)

මනොජ් තිවාරි 58 (48, 4X4, 6X2 ), අජින්ක්‍යො රහානේ 56 (43, 4X5, 6X1 ), මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී) 40 (26, 6X5 ), ලසිත් මාලිංග 1/14 (3), කරන් ශර්මා 1/30 (4), මිචෙල් මැක්ලින්හම් 1/46 (4)

මුම්බායි 142/9 (20)

පාතිව් පටෙල් 52 (40, 4X3, 6X3 ), කරුණාල් පාන්ඩේ 15 (11, 4X2), වොෂින්ටන් සුන්දර් 3/16 (4), ශාදුල් ඨාකූර් 3/37 (4)

ෂෙහානි දිල්රුක්ෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>