අති බ්හිසුණු අහුන්ගල්ල දුම්රිය-බස් රථ අනතුරට අදට වසර 29ක්

අහුන්ගල්ල ප්‍රදේශයේදී සිදු වූ අතිබිහිසුණු දුම්රිය – බස් රථ අනතුරට අද (17දා) දිනයට වසර 29ක් සපිරේ. මෙම ලිපිය පළවනුයේ ඒ නිමිත්තෙනි.


Poto - 30

ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ බිහිසුණුම බස් රථ – දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 වැනිදා අහුන්ගල්ලේදීය. එහිදී පාසල් සිසු සිසුවියන් 38 දෙනෙකු ඇතුළු 40 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ. ඉතිහාසයේ කුමන හෝ වර්ගයක වාහනයක් දුම්රියක ගැටීම තුළ වැඩිම පිරිසක් මියගියේ මෙම අනතුරින්ය.

අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේදී අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. එකල අහුන්ගල්ල – ඌරගහ මාර්ගයේ ධාවනය වූයේ මෙම බස් රථය පමණි. වර්තමානයේ මෙන් එදා පෞද්ගලික බස් රථ මෙම මාර්ගයේ ධාවනය නොවීය. පොල්අතුපළාත, ලෑලිහේත්තුව, කටුවිල, නෙල්ලිගොඩ, ගල්වෙහෙර, වැලිකන්ද, බෝගහපිටිය, මරදාන ආදී ප්‍රදේශ රැසක පාසල් සිසුසිසුවියන් අම්බලන්ගොඩ, බළපිටිය, අහුන්ගල්ල ප්‍රදේශවල පාසල් වෙත ආවේ, ගියේද මෙම බස් රථයෙනි. පාසල නිමවී පොත්මිටි තුරුලු කරන් කුසගින්නේ නිවෙස් බලා එමින් සිටි පාසල් සිසු සිසුවියෝ 38 දෙනෙක් මෙම අනතුරින් මරණයට පත්වූහ. එදා අහුන්ගල්ල හා අවට ගම්මාන එකම මළගෙයක් බවට පත්ව තිබිණි. දෙන්නා තුන්දෙනා මෙන්ම සිවුදෙනා ආදී වශයෙන් එකට භූමදානය කිරීමට සිදුවිය.

එකල අහුන්ගල්ල මෙන්ම දිවයිනේ බොහෝ දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත තත්ත්වයේ පැවැතිණි. ඒවා කිසිවකට ගේට්ටු සවිකර තිබුණේ නැත. අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගය අසල දුම්ර්ය මාර්ගය ආසන්නයට වන්නම ගොඩනැගිලි ඉදිකර තිබීම හේතුවෙන් දුම්රියේ පැමිණීම දැකගන්නට ලැබුණේ දුම්රිය මාර්ගය අසලටම පැමිණි පසුවය. දුම්රියක් පැමිණෙන බවට අහුන්ගල්ලේදී බොහෝ වාහන හිමියන්ට එකල දැනුම් දුන්නේ අසල්වැසි කාන්තාවකි. ඇය මේ වන විට මියගොසිනි. මෙදිනද එම කාන්තාව අත් ඔසවා කෑගසමින් ඒ බව දැනුම් දුන්නද, බස්රථයේ රියදුරා බස්රථය නතර කළේ දුම්රිය මාර්ගය මතටම බස්රථය ගෙන ඒමෙන් පසුවය. දුම්රිය දැකීමෙන් රියදුරු බියට පත්වීම මත බස් රථය දුම්රිය මාර්ගය මත තිබියදීම එහි එන්ජිම නතර වී තිබිණි.

