අයවැයේ පොහොර සහනය හෙට සිට ක්‍රියාත්මකයි

වී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමේ කටයුතු හෙට (01දා) සිට ආරම්භ කරන බවත්, වී ගොවීන් සතු ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකට අදාළ මුදල් බැර කෙරෙන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (29දා) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව තීරණය අනුව හෙක්ටයාර් 1කට රු.25,000/- බැගින් හෙක්ටයාර් 2ක් දක්වා වී වගා කරන සියලුම ගොවීන්ට මෙම යල කන්නයේ සිට පොහොර විවෘත වෙළෙඳ පොළෙන් මිලදී ගැනීම සඳහා මුදල් ලබාදෙනු ලැබේ. යුරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටියක් රු.2,500/- ක උපරිම මිලකට අලෙවි කෙරේ. ගොවීන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සියලු පොහොර මලුවල මිල සඳහන් කිරීමටද තීරණය කර ඇත.

මීට පෙර රජය ලබාදුන් පොහොර සඳහා හිස් පොහොර මල්ලක් වෙනුවෙන් රු.150/- ක මුදලක්ද ගෙවීමට සිදු විය. එහෙත් මෙම නව ක්‍රමවේදය යටතේ ගොවීන් ගෙන් ඇසුරුම් කරනලද මලු වෙනුවෙන් අතිරේක මුදලක් අය නොකෙරේ. එබැවින් එම මුදලද ගොවීන්ට සම්පූර්ණයෙන්ම ඉතිරි වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ රවි කරුණානායක මහතා සඳහන් කළේ රාජ්‍ය අංශයෙන් සහ පෞද්ගලික අංශයෙන් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා සිටින සියලුම ගොවීන්ට පොහොර ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්වරුද එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>