අකිල මේ පාරත් පාස්ද?

පසුගිය සතියේදී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. මෙවර උසස් පෙළ ප්‍රතිඵලවල දැකිය හැකි විශේෂ ලක්‍ෂණය නම් රට පුරා ඇති සියලුම පාසල්වල උසස් පෙළ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් අතර සමසමව ප්‍රතිඵල බෙදී යෑමය. 

මීට වසර කිහිපයකට පෙර දශක ගණනාවක් පසුපසට උසස් පෙළ ප්‍රතිඵල සමාලෝචනය කළ විට පෙනී ගිය කාරණයක් නම්, විශ්වවිද්‍යාල වරප්‍රසාද ලබාගනු ලැබුවේ හෝ උසස් පෙළින් වැඩිම ලකුණු ලබාගනු ලැබුවේ කොළඹ හා තදාසන්න නගරවල වරප්‍රසාදිත පාසල්ය. උදාහරණයක් ලෙස ගතහොත් පසුගිය දශක ගණනාව තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවේ කොළඹ ප්‍රධාන පාසල් තුන හතරකත්, කුරුණෑගල හෝ තදාසන්න නගරවල ප්‍රධාන පාසල් කිහිපයකත්, අනුරාධපුරය, මහනුවර, මාතර, ගාල්ල, හම්බන්තොට වැනි ප්‍රධාන නගරවල පිහිටි පාසල්වලත් සිසු සිසුවියන්ය.

එනම් අප කුලකයක් ලෙස ගතහොත් රට පුරා පිහිටි ජනප්‍රිය පාසල් දෙසීයකටත් වඩා අඩු සංඛ්‍යාවකින් උසස් පෙළ ප්‍රතිඵල තබා සිසු සිසු‍වියෝ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූහ. නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී තිබේ. මෙවර උසස් පෙළ ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී රට පුරා ඇති ප්‍රධාන පාසල්වල ළමයින් පමණක් නොව ඈත ගම්දනව්වල පාසල්වලින්ද උසස් පෙළ ඉහළම ප්‍රතිඵල ලබා විශ්වවිද්‍යාලයට සිසුසිසුවියන් තේරී පත්ව තිබේ. 

උදාහරණයක් ලෙස බණ්ඩාරවෙල දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි හුරුකුඩේ සාරිපුත්‍ර විද්‍යාලය දශක ගණනාවකට පසු මෙවර උසස් පෙළ විභාගයෙන් සිසුවියකට විශ්වවිද්‍යාල වරම් ලබාදී ඇත. එමෙන්ම රත්නපුරය වැනි අධ්‍යාපනය සඳහා වැඩි නැඹුරුවක් නොදැක් වූ දිස්ත්‍රික්කවල සිසුසිසුවියෝද මෙවර ඉතා ඉහළ ප්‍රතිඵල ලබාගෙන සිටිති. එහිදී උතුරේ යාපනය මෙන්ම දකුණේ මාතරද උසස් පෙළින් ඉහළම ප්‍රතිඵල ලබා ගනිමින් කොළඹ පාසල් පරදවා තිබේ. මාගේ පෞද්ගලික තක්සේරුව නම් එය වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ කැඩපතයි. 

වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වත්මන් ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන් අතර තමන් නිවැරදි යැයි කල්පනා කරනු ලබන තීන්දූ දැඩි ලෙස ක්‍රියාත්මක කරන, එමෙන්ම එම තීන්දු වෙනුවෙන් තදින් පෙනී සිටින හා එම තීන්දූ ක්‍රියාත්මක කිරීමට යෑමෙන් තමන්ගේ දේශපාලන අනාගතය අවදානමකට යොදවන තරුණ අමාත්‍යවරයෙකි. 

ඔහුගේ රාජ්‍ය පරිපාන ක්‍රියාවලිය හා දේශපාලන ක්‍රියාවලිය එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ හා එක්සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිත් භීතියට පත්කරමින්, ශරීරයේ හිරිගඩු නංවයි. මන්ද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පසුගිය කාලයේ එතරම්ම ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගණනාවක් ගත් අතර, ඒවා තීරණාත්මක ලෙස ලංකාවේ අධ්‍යාපනය වෙනස් කළේය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ළඟම පාසල- හොඳම පාසල ව්‍යාපෘතිය, රටේ ජනප්‍රිය පාසල් මිත්‍යාවෙන් මිදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද සාධනීයම වැඩසටහන වෙයි. 

රටේ ජනප්‍රිය පාසල් කිහිපයක් වෙනුවට ළඟම පාසල- හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රට පුරාම පාසල් ප්‍රතිඵල පෙන්වීම ආරම්භ කර තිබේ. මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලින් පෙන්වා දෙන්නේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ සාර්ථකත්වයයි.