Poto - 27

1980 පෙබරවාරි 08 වැනිදා පුහුණු වන දුම්රිය රියදුරෙකු ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ බළපිටියේ ඒ.ආර්. ද සිල්වා මහතා මෙම දුම්රියේ රියදුරු ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු 1985 වසරේ බලවේග කට්ටල දුම්රිය රියදුරෙකු ලෙස පත්වීම් ලැබ වසර 02ක් කොළඹ බලවේග ධාවනාගාරයේ සේවය කර 1987 දී ස්ථාන මාරුවක් ලබා ගාල්ල ධාවනාගාරයට අනුයුක්තව සේවය කරමින් සිට තිබිණි. ඔහුට නියමිතව තිබුණේ ගාල්ල – අලුත්ගම මන්දගාමී දුම්රිය ධාවනය කිරීමය. මෙදින ගාල්ල – අලුත්ගම බලවේග කට්ටල දුම්රියේ යම් දෝෂයක් හේතුවෙන් %උ-2^ වර්ගයේ ජර්මන් එන්ජිමක් සහිත අංක 704 දරන දුම්රිය ධාවනය කිරීම මොහුට භාරවිය. අලුත්ගමින් ගාල්ල දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය ප.ව. 2.25ට කොස්ගොඩ දුම්රිය නැවතුම්පළේ නවතා 2.30 වන විට අහුන්ගල්ල දුම්රිය නැවතුම්පළට ළඟාවෙමින් තිබූ බවත්, එක්වරම දුම්රිය මාර්ගයට ප්‍රවිෂ්ට වූ බස් රථය හා දුම්රිය අතර දුර, ඉතා අඩු වූ හෙයින් කිසිවක් කරකියාගත නොහැකි වූ බවත් ඒ.ආර්. ද සිල්වා මහතා සිද්ධිය විමර්ශනය කළ ඒක පුද්ගල කොමිසම හමුවේ පසුව ප්‍රකාශ කර තිබිණි. දුම්රියේ මධ්‍යයේ වැදුණු බස් රථය කොටස් දෙකකට කැඩීගිය බවත්, සිසුන් දුම්රිය මාර්ගය මැදට වැටීමෙන් දුම්රියට හසු වූ බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඒක පුද්ගල ජනාධිපති කොමිසමක් පත්කළේය. ඒ හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩී.ජේ. ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙනි. දුම්රිය රියදුරුවරයා ඉහත සාක්ෂිය ලබා දුන්නේ මෙම කොමිසම හමුවේය. එයට අමතරව ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය අහුන්ගල්ලට එවා අනතුර පිළිබඳ සොයා බලා එයින් විපතට පත්වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් කටයුතු කිරීමටද උපදෙස් ලබාදී තිබිණි. එයින් පසුව රුපියල් දහසක (1,000) මාසික දීමනාවක් මත ජනසවිලාභීන් යොදවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට උණබම්බු ගේට්ටු සවි කිරීමටද ජනාධිපති ප්‍රේමදාස මහතා පියවර ගත්තේය. දුම්රිය හරස් මාර්ගවලට උණබම්බු ගේට්ටු වැටුණේ මෙම අනතුර නිසාය. ලංකා ගමනාගමන මණ්ඩලය අනතුරෙන් මිය ගිය පුද්ගලයන්ට හා තුවාල ලැබූවන්ට වන්දි ගෙවීය. ඒ මිය ගිය අයෙකුට රුපියල් 25,000ක් වශයෙන් හා තුවාල ලැබූවන්ට රුපියල් 50,000 සිට 1,00,000 දක්වා ආදී වශයෙනි. නමුත් ජීවිත අහිමි වූවන්ගේ හා තුවාල ලබා ආබාධිත වූවන්ගේ පවුල් ජීවිත ගොඩ ගැනීමට එම මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුට එරෙහිව අහුන්ගල්ල පොලීසිය බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබිණි. නඩුව අවසානයේ එහි රියදුරුට වසර 190ක සිරදඬුවම් නියම කිරීමටත්, රියදුරු බලපත්‍රය අත්හිටුවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. අනතුරින් මිය ගිය අය සිහිපත් කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමටද එකල කිසියම් වූ සංවිධානයක් මුදල් ලබා දුන්නේය. විපතට පත් පවුල් යළි ගොඩනැගීමටද ඒ අතර මුදල් විය. නමුත් එම මුදලින් ගොඩනැගූ පවුලක්ද නැත. එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්නද අදටත් කිසිවෙකු නොදනී. අවසානයේ ආසන්න විහාරස්ථානයකට ප්‍රවිෂ්ට වීමේ තොරණක් එම මුදලින් ඉදිකිරීමට යම් කණ්ඩායමක් පියවර ගෙන තිබිණි. එම තොරණේ පාමුල අනතුරින් මිය ගිය පිරිස් සිහිපත් කිරීමට එය ඉදිකළ බවද සඳහන් කර තිබේ.