අධ්‍යාපන අමාත්‍යවරයා සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමවේදය මගින් රටේ දරුවන්ගේ සෞඛ්‍ය රැකගන්නා අතරම පාසල් 3600ක් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. දශකයකට පමණ පසු විධිමත් ක්‍රමවේදයක් මගින් තරුණ විදුහල්පතිවරුන් 5000ක් බඳවා ගෙන ඔවුන්ට දේශීය හා විදේශීය පුහුණුවක් ලබාදෙමින් අවවරප්‍රසාදිත පාසල් දියුණු කිරීමට පියවර ගෙන ඇත. අධ්‍යාපන පරිපාලන සේවයට නව නිලධාරීන් 800ක් බඳවා ගෙන එම සේවය සක්‍රීයව අධ්‍යාපනයේ සංවර්ධනයට යොදාගෙන ඇති අතර, පාසල් තුළ භෞතික සංවර්ධනය සඳහා පළාත් සභා හා ඒකාබද්ධව විශාල වශයෙන් ප්‍රතිපාදන යොදවා වැඩසටහන් ආරම්භ කර තිබේ.

ඒවා මගින් නව විද්‍යාගාර, පාසල් ගොඩනැගිලි, පරිගණක අංශ, ක්‍රීඩා පිටි හා නාට්‍ය ශාලා රට පුරා පාසල්වල ඉදිවෙමින් ඇත. අවිධිමත්ව මාෆියා ග්‍රහණයකට හසුව තිබූ ගුරු මාරුවීම් ක්‍රමවේදය දේශපාලන බලපෑම්වලින් තොරව විධිමත් හා වඩාත් සාධාරණ තත්ත්වයකට ගෙනැවිත් ඇත. මෙකී නොකී සියලු කාරණා අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිදුකර ඇති ප්‍රධානතම හා තීරණාත්මකම කාරණය වන්නේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ අවිධිමත් ක්‍රමවේදවලට තදින් කටයුතු කර පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමට බලවතුන්ට තිබූ හැකියාව නැත්තටම නැතිකර තිබීමය. එමගින් රටේ සියලු පාසල්වලට ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර, සෑම පාසලක්ම වරප්‍රසාදිත ජනප්‍රිය පාසලක් බවට පත්ව තිබේ. ළඟම පාසල – හොඳම පාසල^යනු යැයි තමන්ට ළඟම පාසල හොඳම පාසල බවට පත්වීමය.

රාජ්‍ය පරිපාලනය විෂයයෙහි විශාරදයෙකු බවට අකිල අමාත්‍යවරයා පත්වෙමින් තිබේ. දැනටමත් ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීමේදී හෙතෙම දක්වන සාමර්ථ්‍යය දැක්වීමට බොහෝ අය අසමත් වී ඇත්තේ ඔවුන්ගේ කාලය, හැකියාවන්ගේ හා සබඳතාවයේ ඇති නොගැළපෙන බවත්, නිවැරදි නිලධාරීන් තෝරා ගැනීමට ඇති නොහැකියාවත් නිසාවෙනි. එම නිසා බොහෝ දෙනා නිලධාරීන්ගේ ලණු වළඳද්දී, අකිල අමාත්‍යවරයා යකුන්ගෙන් වැඩ ගනී. එබැවින් වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා නැවතත් පාස්වී තිබේ. 

මේ අනුව කිව හැක්කේ රටේ විකෘතියක්ව තිබූ අධ්‍යාපන ක්‍රමවේදය ශීඝ්‍රයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් තිබෙන බවයි. විශේෂයෙන් අධ්‍යාපනයේ ව්‍යූහගත වෙනස්කම් මෙන්ම විෂය මාලා සංවර්ධනයේදී හා ප්‍රතිසංස්කරණවලදී ආණ්ඩුව පෙන්වා ඇති සමත් බව මේ රටේ අනාගත පරපුරට සුබදායක බලාපොරොත්තුවක් ඇතිකර තිබේ. 

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵල ලේඛනයේ තිබිය යුතු අනිවාර්යය පොරොන්දුවක් වූයේ සැමට සමාන, නව ලොවට ගැළපෙන අධ්‍යාපනයක් රටේ සියලුම දරුදැරියන්ට සුරක්‍ෂිත කරවීමය. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵල ලේඛනයේ %A^ සාමර්ථ්‍යයක් අධ්‍යාපන අමාත්‍යාංශයටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් ලැබී ඇත. එම A සාමර්ථ්‍යයෙන් විශාල කොටසක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාට හිමිවිය යුතු යැයි මට සිතේ.

ali wanguwa new copy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>