Poto - 28

අනතුරින් බරපතළ තුවාල ලබා තවමත් ආබාධිත තත්ත්වයේ පසුවන කිහිප දෙනෙකුගේ තොරතුරු සෙවීමට පසුගියදා අපි අහුන්ගල්ල, කටුවිල, නෙල්ලිගොඩ, මරදාන ප්‍රදේශයේ සංචාරය කළෙමු. එහිදී හමුවූ කිහිපදෙනෙක් හා ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතින් පළකළ අදහස් පහත දැක්වේ.
අහුන්ගල්ල, සී.පී. ද සිල්වා මාවතේ පදිංචි 
ඩී. සමන් මෙන්ඩිස් (අවු.48) මහතා,
&මම හෑගල්ල මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න බළපිටිය රේවත විද්‍යාලයට ගියා. 1986 අගෝස්තුවල පන්ති පටන් ගත්තේ. මාස කිහිපයයි ඉස්කෝලෙට ගිහින් වෙන්නේ. මම අදටත් බෙහෙත් බොනවා. අත් කකුල් කඩල ගියා. බඩේ, පපුවේ සැත්කම් කරල තිබෙනවා. ඒ කාලයේ මාස 02ක් විතර සිහිය නැතුව ඉඳල තියෙනවලු. දැන් ස්නායු ආබාධයක් තියෙනවා. මාසෙකට රුපියල් 1,800ක් විතර යනවා. අක්කයි, නංගියි, මමයි, අම්මයි ඉන්නේ. මම ලෙඩෙක්. අක්කයි, නංගියි මම ගැන වෙහෙසෙනවා. ඒ නිසා කවුරුවත් විවාහ වෙලා නැහැ. තාත්තාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්නේ. අනතුර නිසා අපේ පවුලම විනාශ වුණා. දැන් කවුරුවත් අපි ගැන හොයලා බලන්නෙත් නැහැ.* 
මෙම අනතුරින් දැඩි ලෙස ආබාධිත තත්ත්වයට පත් වූ තවත් අයෙකු වන්නේ එවකට අහුන්ගල්ල, පොල්අතුපළාත ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. උෂානි ඉමල්කා ද සිල්වා (අවු.46) මෙනෙවියයි. 
ඇය මේ වන විට සිය නැගණියගේ අහුන්ගල්ල, ගල්වෙහෙර නිවසේ ජීවත් වෙයි. ඇය සම්බන්ධයෙන් නැගණිය පැවසුවේ මෙවැන්නකි.
&පොඩි අක්කා, බළපිටිය රේවත ජාතික පාසලේ ඉගෙන ගත්තේ. අනතුර සිදුවන විට 10 වැනි ශ්‍රේණියේ හිටියේ. අනතුරෙන් පොඩි අක්කාගේ ඔළුව මොකක හරි වැදිලා. දැන් හරියට සිහියක් නැහැ. පොඩි එකෙක් වගෙයි හැසිරෙන්නේ. කන්න දුන්නොත් කනවා. නැත්නම් ඔහේ ඉන්නවා. කොහේවත් එක්ක යන්න බැහැ. බස් දකින විට බයයි. කෑගහනවා. තාත්ත මැරෙන විටත් කිව්වේ පොඩි අක්කා හොඳින් බලා ගන්න කියලා. අපිත් දුප්පත්. පුළුවන් විදියට උදව් කරනවා. අනතුර නිසා අක්කාගේ ජීවිතයම විනාශ වුණා. අපි ඉතින් පින් දහම් කරනවා ඊළඟ ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලබාගන්න කියලා. මේ ආත්මයේ අක්කාගේ ජීවිතේ ඉවරයි. හොඳට ඉගෙන ගත්තා. අනතුර නොවුණා නම් අක්කා අද කොහොම ඉඳීවිද?'

Poto - 31
අහුන්ගල්ල, කටුවිල පදිංචි අගම්පොඩි භද්‍රාණි ද සොයිසා (අවු.49) හා අගම්පොඩි ස්වර්ණපාලි ද සොයිසා (අවු.43) සහෝදරියන්ය. ස්වර්ණපාලි ඒ වන විට බළපිටිය රේවත ජාතික පාසලේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අතර, ඇය අනතුර සිදු වූ බස්රථයේ පාසල ඇරී නිවසට පැමිණෙමින් සිටියාය. ඇයගේ මව වන ගීමුණි ලීලාවතී කවිරත්න මහත්මිය හා වැඩිමහල් සහෝදරිය වන භද්‍රාණි වෙනත් අවශ්‍යතාවකට අම්බලන්ගොඩ ගොස් ආපසු පැමිණෙමින් සිටියාය. අනතුරෙන් මව මිය ගිය අතර, ස්වර්ණපාලි හා භද්‍රාණි බරපතළ තුවාල ලැබූහ. ස්වර්ණපාලිගේ වම් පාදයේ දණහිසින් පහළ කොටස ඉවත් කර තිබේ. ඇය අදටද ගත කරනුයේ දුක්ඛිත ජීවිතයකි. සිය දුක්ඛිත ජීවිතය පිළිබඳ ඇය මෙලෙස විස්තර කළාය.
&මට වන්දි හැටියට රුපියල් 75,000ක් දුන්නා. අනතුරින් පස්සේ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වැටුණා. ඉස්සර දැන් වගේ මේ පාරේ බස් තිබුණේ නැහැ. කිහිලිකරුවෙන් හෝ රෝද පුටුවකින් පාසල් යන්න බැරි නිසා පාසල් ගමන නැවතුණා. අනතුරින් පස්සේ පාසල් ගියේ නැහැ. ඒ කාලේ ඒ ගැන තේරුමක් තිබුණෙත් නැහැ. ඉගෙන නොගත් එකේ පාඩුව දැන් තේරෙනවා. මම ඒ කාලේ හොඳට ඉගෙන ගත්තා. දැන් ඉතින් අපි ගැන කවුරුවත් හොයලා බලන්නේ නැහැ. පත්තරවලට විතරයි මෙහෙමවත් අපිව මතක් වෙන්නේ. අපට ඒ කාලේ ගොඩක් උදව් කළේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ. වලගෙදර අමරවංශ හාමුදුරුවෝත් ගොඩාක් උදව් කළා. අර කෝච්චියේ පැටලිලා තිබෙන්නේ අපේ අම්මාගේ සාරියයි. අම්මා මතක් වෙන විට අදටත් විශාල කනගාටුවක් දැනෙනවා.* 
ලියනගේ ජානක පුෂ්ප කුමාර (අවු.42) මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් අයෙකි. අහුන්ගල්ල, මරදාන පදිංචිව සිටින ඔහු මෙලෙස පැවසීය.
&මම රේවත ජාතික පාසලේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙන ගත්තේ. මම සාමාන්‍යයෙන් මේ බස් එකේ එන්නේ නැහැ. කොස්ගොඩ බස් එකේ ඇවිත් අහුන්ගල්ල හන්දියෙන් බැහැල පයින් ගෙදර එන්නේ. එදාත් මම කොස්ගොඩ බස් එකේ ඇවිත් අහුන්ගල්ලෙන් බැස්සා. හොඳටම වහිනවා. වැස්ස පායනකම් බස් හෝල්ට් එකේ ඉන්න විට ඌරගහ බස් එක ආවා. ඉතිරි ටික දුර යන්නයි මේ බස් එකට නැග්ගේ. මට බරපතළ තුවාල වුණා. ශරීරයේ වම් පැත්තට ගොඩක් තුවාල වෙලා තිබුණා. වම් අත, වම් කකුල කිහිප තැනකින් කැඩිලා තිබුණා. වම් ඇහැටත් තුවාල වෙලා තිබුණා. දැනටත් වම් අත නවන්න දිග අරින්න බැහැ. බඩේ, පපුවේ ලොකු සැත්කම් දෙකක් කරලා තිබෙනවා. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුණා. මාස 04ක් විතර ගාල්ලේත්, කොළඹත් රෝහල්වල හිටියා. දැන් ඉතින් වෙල්ඩින් වැඩ කරනවා. වැඩිම තුවාල වුණේ මටයි කියලයි කියන්නෙ. අපි ගැන රජය සැලකිල්ලක් දක්වන්න ඕන.* මෙම අනතුරින් විපතට පත්වූවන් බොහෝය. මිය ගිය අයද බොහෝය. දරුවන් අහිමි වීමෙන් අසරණ වූ දෙමවුපියෝද බොහෝ සිටිති. ගල්වෙහෙර උපුල්, නෙල්ලිගොඩ දුලීකා, චම්පා ද සොයිසා සහ නන්දනී ද සොයිසා දෙසොහොරියන්, සුනන්දලතා ද සිල්වා, සම්පත් සංජීව, නිරෝෂා කුමාරී, ප්‍රදීපා ද සිල්වා, රසිකලතා ද සිල්වා, මෙන්ම ආදම්බාවා අසානි උම්මා ගුරුවරියද මිය ගිය අය අතර සිටිති. 

Poto - 32
අසානි උම්මා, සමන්තුරේ තරුණියකි. ඇය බළපිටියේ අසාහිර් මොහොමඩ් ලෙබ්බේ හා ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගන්නේ ඔවුන් 1974 දී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටියදීය. බළපිටිය මුස්ලිම් විද්‍යාලයේ ඉගැන්වීමේ නිරතව සිටි ඇය පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්විය. 
මියගිය උපුල්ගේ මව එම්.බී. යසවතී (අවු.76) මහත්මිය අදටත් සිටින්නේ හැඬූ කඳුළින්ය. එම අනතුරින් උපුල්ගේ ඥාති නැගණියක වන චින්තා ප්‍රියදර්ශනීද (එවකට අවු.12) බරපතළ තුවාල ලැබුවාය. මෙම අනතුරින් තුවාල ලැබූවන් රෝහල් වෙත ගෙන යෑමට උපකාර කළ අහුන්ගල්ල මිද්දරමුල්ලේ බන්දුසිරි (අවු.65) මෙන්ම බෝගහපිටියේ උපාලි ද සිල්වාගේ මතකයන්ද අතිබිහිසුණුය. ඔවුන් ප්‍රකාශ කරන්නේ මිය ගිය හා තුවාල ලැබූවන් රෝහල් කරා ගෙන යන්නට මහත් කැපවීමකින් කටයුතු කළ බවයි. මොවුන් පිළිබඳ මතකය අවදි කරනුයේ අනතුරට වසර 29ක් පිරෙන මොහොතේ අසරණ වූ පවුල්වලට යම් සාධාරණයක් ඉටුකිරීම සඳහා බලධාරීන්ගේ අවධානය
 යොමු කරවීමටය.

අහුන්ගල්ල – තමිඳු මධුසර ලියනගේ 

One thought on “අති බ්හිසුණු අහුන්ගල්ල දුම්රිය-බස් රථ අනතුරට අදට වසර 29ක්

  1. dhamneth

    then the president mr.ranasingha Premadasa has taken the the quick and timely actions to avoid this type of accidents (crashing vehicles with trains).within 2 days he started bamboo gate system .it worked very well for several years .bamboo gate keeper was paid rs.1000 per month those days rs.1000 is quiet enough for month but later on with cost of living going very high those gate gatekeepers are not well paid so little by little they are giving up their jobs and now vehicles crashing with trains is a common thing. the govt must take immediate actions to stop these accidents. after mr Ranasingha Premadasa now we have the 4th president.presidents come and go but,the problem is worsening ,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>